
එදා මහඔය හිටපු උපදිසාපති හා වත්මන් සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් ජිනසිරි දඩල්ලගේ අරන්තලා භික්ෂූ සංහාරය ගැන සිළුමිණට කියන කතාව
ඒ අදින් වසර තිස් එකකට පෙර 1987 වසරේ ජූනි මස 2 වැනිදා දිනයි. අද වගේම එදිනත් දිගාමඩුල්ලට හිරු පායා ආවේ ත්රස්තවාදයට බියෙන් එහි ජීවත් වන ගැමියන්ට තවත් දිනයක් උදා කරමිනි. අම්පාර මහවැව විහාරාධිපති හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ප්රමුඛ සාමණේර භික්ෂූන් වහන්සේ ද පාන්දරින්ම සූදානම් වුයේ කතරගම බලා වැඩම කිරීමටයි. ඒ හිමිදිරියාමේ තමන් වහන්සේ මේ යාමට සූදානම් වන්නේ මාරයාගේ තුරුලට බව උන්වහන්සේ කිසිවිටෙකත් නොසිතන්නට ඇත.
තරුණ සාමණේර භික්ෂූන් වහන්සේ හතළිස් පස් නමක් ද කැටුව යන මේ ගමනට අම්පාර ලංගම ඩිපෝවෙන් කල් තබාම බසයක් සූදානම් කර ගෙන තිබිණ. පාන්දරින් විහාරස්ථානයට ළඟාවූ බස්රියෙන් භික්ෂූන් වහන්සේ ගමන පිටත් වූයේ උදෑසන පහට පමණය. අරංතලාව නුවරගලතැන්න 29 වැනි සැතැපුම් කණුව අසලට බස්රිය ළඟා වූවා පමණි. මාර්ගය හරහා වැටී තිබූ කොටයක් නිසා රියැදුරා බස් රිය නතර කළේය. ගතවූයේ මොහොතකි. හමුදා ඇඳුමෙන් සැරසී ගත් පිරිසක් බස්රියට ගොඩ නඟිද්දී ඒ රුදුරු ත්රස්තවාදීන් බව අවබෝධ වූයේ ත්රස්තවාදීන් දිගට හරහට කපාකොටමින් වෙඩි තබමින් භික්ෂූන් වහන්සේ ඝාතනය කරද්දීය.
මෙරට ඉතිහාසයේ සිදු වූ ම්ලේච්ඡතම ඛේදවාචකයක් ලෙස අරන්තලාව භික්ෂු ඝාතනය සටහන් විය. මේ වකවානුවේ මහඔය උප දිසාපති ලෙස අරංතලාව ඇතුළු ගම්මාන රැසක්ම බාරව කටයුතු කළේ ජිනසිරි දඩල්ලගේ මහතාය. අරංතලා භික්ෂූ ඝාතනය සැලවී ප්‍රථමයෙන්ම එම ස්ථානයට ගිය රාජ්‍ය නිලධාරියා වූයේ ඔහුය. එනිසා අරංතලා ඛේදවාචකය ගැන ඔහු සිතේ පවතින්නේ කිසිදා නොමැකෙන ශෝචනීය මතකයකි. එම ඝාතනයෙන් අපවත් වූ භික්ෂූන් වහන්සේ තිස් දෙනමගේ ආදාහන කටයුතු සඳහා මුල්වී කටයුතු කරන්නටත් සිදු වුයේ ඔහුටය. එනිසාම මේ මතකයන් ඇසුරින් පසු කලෙක ඔහු 'අරන්තලාව හරහා වසර හයක් ' නමින් කෘතියක් ද රචනා කළේය.
මේ බිහිසුණු ක්‍රියාව සිදුවී වසර තිස් එකක් ගත වන තැන ඒ අමිහිරි අතීත මතක අතීතය ඔහු මෙසේ පෙළ ගැස්වීය.
“උප දිසාපතිවරයකු ලෙස මගේ පළමු පත්වීම ලැබුණේ අම්පාර දිස්ත්‍රික්කයටයි. 1985 මාර්තු මස 01 වැනි දා තමයි මම පත්වීම ලබා ගත්තේ. අම්පාරට යන්නට මම මගේ කැමැත්ත ප්‍රකාශ කිරීම ඒ කාලයේ ඉල්ලන් කෑමක් බව බොහෝ අයගේ මතය වුණා. මෙයට හේතු වුණේ ත්රස්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියා අම්පාරෙන් අසන්නට ලැබීමයි. 'අම්පාරෙ පැත්තෙ ඉස්සරහට වැඩ කරන්නට පුළුවන් වෙන එකක් නැහැ. අපරාදෙ යන්න කැමැති වුණේ.' මගේ පවුලේ අයගේ මතය වුණෙත් එයයි. අවසානයේ මම මගේ පත්වීම මහඔය දී බාර ගත්තා. කොහොම හරි මේ කටයුතු වෙනුවෙන් මගේ මිතුරකු හමුවීමට මම පදියතලාවට ගොස් ආපසු අම්පාරට ආවා. එය මගේ රාජකාරි දිවියේ දී අරන්තලාව ඔස්සේ ගිය පළමු ගමන ලෙස මට සිහිපත් වෙනවා. එතැන් පටන් වසර හයක් පුරාවට ප්‍රදේශයේ ප්‍රධාන රජයේ නිලධාරියා ලෙස මම අරන්තලාව ප්‍රදේශය පුරා ගමන් කරමින් බොහෝ අත්දැකීම් ලැබුවා. ඒවා බොහෝ විට ඉතාම දුක්බර අත්දැකීම් වුණා.
අරන්තලාව භික්ෂූ ඝාතනය සිදුවන්නට ප්‍රථම ත්‍රස්තවාදින්ගේ තවත් බිහිසුණු ක්‍රියාවන් කිහිපයකටම එම ප්‍රදේශවාසීන් මුහුණ පෑවා. මේවායේ දිගුවක් ලෙස මෙම භික්ෂුන් වහන්සේ ඝාතනය ත්රස්තවාදීන් සැලැසුම් කරන්නට ඇති බව මට හැඟෙනවා. එම ප්‍රදේශයේ වැඩ වාසය කළ ඉන්දසාර හිමියන් ඇතුළු විහාරාධිපති හිමිවරුන් කාලයක් තිස්සේ ත්රස්තවාදීන්ගේ විනාශ හමුවේ දැඩිලෙස ඒ දේවල් විවේචනය කළා. එනිසා එවැනි නායක හිමිවරුන්ට ත්‍රස්තවාදින්ගෙන් මරණිය තර්ජන, දුක් ගැහැට නිරතුරු එල්ල වුණා. 1985 සහ 1986 වසර දෙකේ මහඔය ප්‍රදේශයේ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා අතර මුලින්ම සිදු වූ අපරාධය මට තවම මතකයි. ඒ මංගලගම විහාරධිපති මංගලගම හිමියන් පැහැරගෙන යෑමයි. උන්වහන්සේ පැහැර ගැනීමට ලක් වුණේ මහඔය ප්‍රදේශයට විදුලිය බලය ලබාදී එය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී ආපසු යමින් සිටිත්දීයි. පැහැර ගැනීමෙන් පසු මංගලගම ලොකු හාමුදුරුවෝ යළිත් පැමිණියේ නැහැ. එයින් තුන්මාසයකට පමණ පසුව ටැම්පිටිය ප්‍රදේශයේ කැලයට දැව ඉරීමට ගිය කිහිප දෙනෙකුට සිවුරු කැබලි හමුවී තිබුණා. එය දූෂමාන ආරංචියක් වුණත් උන්වහන්සේ ත්‍රස්තවාදින් ඝාතනය කරන්නට ඇති බව කාගේත් විශ්වාසය වුණා. ඒ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ මංගලගම ඇතුළු සිංහල ගම්මානවල සැබෑ මුරදේවතාවුන් ලෙස කටයුතු කළේ භික්ෂූන් වහන්සේලායි. එනිසා උන්වහන්සේලා කෙරෙහි ත්රස්තවාදීන්ගේ දැඩි ලෙස වෛරය කිදා බැසැ තිබුණා. ඒ වගේම අම්පාර සිට ධාවනය වූ බස්රථවලට වෙඩි ප්‍රහාර එල්ල වුණා. බස්රථ මංකොල්කෑම් වගේ අපරාධ වාර්තා වුණා. මේ නිසා මේ සිදුවිම්වලට මට සෘජුවම මැදිහත් වී සොයාබලන්නට සිදු වුණා. මඩකලපුව දිස්ත්‍රික්ක මායිමේ වූ මංගලගම, නුවරගලතැන්න, අරන්තලාව, බොරපොළ, බැඳිබැරැක්ක, පූලාවලි, කොස්ගොල්ල ආදී ගම්මානවලට වැඩි සැලකිල්ලක් දැක්වීමට මට සිදුවුණා.
මට මතකයි 1987 පෙබරවාරි 08 ඒ ඉරිදා දිනයක්. කවුරුදෝ ඇවිත් මගේ නිල නිවාසයේ දොරට තට්ටු කළා. වෙලාව පාන්දර 5.00ට පමණ ඇති. මම නැගිටලා ගිහින් බැලුවා. බලනකොට ගම්වාසීන්. 'ඊයේ රෑ හතට අටට විතර අරන්තලාවට කොටි ඇවිත් මිනිස්සු තිහක් විතර කපල කොටල මරල දාල තියෙනවා. සමහරුන්ගේ පවුල් පිටින්ම මරල දාලා'
ඒ පණිවුඩයත් සමඟ මම අරන්තලාවට ඒ මොහොතේම ගියා. ගැමියන්ගේ විලාප හඬ මට ලොකු වේදනාවක් ගෙන දුන්නා. අදටත් ඒ හඬ මට ඇහෙනවා. කොටින්ගේ ග්‍රහණයට හසු වූ හැම නිවෙසකටම මම ගියා. මියගිය පුද්ගලයන් ගණන සොයා ගත්තා. ඉතා කුඩා ළමයින්, කාන්තාවන්, මහලු පුද්ගලයන් ඇතුළු විසනව දෙනෙක් නිදි පැදුරුවලම කපා කොටා මරා දමා තිබුණා. ඔවුන් ලේ විල් මැද වැටී සිටියා. මේ අයගේ අවසන් කටයුතු සිදු කිරීමේ දී මම උප දිසාපති විදහට බැරෑරුම් අවස්ථාවකට මුහුණ දුන්නා. ඒ මේ අයට මිනී පෙට්ටි සොයා ගන්න ඒ ප්‍රදේශයම පීරලත් පුළුවන් වුණේ පෙට්ටි දාහතරක් පමණක් වීමයි. ඉතිරි පෙට්ටි සොයා ගන්නට මාර්ගයක් තිබුණෙ නැහැ. කරගන්නට කිසිවක් නැති තැන උපදිසාපති කාර්යාලයේ තිබූ ලී ගරාජය ගලවා ප්‍රදේශයේ සිටි සියලුම වඩුවන් කාර්යාල මිදුලට රැස්කරවා මිය ගිය අය වෙනුවෙන් පෙට්ටි සකස් කරන්නට පටන් ගත්තා. දැකුම්කලුව ඒ පෙට්ටි වඩුවන් අතින් නිර්මාණය වුණේ දිසාපති කාර්යාලය මොහොතකට වඩු මඩුවක් බවට පත්කරමින්. ඔවුන්ගේ අවසන් කටයුතු ගම්වාසීන් සමඟ ගෞරවනීය ලෙස සිදු කරන්නට මට හැකි වුණා. මේ විදිහට මියගිය පුද්ගලයන් පවුල් පහළොවකට අයත් වුණා. අටවැනි දා සිදු වූ මේ මිනිස් ඝාතනය තමයි අරන්තලාවේ ඒ වෙනකොට ඇතිවූ පළමු සමූහ මිනිස් ඝාතනය වුණේ. එදා මේ අවස්ථාවට අරන්තලාව විද්‍යාලය අවට විශාල ජනතාවක් රැස්ව හිටියා. එතැන වයස අවුරුදු පනහක පමණ ශරීරය මනාව වැඩුණු භික්ෂූන් වහන්සේ නමක් තමාගේ කුඩය දිගු කරමින් සිංහල ජනතාවට සිදුව ඇති මේ විපත්තිය ගැන විවිධ අංශවලට බැණ වදිමින් ත්රස්තවාදීන්ට බැණ වැදුණා. එදින තමයි මට පළමු වරට දැක ගන්නට ලැබුණේ හෑගොඩ ඉන්දසාර හිමියන්. උන්වහන්සේ තමයි එලෙස බැනවැදී තිබුණේ. උන්වහන්සේ සිංහලයන් වෙනුවෙන් බොහෝ තැන කතා කරන බවත් ඔවුන් වෙනුවෙන් නොයෙක් කැපකිරීම් කරන භික්ෂුවක් බවත් මට දැන ගන්නට ලැබුණා.ඉන්දසාර හිමිගේ මේ බලවත් එඩිතර බව නිසාම ත්රස්වාදීන්ට උන්වහන්සේ ලොකු අතුල් පහරක් වුණා.
එනිසා උන්වහන්සේ ත්රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් වුණාට සැකයක් නැහැ. ත්රස්තවාදීන් ජූනි 2වැනි දා ඒ පාපතර අපරාධය සිදුකළා. භික්ෂුන් ගමන් ගත් බස්රිය නතර කර අමු අමුවේ උන්වහන්සේ ඝාතනය කර දැමුවා.එදා අරන්තලාව භික්ෂූන් වහන්සේ ඝාතනය අදටත් මට අමතක කරන්න බැරි කණගාටුදායක සිදු වීමක්. මට ඒ දවස අද වගේ මතකයි. පොලිස් ස්ථානය මගේ නිල නිවෙස ඉදිරිපිටයි පිහිටලා තිබුණේ. ජූනි දෙවැනි දා මම කාර්යාලයට යන්නට සූදානම් වන විට මම දැක්කා පොලිස් නිලධාරීන් කලබලෙන් ගිනි අවිත් රැගෙන පාර දෙසට දිව යනවා. මේ අයගේ ස්වරූපය දුටු මට කුමක් හෝ සිදුවී ඇති බව තේරුම් ගියා.එවිට මා වෙත පැමිණි පොලිස් නිලධාරියෙක් 'සර් අරනතලාව ඉස්කෝලෙ ළඟ හාමුදුරුවරු ගොඩක් මරල දාලලු. අපිට දැන් ග්‍රාමාරක්ෂකයෙක් තමයි ඇවිත් කිව්වේ. ග්රාමාරක්ෂකයෝ වෙඩි තිබ්බම තමයි පැනලා ගිහින් තිබෙන්නේ' මේ දුක්මුසු පුවත සැලකළා මතකයි.
ඒ වන විටත් මා වෙනුවෙන් වාහනයක් වෙන් වී තිබුණේ නැහැ. පොලිස් ස්ථානය අසළ අම්පාරට යන ලොරියක් නතර කර තිබුණා. මමත් ඒ ලොරියට නැග ගත්තා. ලොරියේ සෑම තැනම සෙනඟ පිරී හිටියා. පෙරවරු නවය පමණ වන විට හාමුදුරුවන් ඝාතනය කළ තැනට අපිට යන්නට හැකි වුණා.අරන්තලාව ප්‍රධාන මාර්ගයේ සිට මීටර් සියයක් පමණ නොදුරින් ලංගම බස්රථය නැවතී තිබුණා. එය ස්වාමීන් වහන්සේ යමින් සිටි බස්රථයයි.මම වහාම ඒ බස්රථය ළඟට ගියා.ඒ වන විටත් මල සිරුරු හා තුවාල වූ නව දෙනෙකු රෝහල ගෙන ගිහින් තිබුණා. වෙඩි පහර නිසා බස්රථයේ සියලුම වීදුරු කැඩී බිදී ගොස් තිබුණා.සෑම අසුනකම ඉතා තද ලේ පැල්ලම් තිබුණා. බස් රථයේ දොරටුව ළඟ ගලා යන මට්ටමේ ලේ පැල්ලම් තිබුණා. මේවා දැකීමෙන් පෙනුනේ බස් රථයේ සිටි භික්ෂුන් බස් රථයෙන් බැසිමට හෝ පලා යාමට උත්සාහ කර ඇති බවයි. ලේවලින් තෙත් වූ සිවුරු කිහිපයක්ම බස් රථයේ තිබුණා මට මතකයි. කොහොම වුණත් මේ අපරාධය ඉතාම සංවිධානාත්මකව සිදු වූ බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා. ඉන්ද්‍රසාර හිමයන් එවකට අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ හිතවතෙක්. උන් වහන්සේ අගමැතිතුමාගේ හැම ගම්උදා වැඩසටහනක් සඳහාම විශේෂ ආගමික වතාවත් පවත්වන්නට එක් වුණා. උන් වහන්සේ අම්පාර ඩිපෝවෙන් වෙන් කරගෙන තිබුණු බස් රථය පිළිබඳ තොරතුරු හා වේලාවන් පිළිබඳ තොරතුරු ත්රස්තවාදීන් අතට පත්ව තිබුණා. පාළුවට ගිය අරන්තලා ප්‍රදේශය උන්වහන්සේට ප්‍රහාර එල්ලකිරීමට ත්රස්තවාදීන් තෝරාගෙන තිබෙන බව සිතන්නට හැකියි.
මෙම සිදුවීමේ දී මේ භික්ෂූන්ගේ විලාප හඬත් වෙඩිතබන ශබ්දයත් නුවරගලතැන්න ග්රාමාරක්ෂක භටයින්ට ඇසී තිබුණා. ඔවුන් කිහිප දෙනෙක් සිද්ධිය වූ ස්ථානයට ඉතා ඉක්මනින් පැමිණීම නිසා ඔවුන්ගේ වෙඩිතැබිමත් සමඟ ත්රස්තවාදීන් විසිදෙනෙකු පමණ එතැනින් පලා ගොස් තිබුණා. මේ සිදුවීම පොලිසිය වෙත ඉක්මනින් දැන්වීම නිසා තුවාල ලැබුවන් හා මියගිය පිරිස අම්පාර රෝහල වෙත ලොරියකින් ගෙන ගොස් තිබුණා. මම අම්පාර රෝහලට යන විට රෝහල අවට එකම හිස් ගොඩක් විලාපයක් වී තිබුණා. මියගිය හාමුදුරුවරුන්ගේ විශාල කැපුම් තුවාල සහිත ලෙයින් තෙත් වූ සිරුරු රෝහල් ආලින්දය දිගේ එක පෙළට තැන්පත් කර තිබුණා. මේ සංහාරයෙන් භික්ෂූන් වහන්සේ නව දෙනෙක් පමණ කැපුම් තුවාල සහිතව ජීවිත බේරාගෙන තිබුණා. එයින් තුන්දෙනෙක් තවමත් පැවිදිව දිවි ගෙවනවා. ඇත්තටම එය අදටත් මට අදහා ගන්නට බැරි හද සසල කළ සිදුවීම් පෙළක්. මට මතකයි එදිනම සවස අම්පාරේ ඉදන් නැවත මහඔයට මම අරන්තලාව ඔස්සේ පැමිණියා. හවස 6.00ට පමණ අරන්තලාව මම පසුකර ගියේ ජීවිතය පරදුවට තබායි.
ජූනි 5 වැනිදා භික්ෂූන් වහන්සේලාගේ අාදාහන කටයුතු සිදු කෙරුණා. අම්පාරවැව ඉස්මත්තේ එක පෙළට ඉඳිවූ චිතක 32ක් තුළ මේ කටයුතු සිදු කළා. එය මට වචනයෙන් විසතර කළ නොහැකි ඉතාම අමිහිරි ශෝචනීය අත්දැකීමක් වුණා. මහ ඔය ගත කළ කාලය වගේම අරන්තලාව සිහිවන සෑම විටම ලෙයින් තෙත් වූ බස්රියත් රෝහලේ එක පෙළට දමා තිබූ මළ සිරුරු පෙළත් උන්වහන්සේලා ආදාහනය උදෙසා ඉදිකර තිබූ කහ පැහැති චිතක පෙළත් මා ඉදිරියේ මැවී පෙනෙනවා. ඒ සියල්ල මගේ ජීවිතය පුරාම අමතක කළ නොහැකි කනගාටුදායක අඳුරු මතක සටහන්. ”