කඩුවෙල පාලම දැන් ආරක්ෂිතයි | Page 5 | සිළුමිණ

කඩුවෙල පාලම දැන් ආරක්ෂිතයි

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලමින් පවතිද්දී කඩුවෙල මධ්‍යයේ වූ කඩුවෙල-බියගම දෙපළාත් යා කරන, කැලණි ගඟ මතින් දිවෙන පාලම අනාරක්ෂිත තත්ත්වයකට පත් වූ පුවත බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේය. පසුගිය වසරේ ඇති වූ මහා ගංවතුරටත් නොසෙල්වුණු මේ දැවැන්ත පාලම ඉකුත් 23 දා ඇදහැලුණු අධික වර්ෂාවට මෙසේ වූයේ මක් නිසාද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් විය.

පාලමක් හදන්නේ වසර 100ක අනාගතයකය. වර්ෂ 1986දී ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමන්ගේ අවධියේ විවෘත වූ මේ පාලමට දිගු ඉතිහාසයක් නැතත් මංතීරු දෙකකින් යුතු මේ පාලම මතින් දිනපතා රථ-වාහන 27,000කට වඩා එහා-මෙහා යන්නේ කොළඹ අගනගරයත් අනෙකුත් නගරත් යා වන ප්‍රධාන මාර්ගයක් වීම නිසාය. මේ හරහා යන අධික රථවාහන ප්‍රමාණයට හා කඩුවෙල නගරයේ වූ අධික රථවාහන තදබදය නිසා මේ මාර්ගයට සමගාමීව මංතීරු දෙකකින් යුතු අලුත් පාලමක් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කරමින් තිබේ. එයද මේ වසරේ අග වන විට අවසන් කරන්නට නියමිත වුවද මෙවැනි වර්ෂාවක් හේතුවෙන් මේ දැවැන්ත පාලම මෙලෙස ආපදාවකට ලක් වීමට ඒ ඉදි කරන නව පාලම හේතු වූ බව බොහෝ දෙනාගේ අදහසයි. මේ අනතුරුදායක තත්ත්වය මුලින්ම දැක ඇත්තේද ඒ නව පාලම ඉදි කරන ඉංජිනේරුවන් හා කම්කරුවන්ය.

පසුගිය 23 වැනිදා වූ මේ සිදුවීමෙන් පසු පාලම යම් ආකාරයක පිළිසකර කිරීමකින් පසු 25 වැනිදා උදෑසන වන විට එය නැවතත් විවෘත කර ඇත. එය කෙසේ සිදු වීද? පාලම කොතෙක් ආරක්ෂිතද? එය පිළිසකර කළේ කෙසේද යන්න සිළුමිණ අප හා සම්බන්ධ වූයේ ඒ කටයුතු බාරව කටයුතු කළ මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එම්.ජේ.එන්. රත්නායක මහතාය.

“අලුත් පාලම හදන්න පටන් ගත් පසු ගංවතුර තත්ත්වයන් හතරකටම මේ පාලම මුහුණ දුන්නා. ඒත් 23 වැනිදා ඉතිහාසගත ගංවතුර තත්ත්වයක් ඇති වුණු නිසා ගඟේ ඉවුරු ඛාදනය වුණා. ඒත් පාලම ගිලාබැහැපු කතාව අසත්‍යයක්. අලුත් පාලම හදන්න බියගම පැත්තට වන්නට යකඩ ශීට් ෆයිල් දමා තිබුණා. මේවා පැති බැම්මේ ආරක්ෂාවට දාලා තිබුණේ. අපි මෙය දාලා තිබුණේ ගං ඉවුරට මීටර් 22ක් පමණ එහායින්. අධික වැස්සට මේ ශිට් ෆයිප් ඇල වෙලා. ඒ නිසා තමයි මේ තද වැස්සට ඉවුර කඩාගෙන ගොස් ඇත්තේ. මේ නිසා වහාම අපේ පිරිසක් ගිහින් මීට අවශ්‍ය යොදන්න පියවර ගත්තා. මේ උත්සාහයට ගුවන්, නාවික, යුද හමුදා සහාය මෙන්ම පොලීසියේ සහයත් නොඅඩුව ලැබුණා...”

මේ වන විට කඩුවෙල පාලමෙන් නැවතත් වාහන ගමනාගමනයට අවසර දී ඇතත්, බර වාහනවලට තවමත් අවසරයක් ලැබි නැත. මේ වන විට හානි වූ කොටසට ඉහළින් නව යකඩ පාලමක් (Bailey Bridge) ඉදි කර තිබේ.

“දැන් ගමනාගමනය බොහෝ ආරක්ෂිතයි. මේ වන විට අපට පුළුවන් වුණා කැඩීගිය කොටසට උඩින් තාවකාලික පාලමක් ඉදි කරන්න. මෙය අවුරුදු 5කට වුවත් ඔරොත්තු දෙනවා. මෙය තියෙන්නේ අලුත් පාලම හදනකල් විතරයි. අලුත් පාලම විවෘත වූ පසු මෙය ඉවත් කරනවා. දැන් මංතීරු දෙකම විවෘතයි. ඒත් බර වාහන යා යුත්තේ කඩුවෙල අධිවේගි පිවිසුම් මාර්ගය ඔත්සේයි...” එසේ පැවසූයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එම්.ජේ.එන්. රත්නායක මහතාය.

ගංවතුර ජන ජීවිතයේ බොහෝ දේ විනාශ කර යන්නා සේ මේ දැවැන්ත පාලමටද සිදු වූයේ එවැනි හානියකි. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එන් සූරියආරච්චි මහතාද පවසන පරිදි මේ වන විට කඩුවෙල පාලම දැන් ගමනාගමනයට සුදුසු සේ හොඳින් ආරක්ෂිතය.

සේයාරුව - රුක්මාල් ගමගේ
සුභාෂිණි ජයරත්න 

Comments