වැස්ස වැඩිවෙයි රස්නය අඩුවෙයි | සිළුමිණ

වැස්ස වැඩිවෙයි රස්නය අඩුවෙයි

 මෙතෙක් කල් අපේ රටේ වියළි ප්‍රදේශවල තිබුණු දැඩි රස්නය හා තෙත් කලාපයේ දහවල් කාලයේ තිබූ දැඩි උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර තෙත් කලාපයේ වැස්ස වැඩිවෙමින් පවතී. අන්තර් මෝසම අවසන් වකවානුවේ සක්‍රීය වීමත් බ්‍රහස්පතින්දා හා සිකුරාදා නිරිතදිග ප්‍රදේශය‍ට බලප‍ෑ කැලඹිලි ස්වභාවයත් නිසා කොළඹ කළුතර, ගාල්ල, රත්නපුරය, කෑගල්ල, මහනුවර හා බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට දැඩි වර්ෂාවක් ඇතිවේ.

මේ අතර පසුගිය වස‍රේ වැඩිම උෂ්ණත්වය යාපනයෙන් පොලොන්නරුවෙන් හා අනුරාධපුරයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පොලොන්නරුවේ වැඩිම වායුගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 38 පමණ ඉහළ නැඟ තිබිණි. අනුරපුරයේදී ඒ මට්ටමට උණුසුම ඉහළ ගියේ ය‍. බදුල්ල, කෑගල්ල, ගාල්ල හා මහනුවර දිස්ත්‍රික්කවලට වැඩි වැස්සක් සහ තද සුළං ද ඇති විය. මේ අතර කුරුණෑගල, පුත්තලම, මන්නාරම, වවුනියාව, යාපනය, අම්පාර, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල මාස කිහිපයක සිට දැඩි නියඟයකි.

මෙලෙස වැස්ස, නියඟය හා රස්නය අපේ රටට එකවර ආවේ ඇයි?

අපි මේ පිළිබඳව මෙරට කාලගුණ හා භෞතික විද්‍යාඥයන්ගෙන් විමසුවෙමු. මේ පිළිබඳව අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවේ මේ දිනවල රටේ සමහර ප්‍රදේශවල පවතින අධික උණුසුම ඇති වූයේ හේතුව මේ දිනවල වායුගෝලයේ සුළං අඩුවීම හා වායුගෝලීය ජල වාෂ්ප ප්‍රමාණය අධික වීම නිසයි. මේ තත්ත්වය මැයි 23 දක්වා තිබීමට හැකි බවත් පසුගිය වසරවලද මේ තත්ත්වය තිබූ බවත් ඇය පැවසුවා ය. අන්තර් මෝසම් තත්ත්වයේ අවසාන කාලය නිසා පසුගිය දිනවල සවස්වරුවේ ගාල්ල, කෑගල්ල, මහනුවර, බදුල්ල දිස්ත්‍රික්කවලට තදබල වැස්සත් සමඟ සුළං ඇතිවුණා. ඉදිරි සතිය ඇතුළත නිරිතදිග මෝසම සක්‍රීය ‍වෙන්න පුළුවන්. එවිට මෙයටත් වඩා වැස්ස ඇතිවේවි” ඇය කීවාය.

අපේ රස්නය වැඩිවීම පිළිබඳ අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) අතුල කරුණානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ වායුගෝලය ලොව කාලගුණ විපර්යාසවල බලපෑමට ලක්වීමත් මෙම තත්ත්වය ඇතිවීමට හේතුවක් වූ බවයි.

අපේ රටේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කරන අතරම ලොව දේශගුණ විපර්යාස මුහුදු රළ ඉහළ නැඟීම පොළොව රත්වීම පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතු බව ද පෙන්වාදෙන අතුල මහතා දකුණු දිග ආසියා කලාපයේ සියලු රටවල් එක්වී මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ද මේ අලුත් තත්ත්වය අනුව ඉදිරියේදී දැඩි අවධානය යොමු විය යුතු බව ද පෙන්නුම් කරයි.

දේශගුණ විපර්යාස සිදුවන්නට මූලික හේතුව වන්නේ මානව ක්‍රියාකාරකම් ය. කාර්මිකකරණයත් සමඟ අධික ලෙස පරිසරයට මුදා හරින හරිතාගාර වායු නිසා මේ තත්ත්වය බරපතළ ලෙස භයානක වී තිබේ. හරිතාගාර වාය‍ූන් ලෙස වායුගෝලයේ පවතින ජල වාෂ්ප කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් මීතේන්, ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්, ඕසෝන් ආදිය හැඳින්වීමට පුළුවන.

පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ‍ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඩබ්.එල්. සුමතිපාල මහතා පවසන පරිදි දිගුකාලීනව කාලගුණයේ සිදුවන වෙනස්කම් දේශගුණික විපර්යාස මඟින් පෙන්නුම් කරයි. මෙමඟින් පරිසරය උණුසුම් වීම හෝ සීතල වීම සිදුවිය හැකි ය. පසුගිය වසර 100ක කාලය ඇතුළත අපගේ වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.74කින් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයන් තීරණය කර තිබේ. මේ පිළිබඳව පර්යේෂණ කළ ලොව සුපතල විද්‍යාඥයන් පවසන්නේ ලොව දේශගුණ විපර්යාසවලට ප්‍රධානම හේතුව අවිධිමත් මානව ක්‍රියාකාරකම් බවයි.

ප්‍රවාහන, කර්මාන්ත හා පිරිසුදු කිරීමේ කටයුතු හා තාප බලාගාර ආදිය නිසා මෙන් ම වෙනත් පාරිසරික ක්‍රියාකාරකම් නිසාත් අධික ලෙස වායුගෝලයට හරිතාගාර වායු මුදාහැරීමෙන් වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සිදුවෙන බවත් මහාචාර්ය ඩබ්.එල්. සුමතිපාල මහතා පවසයි. කාර්මිකකරණයත් සමඟ ගෑස් තෙල් වැනි බලශක්ති අධික ලෙස භාවිත කිරීම නිසා පරිසරයට හරිතාගාර වායු මුදා හැරීම සිදුකෙ‍රිණි. එය වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රබල බලපෑමක් බවද අධ්‍යයන වලින් හෙළිවී තිබේ.

සාමාන්‍යයෙන් හරිතාගාරයක් කුඩා වීදුරු කුටියකට සමාන කර දැක්විය හැකි ය. විශේෂයෙන් ම ශීත ඍතුවේ පැළෑටිවල වර්ධනය සඳහා හරිතාගාර භාවිත කෙරේ. හරිතාගාරයක් ක්‍රියාත්මක වන්නේ සූර්යයාගේ උෂ්ණත්වය උරා ගැනීමෙනි. හරිතාගාරයේ ඇති වීදුරු තුළින් ආලෝකය/ උෂ්ණත්වය ඇතුළට ගලා එන අතර එම උණුසුම පිටවීමට නොදී එම ගෘහය තුළ රඳවා ගනු ලැබේ. මේ නිසා හරිතාගාරය උණුසුම් වී සීත කාලය තුළ පැළෑටිවල පැවැත්ම සඳහා අවශ්‍ය උණුසුම රඳවා ගනී. මෙය හරිතාගාර ආචරණය ලෙස හැඳින්වේ‍.

අප ආශ්වාස කරන වායුව සහිත වායුගෝලය අප වටා නිරන්තරයෙන් පවතී. වීදුරු ස්තරයක් සහිත හරිතාගාරයක දී මෙන් ම වායුගෝලය තුළ ද හරිතාගාර වායූන් ක්‍රියාත්මකවේ. හිරු එළිය පෘථිවි අවකාශයට ඇතුළු වී හරිතාගාර වායු ආචරණය තුළින් ඇතුළට ගමන් කරයි. පසුව හිරු එළියෙන් ජනනය වන ශක්තිය පෘථිවි පෘෂ්ඨය කරා ළඟා වී භූමිය, ජලය සහ ජෛව ගෝලය තුළට අවශෝෂණය කරගනු ලැබේ. වරක් උරාගන්නා ලද මෙම ශක්තීන් නැවත වායුගෝලයට මුදා හැරේ. ඒවා අධෝරක්ත කිරණ ලෙස හැඳින්වේ. ඉහළ අවකාශයට ගමන් ගන්නා අධෝරක්ත කිරණවලින් විශාල ප්‍රමාණයක් හරිතාගාර වායූන් මඟින් අවශෝෂණය කර නැවත පෘථිවිය දෙසට නිකුත් කරයි. මෙය පෘථිවිය උණුසුම් වීමට හේතු වේ.

හරිතාගාර බලපෑම අපට ඉතාමත් වැදගත් වේ. මිනිසුන්ට ජීවත්වීමට සුදුසු පරිදි පෘථිවිය උණුසුම් කර දෙන්නේ හරිතාගාර බලපෑම මඟිනි. නමුත් එහි බලපෑම අධික නම් එය සාමාන්‍ය තත්ත්වය ඉක්මවා පෘථිවිය උණුසුම් කරනු ලබන අතර එය මිනිසාගේ පැවැත්මටත් ශාක හා සත්ව ප්‍රජාව කෙරෙහිත් අහිතකර ලෙස බලපෑම් ඇති කරයි.

ග්ලැසියර දියවීම සහ මුහුදු මට්ටම ඉහළ යාම පිළිබඳ ඒ හා සම්බන්ධ නූතන පරිගණක වැඩසටහන් මඟින් හොඳ ඉඟියක් ලබාදේ. එනම් වායුගෝලයේ හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වන තාක් කල් ගෝලීය උෂ්ණත්වය ද නොකඩවා වැඩි වන බවයි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය සුමතිපාල පැවසුවේ ලොව උණුසුම් වීම අඩු කිරීමට පසුගිය වසරේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 128ක් පැරිස් ගිවිසුම අවසන් කරන බවයි. ඒ අනුව එතෙර මෙතෙර වායුගෝලයට හරිතාගාර වායු විමෝචනය අඩු කළොත් උණුසුම් අඩු කළ හැකියි. පැරිස් ගිවිසුම අනුව ලොව රටවල් 100කට වඩා ලොව උණුසුම් වීම අඩු කිරීමට විවිධ පියවර අරන්. අපේ රටේ වාහන දුම තාප බලාගාරවල දුම අඩු කිරීමට ගස් වැවීමට ජගත් මට්ටමින් ආධාර මේ ගිවිසුම යටතේ ලබාගන්න අපි කටයුතු කරනවා.”

අපේ රටේත් හරිතාගාර වායු විමෝචනය අඩු කළොත් මේ උණුසුම අඩු කරන්න පුළුවන්” මහාචාර්ය සුමතිපාල පෙන්වා දෙයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාතික උපදේශක ආචාර්ය පුංචි බණ්ඩා ධර්මසේන මහතා පවසන්නේ මේ දිනවල දිස්ත්‍රික්ක 8ක පවතින අධික උණුසුම නිසා වැව්වල ජලාශවල ජලය දැඩි වාෂ්පීකරණයට ලක්වන බවයි. ඒ අනුව ඒවායේ ජල ධාරිතාව අඩුවන බවත් මෙවර නිරිතදිග මෝසම සක්‍රීයවීම කල් යාමත් අනුව ඉදිරි ජූලි, අගෝස්තු මාසවල නියඟ තත්ත්වයක් හටගනු ඇති බවත් ආචාර්ය ධර්මසේන පවසයි. මේ පිළිබඳව කෘෂිකාර්මික, වාරිමාර්ග හා විදුලිබල අංශ අවධානය යොමු කළ යුතු බවත් ඔහු කියයි. ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කේ.ආර්. අභයසිංහ මහතා පවසන්නේ මේ උණුසුම නිරිතදිග මෝසම් ලබන සතියේ සක්‍රීය වීමත් සමඟ අඩුවෙන බවයි.

“අපේ වසර 100ක කාලගුණ දත්ත අනුව මැයි 22 – 26 අතර දිනයකදී නිරිතදිග මෝසම සක්‍ර‍ීය විය යුතුයි. දැන් වැස්ස ලැබෙන්නේ අන්තර් මෝසම් තත්ත්වය නිසයි. මේ දිනවල කුරුණෑගල, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක ප්‍රදේශවල ලක්ෂ 8ක් පමණ පීඩාවට පත්වෙලා. ඒ අතර දකුණට, බස්නාහිරට ලැබුණු වැසි හා සුළඟ නිසා 8000කට වඩා වැඩි පිරිසක් අවතැන්වෙලා. ගෙවල් 300ක් විතර කැඩිලා. වියළි කලාපයේ උෂ්ණත්වය වැඩිවෙලා. මේ අයුරින් කිසි දවසක නොවූ විරූ ආකාරයෙන් එකිනෙකට විරුද්ධ කාලගුණ වෙනස්වීම් මෙලෙස ඇතිවී ඇත්තේ ලොව දේශගුණ විපර්යාසවල බලපෑමට අපේ රටට අසුවී ඇති නිසයි.

කෙසේ වුවත් අපේ රටේත් ලෝකයේත් අය පරිසරය විනාශ කරන වැඩ කරන විට තමයි මේ පොළොව රත්වෙන්නේ. ඒ අනුව පරිසරය සුරැකීමට කටයුතු කළොත් මේ තත්ත්වය අවම කරන්න පුළුවන්‍. ඒ සමඟම ඉදිරි නිරිතදිග මෝසම නිසා ඇතිවිය හැකි ස්වාභාවික විපත් වලට මුහුණදීමට තෙත් කලාපයේ ආපදා කළමනාකරණ හා පරිපාලන නිලධාරීහු දැන් සිටම සැලසුම් සකස් කළ යුතු බවත් අභයසිංහ මහතා අවධාරණය කරයි.

පරිසර දූෂණය, වායු දූෂණය අවම කළොත් රස්නය අඩු කළ හැකි බව මේ සියලු විද්‍යාඥ මතවල සමස්ත අදහස බව ද කිව යුතුව ඇති අතර අපේ රට තරම් පුංචි රටකට එකම කාල වකවානුවේදී වැස්ස, සුළං නියඟය හා රස්නය ඇතිවීමට ප්‍රධාන හේතුව පොළොව රත්වීම හා ලොව දේශගුණ විපර්යාසවල බලපෑම අපේ රටෙන් පෙන්නුම් කිරීමක් බව ද කිව යුතු ය.

නිහාල් පී. අබේසිංහ 

Comments