
ඈත අතීතයේ මන්නාරම් තැනිතලාව හඳුන්වනු ලැබූයේ ‘අංකඩපත්තු’ නමිනි. මේ ප්‍රදේශය වර්තමානයේද එනමින්ම හඳුන්වන්නේ නම් එය වරදක් නොවේයැයි වරෙක සිතේ. හේතුව: කොල්ලකරුවන්ගේ දේශයක් ලෙස තවමත් මේ පෙදෙස පැවතීමයි.
අනෙක් අතට මන්නානරම් තැනිතලාව ස්වභාවධර්මය හා මිනිසා අතර සබැඳියාව මොනවට කියාපාන බිම්කඩක්ද වේ. නිරන්තර අරගලයක යෙදෙමින් ස්වභාවයෙන් කටුක භූමියක් මිනිසා විසින් රමණීය ජනාවාසයක් බවට පත් කරනු ලැබ තිබීම ඊට හේතුවයි. විජයාගමනයට පෙර සිටම ‘කුවේණි’ හෙවත් ‘කුවන්නා’ රජකම් කළ මන්නාරමට ඔබ්බෙන් වූ වෙරළ හා බැඳි භූමිය සශ්‍රීක ජනාවාසයක් මෙන්ම වෙළෙඳ නගරයක්ද විය. මේ වෙළෙඳ නගරයේ ඇත්දළ, මුතුමැණික්, කරුවල දැව, මොනර-වානර සතුන්, අලි-ඇතුන් හා රෙදිපිළි වෙළෙඳාම් කෙරුණු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
වෙළෙඳුන් සමඟ සොරුන්ද ලක්දිවට පැමිණීම අද මෙන්ම එදාද සිදුව තිබේ. ශුෂ්ක දේශගුණයක් සහිත මේ භූමිය ලක්වැසි ජනයා සශ්‍රීක වගාබිමක් කොට ආහාර නිෂ්පාදනය කිරීම හා මාතොටදී බොහෝ ආහාර සපයාගැනීමට හැකි වීම එසේ පැමිණීමට හේතු විය.
මාතොට වරාය නගරය සිසිල් දියෙන් වට වූ උද්‍යානයක් ලෙස අතීතයේ ලොව පුරා ප්‍රසිද්ධව තිබිණි. දිය අගල් දෙකකින් වට වූ පැරණි මාතොට වරාය නගරයේ සිරිය අදත් උත්කෘෂ්ටය.
ඒ ඈත අතීයේ එලෙස මංපහරන්නන්ට වාස භූමියක් වූ මාතොට වර්තමානයේද කොල්ලකරුවන්ගේ රාජධානියකැයි කීමට සිදුවීම කවර උත්ප්‍රාසයක්ද? ශ්‍රී ලංකාව තුළට නීතිවිරෝධි ලෙස ගෙන එන මත්ද්‍රව්‍ය, රෙදිපිළී, ඉලෙක්ට්‍රොනික උපකරණ තවමත් පිවිසෙන්නේ මන්නාරම් වෙරළිනි. ලංකාවෙන් රහසේ පිට කරනු ලබන රත්රන්ද, ජාවාරමක් ලෙස ප්‍රචලිත මත්ද්‍රව්‍යද, මිනිස් ජාවරමද ජයටම සිදු වන්නේත් මන්නාරම් තොට ආශ්‍රිතවය. ඒ කෙසේ වෙතත් මන්නාරමේ ප්‍රධාන ජීවිකාවෘත්තිය ධීවර කර්මාන්තයයි. ඒ හැරුණු විට තල් රා කර්මන්තයද කරවල වෙළෙඳාමද ජයට කෙරේ. ඒ සියල්ලටත් වඩා හොඳින් සිදු වන්නේ හොර බඩු ජාවාරමයි. මන්නාරමින් ගොඩට එන නීති විරෝධි ද්‍රව්‍ය රට පුරා විසිර යෑමට ඒ සා විශාල කාලයක් ගත නොවේ. මන්නාරමේ ධීවර කර්මාන්තයේ නිරත වන්නන් බහුතරය පිට සිට පැමිණි පුද්ගලයන් වන අතර, ඇතැම්හු මන්නාරමින් පිටතට රැකියා සඳහා නික්ම ගොස් නීතියේ රැහැනට හසුව නැවත මන්නාරමට පලා ආ තරුණයෝය. මත්ද්‍රව්‍යවලට යොමුව කල් ගෙවන්නෝද ඒ අතර වෙති. ධීවර කර්මාන්තයේ නිරත වන්නන් අතුරින් ඇතැම්හු නීතිවිරෝධි ආනයන-අපනයන සඳහා මෙන්ම මිනිස් ජාවාරමට හා මත්ද්‍රව්‍ය ජාවාරමට දැන හෝ නොදැන හවුල් වී සිටිති.
මන්නාරම පරාදීසයකි. තවමත් අහස උසට සුවිසල් ගොඩනැගිලි ඉදි වී නැති බැවින් මන්නාරම සිත මත් කරන රමණීයත්වයකින් යුතු වේ. එහෙත් මන්නාරම් වැසියන්ට ඒ පිළිබඳ වගේ වගක් නැත. ස්වභාව අලංකාරය, පරිසර දූෂණය, වෙරළ සංරක්ෂණය පිළිබඳ හැඟීමක් හෝ ඔවුන්ට නැතැයි සිතෙන තරම්ය.
ප්‍රධාන භූමිය හා මන්නාම් දූපත යා කෙරෙන දිගු පාලම පසු කර අපි මන්නාරමට ගොඩ වූවෙමු. දකුණින් ඓතිහාසික අගයකින් යුතු ඕලන්ද කොටුවයි. එය අපේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් නිරූපණය කරයි. අපගේ වම් පසින් හෙවත් දූපතේ බටහිර දෙසින් පිහිටියේ මන්නාරම් දූපතේ ප්‍රධාන මාළු ලෙල්ලමයි. හිරු පයා එමින් තිබිණි. නැඟෙනහිරින් පායා ආ හිරු බස්නාහිර වෙරළට තම රශ්මි කදම්බය පා කර එවා මන්නාරම ආලෝකවත් කරන අයුරු අපි සැනසිල්ලේ බලා සිටියෙමු.
තල්අඩි පසු කරගෙන ප්‍රධාන ගොඩබිමින් වෙන්ව අප පිවිසුණේ ධීවරයන්ගේ ක්ෂේම භූමියටය. මාළු ලෙල්ලම හා අවට පිරී ඇත්තේ අපිළිවෙළ කුඩා කාමරවලිනි. මේ කුඩා කාමර තුළ මිනිස්සු විවේකයෙන් සිටිති. වේළන ලද මාළුද දැල් ආම්පන්නද ඒවායෙහි වේ. මේ ස්ථානයෙන් මාළු-කරවල මිල දී ගැනීම සඳහා රට පුරා විසිරී සිටින වෙළෙන්දෝ මන්නාරමට පැමිණෙති. මන්නාරම් වැසියන්ගේ මාළු අවශ්‍යතාව පිරිමසන්නේද මන්නාරම් ප්‍රධාන මාළු ලෙල්ලමයි. රාත්‍රියේ දියඹට ගියෝ උදෑසනින් පැමිණ මාළු වෙළෙඳාම් කරති. උදේ-රැයින් දියඹට ගිය ධීවරයෝ සවස මාළු අලෙවියට දමති. එබැවින් උදෑසනද සවසද මන්නාරම් ලෙල්ලම එකසේ කාර්යබහුලය. දහවල සියල්ලෝ විවේකයෙන් මුහුද දෙස බලා සිටිති. ඔවුන් හා සමව නාවික නිලධාරීන් මෙන්ම රේගු නිලධාරීහුද මන්නාරම් දූපත වටා මහ සයුර රැකවල් දා සිටිති.
මේ ලේල්ලමේ පිරිසුදුභාවය මැනගැනීමට ලෙල්ලමට පා තැබිය යුතු නැත. දුගඳ පරිසරය පුරා පැතිර තිබේ. ඉවත දමන ලද දැල් කොටස්ද, ඇඳුම්-ඇඟලුම් කොටස්ද, භාවිත කර ඉවත දමන ලද ප්ලාස්ටික් හා වීදුරු බෝතල්ද තවත් නොයෙකුත් අපද්‍රව්‍යද පරිසරය පුරා විසිරී ඇත. ඒවා වෙරළේ පමණක් නොව, දියඹෙහිද තිබෙනු දැකිය හැකිය. සයුරට දමනු ලබන මේ අපද්‍රව්‍ය නැවත වෙරළට ගොඩනොගසන්නේ මන්නාරම වටා නොගැඹුරු වෙරළත දැඩි රළ නොනඟන බැවිනි. වෙරළාරක්ෂක දොපාර්තමේන්තුවේ නිලධාරීන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙල්ලමට නොපැමිණෙනවා විය නොහැකිය.
වෙරළ ආසන්නයේ අත්තේ කුරුලු පරාදීසය ලෙස හඳුන්වනු ලබන වන්කාලෛයි කුරුලු පාරාදීසයයි. එ් රැම්සා භූමියද මන්නාරම් වැසියන්‍ගේ නොසැලකිල්ල හේතුවෙන් හානියට පත්ව ඇති අයුරු දැකගත හැකිය.
මේ අපවිත්‍රතාව නොසැලකිල්ල දිගු කාලීනව පැවැතිය හොත් සංචාරක කුරුල්ලන්ටද දෙස්-විදෙස් සංචාරකයන්ටද වන්කාලෛ අමතක වී යනු ඇත. වන්කාලෛ පරිසර පද්ධතිය මෙන්ම සමුද්‍රීය පරිසර පද්ධතියද රැකගැනීමෙන් රමණීය මන්නාරම ඉදිරියටත් ‘අංකඩපත්තුවක්’ වීම වළක්වාගත හැකි වනු ඇත.
ටෙක්ලා පද්මිණි කාරියවසම්
සේයාරූ - විමල් කරුණාතිලක