මංගල සමරවීර සහ 78 හා 89 දරුවන් | සිළුමිණ

මංගල සමරවීර සහ 78 හා 89 දරුවන්

 මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සෑහෙන කාලයක නිහඩතාවකින් පසුව ලාංකික දේශපාලනය හංකිති කැවීමට පටන් ගෙන ඇත. ඒ නිසා දේශපාලන අවකාශය අලුත් ආකාරයකින් හිරි වැටී තිබේ. ඔහු පළමුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් “අපේ රට අඳුරු මගකට ඇද දැමීමට ඔහු උත්සාහ ගන්නේ යැයි” චෝදනා කළේ ය.

ඊට ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිතුරක් ලබාදුන් පසුව ඔව් මම ගෝඨාභයට භයයි. මම විතරක් නෙවෙයි මේ ලංකාවෙ ගොඩක් අය ගෝඨාභයට බයයි. ඊට හේතුව ඔහු විශාල අපරාධ කිහිපයකට වගකිවයුතු වීමයි යැයි කියමින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එල්ලව ඇති චෝදනා මාලාවක් නැවත මාධ්‍ය හමුවේ තැබුවේ ය.

ඊටත් අමතරව රටේ ආර්ථිකයේ ලබා ඇති වර්ධනය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, රටේ ආර්ථිකය සම්බන්ධයෙන් හැකිනම් තමා හා විවාදයකට එන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝග කළේ ය.

රාජපක්ෂවරුන් පරාජයට පත්වී මැදමුලනට පල්ලම් බැස්ස පසුත් මේ රටේ දේශපාලකයෝ රාජපක්ෂවරුන් විවේචනයට ඉදිරියට එන්නේ නැත. රාජපක්ෂවරුන් රාජ්‍ය පාලනය කළ අන්දම සදහන් කරමින් තමන් හා වාදයකට එන්නැයි කොහොමටවත් අභියෝග කරන්නේ නැත. ඒ තරමට රාජපක්ෂවරුන්ට ලංකාවේ දේශපාලකයෝ බියක් පළ කරති. ජනමාධ්‍ය පවා ඩෑෂ් පහරවල් දීමට බෝලය උස්සා දෙනවා මිස රාජපක්ෂවරුන් විවේචනයට යන්නේ නැත. රටේ දේශපාලන අවකාශය නිර්මාණය වී ඇත්තේ එවැනි බියසුලු පරිසරයකිනි. එවැනි අවකාශයක මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල කිරීමට ද රාජපක්ෂවරුන් විවේචනය කිරීමට ද ඉදිරියට පැමිණ සිටී.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ මංගල සමරවීර

මංගල සමරවීර චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ විෂය පථයට යටත් වූ ආයතන පරිපාලනය, ව්‍යුහගත කිරීම හා ප්‍රතිසංශෝධනය කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළේ ඉදිරිගාමී පියවරකි. විශේෂයෙන් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පිහිටුවීමේ දී ඔහු දැක්වූ එඩිතරභාවය හා විෂය අවබෝධය අගය කළ යුත්තකි. එසේම අනවසර පදික වෙළෙදුන් ඉවත් කරමින් නගර ප්‍රතිසංවිධානය සදහා ඔහු අනුගමනය කළ සෘජු ප්‍රතිපත්තිය නිසා සම්ප්‍රදායික ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ව්‍යාපෘතීන් ඉක්මනින් ක්‍රියාත්මක විය.

මංගල 2004 දී වැරදි මගක

එසේම කොටි සංවිධානය සමග සාකච්ඡා මාර්ගයෙන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ඇති කර ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව දැක් වූ උත්සාහයේ දී මංගල සමරවීර සිටියේ ප්‍රශස්ත හා අගය කළ යුතු ස්ථාවරයක ය. සිංහලබෞද්ධ සමාජයේ ආචිර්ණ කල්පිත මතවාදයන්ට එරෙහිව නැගී සිටි නිසාදෝ ඔහුට එරෙහිව වරක් භික්ෂූන් විසින් බ්‍රහ්ම දණ්ඩනය ද පනවන ලදි. එහෙත් ඒ කිසිවකින් මංගල සමරවීරගේ රැඩිකල් දේශපාලන ගමන අවසන් කිරීමට නොහැකි විය. කොටි සංවිධානය හා එකගතාවක් ඇති කර ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව අපොහොසත් වුවද ඒ සම්බන්ධයෙන් මංගලගේ දේශපාලන කැපවීම ඉහළම මට්ටමේ විය.

2001 දී බලයට පත්වූ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා විශාල කැපවීමකින් කටයුතු කළේ ය. එහෙත් ලාංකික ධනපති පන්තියේ නොමේරුම්කම ලෝකයාට ප්‍රදර්ශනය කරමින් එවකට ජනාධිපති වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකත් අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහත් අතර බරපතල ගැටුම් ඇතිවිය. එහි ප්‍රතිඵලය වූයේ අන්තර්ජාතික සහයෝගය ඇතිව දියත්වූ සාම සාකච්ඡා ක්‍රියාදාමය අවලංගු කරමින් ශ්‍රී ලංකා රජය තුළ බරපතල දේශපාලන ගැටුම් නිර්මාණයවීමයි. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට එරෙහිව ජනාධිපති චන්ද්‍රිකාත් ජනතා විමුක්ති පෙරමුණත් අත්වැල් බැදගත් අතර ජාතිවාදී, පසුගාමී දේශපාලන බලමුළු ගැන්වීමක් ඔවුන් අතර ඇති විය. ඒ සමගම පාර්ලිමේන්තුව විසුරුවා හැර පැවැත්වූ මහා මැතිවරණයෙන් ඔවුන් බලය අල්ලා ගත් අතර ඒ දේශපාලන ව්‍යාපාරය තුළ ද පිහිටවූ ආණ්ඩුව තුළ ද මංගල සමරවීර ප්‍රබල චරිතයක් විය.

මංගල සමරවීරගේ ඒ වැරදි දේශපාලන ප්‍රවේශය ඉතාම ශීඝ්‍රගාමී ලෙස ගමන් ගත්තේ පතුලක් නොපෙනෙන අගාධයක් කරා ය. 2004 දී පිහිට වූ අශුද්ධ සංධානය තවත් ශක්තිමත් වෙමින් 2005 ජනාධිපතිවරණයේ දී ඊට මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් අතර එය මුළුමනින්ම පසුගාමී දේශපාලන ව්‍යාපාරයක් විය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී ග්‍රහණයට ලක් වූයේ එම අවස්ථාවේ දී ය. එහිදී ප්‍රබල කාර්යයක් එම ආණ්ඩුවේ ශක්තිමත් අමාත්‍යවරයකු වූ මංගල සමරවීර විසින් සිදු කරන ලදි.

රාජ්‍යය සිංහලබෞද්ධ ගෝත්‍රවාදයට ඇද දමමින් එහි හරයාත්මක හා ආකෘතිමය ස්වරූපය ආඥාදායක ලෙස හැඩ ගන්වන ලදි. ජාතික ප්‍රශ්නයට සාකච්ඡාමය හා ශිෂ්ට විසදුමක් ගැන විශ්වාසය නොතැබූ අතර යුද්ධය එකම විසදුම විය. ඒ සමගම ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් අහෝසි වූ අතර ශ්‍රී ලංකාව සෙසු ලෝකයේ රටවල් අතර සමච්චලයට ලක්විය. අමාත්‍ය මංගල සමරවීර ද උකහා ගෙන තිබූ දේශපාලන වටිනාකම් නිරපරාදේ විනාශයට පත්වන්නට ඉඩ දෙමින් රාජපක්ෂ රෙජීමයේ ප්‍රධාන දායකයෙක් විය. එහෙත් දේශපාලන ධ්‍රැවීකරණයන් හමුවේ රාජපක්ෂ - සමරවීර ගැටුම උග්‍ර වූ අතර මංගල සමරවීර රාජපක්ෂ රෙජීමයේ අමාත්‍ය මණ්ඩලයෙන් නෙරපන ලදි.

මංගල සමරවීර අලුතින් හිතන්නට පටන් ගත්තේ රාජපක්ෂ රෙජීමයෙන් නෙරපූ පසුව ය. එදා සිට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වනතුරුත් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයට යොමු වන තුරුත් ඔහු අසීමිත ලෙස කියවමින් දේශපාලනය සම්බන්ධයෙන් පසු විපරමක හා විග්‍රහයක යෙදුණි. ඒ නිසා අලුත් මිනිසෙකු, අලුත් දේශපාලකයකු ලෙසින් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු බවට මංගල සමරවීර පත්විය.

ඉතිහාසය පුරා තහවුරු වී තිබුනේ මංගල සමරවීර යනු තවත් එක් සම්ප්‍රදායික දේශපාලන චරිතයක් ලෙසිනි. එහෙත් මිනිසුන් ඉතිහාසයෙන් ඉගෙනගෙන නිවැරැදි මගට පිවිසීම යහපත් ලකුණකි.මංගල ඒදිනවල කරන ලද සම්ප්‍රදායි හා අවර ගනයේ දේශපාලන වැඩ වල ප්‍රතිපල සෑහෙන කලක් ඔහු පසුපස එළවන ලද බව රහසක් නොවේ.

මංගල සමරවීර අලුත් මගක

මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂයට එකතු වූ පසුව ඔහු යළි විපක්ෂ දේශපාලනයට යොමු විය. එහිදී ඔහු නිල බලා ඉලක්කයට දේශපාලනය කරන්නකු බවට ඔහු පත්වූවා යැයි කිවහොත් එය නිවැරැදිය.යුද්දයේ දී රජය හා එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලද අපරාධ සොයා බැලීමට පත් කළ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කොමිෂම හමුවේ සාක්කි දීමට මංගල සූදානම් වීම එවැනි දියුණු දේශපාලන තීන්දුවක්විය.

රාජපක්ෂ රෙජීමය තම පැවැත්ම සදහා කීවේ එම පරීක්ෂණ කොමිෂම යුද විරුවන් අපහසුතාවට පත්කිරීමට කළ කුමන්ත්‍රණයක් බවයි. එහෙත් පරීක්ෂණ කොමිෂමේ අරමුණු අතර එල්ටීටීඊයේ අපරාධ ද සොයා බැලීම සිදුවන්නේ නම් ආණ්ඩුවේ අර්ථ දැක්වීම් බොළද හා ළාමක රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තියක් මත පදනම් වූවක් බව නොකිය යුතු කරුණකි.ඒත් රාජපක්ෂ රෙජීමයේ රැවටිල්ලලෝකයාටම හෙලිදරව් වූයේ මංගල සමරවීර විසින් Òමරාගෙන මැරීමේÓ දේශපාලනික උපක්‍රමයක් එදා භාවිතා කළ නිසා ය.

පන්සල් වලට බඩු භාණ්ඩ හා මුදල් බෙදමින් ද සමාජයට සුභ සාධන වැඩ කරමින් ද දේශපාලනය කරන්නා වූ අනෝන්‍ය පරෝපාකාර දේශපාලකයන් බහුතරයක් ඉන්නා රටක මංගලගේ දේශපාලන ප්‍රවේශය ඉතා වැදගත් දේශපාලන භාවිතයකි. එවැනි භාවිතයක සිටින දේශපාලකයන් හතර දෙනෙකු වත්මන් දේශපාලන අවකාශය තුළ සිටී. මංගල සමරවීර, රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක් හා අනුර කුමාර දිසානායක ඔවුහු වෙති.

මෙවැනි දේශපාලකයන්ට සතුරන් බහුලව සිටී.ඔවුන් අතීතයේ කළ වැරදි ඊටත් වඩා සිදුකළ සමහර දේශපාලකයන්ට සමාජය විසින් සමාව දෙන්නත්මේ හතරදෙනාට සමාව නොදෙන්නත් හේතුව වන්නේ ඔවුන් නිල අල්ලා කරන ඉලක්ක ගත දේශපාලනය නිසායැයි කිව හැකිය.එහෙත් සමාජයක් ඉදිරියට යන්නේ සමාජ සුභ සාධනයේ යෙදෙන අනෝන්‍ය පරෝපාකාර දේශපාලකයන් නිසා නොව ඉලක්කයට හා නිල අල්ලා වැඩ කරන දේශපාලකයන් නිසා බව නොරහසකි.

එහෙත් මංගල සමරවීරට යූඑන්පියේ පවුරු පදනම තුළ ස්ථාපනයවීමට නොහැකි විය. එය මංගලගේ දේශපාලන භාවිතයේ තාර්කිකය බව රහසක් නොවේ.ජනවිඥාණයේ ආකර්ශනීය දේට මංගල තදින් පහර දෙමින් දේශපාලනය කරනවිට ඔහු මාතර එජාප ලැයිස්තුවේ දෙවැනියාවීම පුදුමයට කරුණක් නොවේ.එහෙත් ඔහු දෙවැනියා නොව පරාජය වුවදඔහුගේදේශපාලනය සමාජය වෙනස් කරන සුළු එකකි. නමුත් මංගල දෙවැනියා වුවද කවදාවත් පරාජය නොවීම සතුටට කරුණකි.

2003 වර්ෂයේ දී මේ ලියුම්කරු දෙසතිය සගරාවේ ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන විට විපක්ෂ මන්ත්‍රීවරයකු වූ ජෝන් සෙනෙවිරත්නගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නටකොස්වත්තේ තිබූ ඔහුගේ නිවසට එන්නැයි ආරාධනා ලැබුණි. බොහොම ප්‍රියමනාපව හා තාර්කිකව කතා කරපු මන්ත්‍රීජෝන් සෙනෙවිරත්න සාකච්ඡාවෙන් පස්සෙ අපූරු කතාවක් පවසන ලදි.

“අපට නායකයො දෙන්නෙක් ඉන්නව. එකෙක් හොදයි පාරවල් ගානෙ පිකටිං කරන්න. අනෙක හොඳයි පිටරටවලට යවන්න,, ජෝන් සෙනෙවිරත්න විසින් අපට යැයි කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය. පාරවල් ගානෙ පිකට් කරන්න ඉන්න නායකයා ලෙස ඔහු විසින් හැදින්වූයේ මහින්ද රාජපක්ෂයන් ය. ජාත්‍යන්තරේට යවන්න සුදුසු නායකය ලෙස ජෝන් සෙනෙවිරත්න විසින් හදුන්වන්න ලද්දේ අනුර බණ්ඩාරනායක ය.

“මුන් දෙන්නගෙන්ම වැඩක් නෑ. අපට ඕන ජාත්‍යන්තරේට කතා කරමින්ම රටේ මිනිසුන්ට දැනෙන විදිහට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නායකයෙක්,,. එවකට මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න දිගින් දිගටම කතාබස් කරමින් පැවසූ කරුණ දේශපාලනිකව අතිශය වටිනා පැහැදිලි කිරීමක් විය.

ජෝන්ගේ මේ මතය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අදාළ කරගතහොත් රනිල් වික්‍රමසිංහ නායකයකුවෙන්නෙම ජාත්‍යන්තර පිළිගැනීම නිසාමයි. ඔහුට ගැමි ජනයා අතර ආකර්ශනයක් ඇත්තෙම නැත.එසේම මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෙරෙහි තිබූ ජාත්‍යන්තර පිළිගැනීම ද යම් අභියෝගයකට ලක්වෙමින් තිබේ යැයි කිව හැකිය.

සම්ප්‍රාදායි සිංහලබෞද්ධ කුහක මත වලට එරෙහිව ඔහු ප්‍රබලව නැගී සිටී. සමාජයේ සිදුවනදේවල් දිහා පශ්චාත් නූතන අර්ථයෙන් බලමින් ගතානුගතික ආකල්පවලට වැර යොදා පහරදීම මංගල සමරවීරගේ භාවිතයයි. ඔහුට ප්‍රාග්ධන හිමිකාර රටවල ගොඩනැගෙමින් පවතින විශ්වාසයක් පවතින අතරනාගරික හා ග්‍රාමීය මැද පන්තිය අතර විකල්ප ලෙස පිළිගන්නා නායකත්වයක් ද නිර්මාණය වෙමින් පවතී.

ගම්පෙරළිය පෙම් පෙරළියක් වේද?

නාගරික හා අර්ධ නාගරික සමාජ පන්ති අතර මංගල සමරවීරට තියෙන බලය ගැමි සමාජයේ තවමත් ගොඩනැගී නැත. ගැමි සමාජයේ ද නායකයකු ලෙස නැගී සිටීමට නම් මංගල සමරවීර විසින් එම සමාජය තුළ අධිපති බලයක් ගොඩනගා ගත යුතුව තිබේ. ඒ සදහා ප්‍රවේශය මහින්ද රාජපක්ෂගේ ප්‍රවේශය විය යුතු නැත. සජිත් ප්‍රේමදාස ග්‍රාමීය සමාජයේ ආකර්ශනය දිනා ගන්නට මහන්සි වන්නේ තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු බවට ආඛ්‍යානයක් ගොඩ නගා ගනිමිනි. එහෙත් එය අසාර්ථක ප්‍රයත්නයක්බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ.56 හා 71 දරුවන් අතර මහින්ද රාජපක්ෂගේ ප්‍රවේශයට පිළිගැනීමක් ලැබුනත් 78 හා 88 දරුවන් අතර ඊට ඇති පදනමක් නැත. තම විකල්ප දේශපාලන ප්‍රවේශය ග්‍රහණය කරවීමට මංගල සමරවීර මහන්සි විය යුත්තේ 78 හා 89 දරුවන් අතර ය.

අපේ හාන්දුන්නේ යැයි කියන, මතට තිත යැයි කියමින් කණ පුරා බොන, අපි නම් ඕවට නෑ කියමින් ස්ත්‍රී ලොල්ව කටයුතු කරන දෙබිඩි චරිත වලට වඩා 78 හා 88 දරුවන් ප්‍රිය කරන්නේ කරන දේ කියන, කියන දේ කරන චරිත වලට ය.එසේ වුවහොත් මිනිස් රුධිරයෙන් ද මාංශ වලින් ද සිංහලයාගේ අනන්‍යතාවය සටහන් කර තබන්නට වෙර දරන මිනී මෝරුන්ට අත් වන්නේ පරාජය බව අමුතුවෙන් කිව යුතු නැත.

මංගල ලිබරල් ආර්ථිකය පිළි ගනී. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් පුළුල්වීම පිළි ගනී. ජාතික ප්‍රශ්නයට පුළුල් රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් සහිත බලය බෙදීමේ විසදුමක් පිළි ගනී. ඇත්තෙන්ම මංගල ධනපති නායකයෙකි. ඔහු ධනපති ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකි. ශ්‍රී ලංකාවේ ධනපති ප්‍රතිසංස්කරණයන් සදහා ප්‍රශස්ත සේවයක් කළ හැකි ජවසම්පන්න නායකයෙකි. පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම සදහා සුදුසුම නායකයෙකි.

මංගල හෙමින් හෙමින් කරමින් ඉන්නා පරිනත දේශපාලනය විසින් ඔහුව ඔසොවා තබන්නේ නායකත්ව මට්ටමකට ය. 2025 වෙන විට ධනපති දේශපාලනය තුළ විශාල රික්තමය අවකාශයක් නිර්මාණය වේ. ඒ රික්තය පිරවීමට මංගල සූදානම්වීම අවශ්‍යම කරුණකි.

මංගල සමරවීරට දේශපාලනය කරන්නට සිදුවන්නේ 56 දරුවන් සමග නොවේ. 71 දරුවන් සමග ද නොවන්නට පුළුවන. එහෙත් 78 හා 89 දරුවන් දේශපාලනයේ දී මංගල සමරවීරට මුහුණට මුහුණ හමුවනු ඇත. එය ශ්‍රී ලංකා දේශපාලනයේ උත්කර්ශවත්ම දේශපාලන මොහොත වනු ඇත.

මංගල දේශපාලන පදනම සකස් කර ගත යුත්තේ සම්ප්‍රදායි අර්ථයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ පමණක් නොවේ. සැබැවින්ම ඔහු නායකත්වය ගත යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද අනෝන්‍ය වශයෙන් බහිෂ්කාර (Mutually Inclusive) ජන පදනම මත ය.

කේ.ජී.පිලිප් ශාන්ත

Comments