
Forget Ranks Just Lead
කර්තෘ - ලාල් ෆොන්සේකා
මිල - රු. 450
ප්‍රකාශනය - සමයවර්ධන පොත්හල ප්‍රකාශනයකි.
ඉංග්‍රිසි බසින් රචිත මේ ග්‍රන්ථයේ නායකත්වය පිළිබඳ අදහස් රැසක් මාතෘකා 26ක් යටතේ ඉදිරිපත් කර ඇත්තේය. නායකත්වයේ ස්වභාවය, නායකත්වය ගොඩ නගන්නේ කෙසේද?, නායකත්වය හා කළමනාකාරිත්වය අතර වෙනස සහ නායකත්ව අරමුණු යනාදී වශයෙන් කරුණු දක්වා තිබේ. යහපත් නායකත්වයක් යටතේ ලැබිය හැකි ඵලදායිතාව පිළිබඳ විග්‍රහයක්ද මෙහි වෙයි.
සිංහල ගණිතය පරිසරය වැඩපොත
කර්තෘ - ප්‍රේම් දිසානායක
මිල - රු. 690
ප්‍රකාශනය - සී. ආර්. පොත් ප්‍රකාශනයක්
2018 නව නිර්දේශයට අනුකූලව 3වැනි ශ්‍රේණියට අදාළ තේමා සියල්ල ඇතුළත් කර සැකසුණු වැඩ පොතකි. සිංහල, ගණිතය හා පරිසරය විෂයන් තුනම එක පොතකට ගොනුකර ග්‍රන්ථය සකසා තිබීම පහසුවකි.
පරිසරය විෂයට අදාළ තේමා 16ක් සිංහල විෂයට අදාළ තේමා 16ක් සහ ගණිත විෂයට අදාළ තේමා 30ක් යටතේ අභ්‍යාස ඉදිරිපත් කර ඇත්තේය. සිසුන්ට පමණක් නොව ගුරුවරුන්ට හා දෙමවුපියන්ට ද අමතර අභ්‍යාස ලෙස දරුවන් පුහුණු කිරීම සඳහා උපකාර කර ගත හැකි ග්‍රන්ථයකි. අවසානයේ සියලුම අභ්‍යාසවලට අදාළ පිළිතුරු ද සපයා ඇත.
පියෙකුගෙ සිතාසියක්
කර්තෘ - සුමනදාස හපුහෙට්ටි
මිල - රු. 250
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි.
කතුවරයා විසින් කවි සඟරා හා ප්‍රකාශන සඳහා නිර්මාණය කළ කවි සහ නවතම නිර්මාණ ඇතුළත් කාව්‍ය සංග්‍රහයකි. මෙහි එන කාව්‍ය බොහොමයක් සමාජයේ එදිනෙදා දකින අසන සිදුවීම් විවිධ කෝණ ඔස්සේ විවරණය කරමින් නිර්මාණය කර තිබීම සුවිශේෂය.
පොහෝ දින වර්ණනා
කර්තෘ - වේවැල්දූවේ ඤාණෝභාස හිමි
මිල - රු. 200
ප්‍රකාශනය - වත්තල ආර්. පී. ප්‍රින්ටර්ස්
බොදු ජනතාවට සෑම අතින්ම ප්‍රයෝජවත් කෘතියකි. පොහෝ දින යෙදෙන අන්දම, අටසිල් සමාදන් වීම, නවාංග උපෝසථ ශීලය, තිසරණ හා ශික්ෂා පදවල තේරුම හා පොහෝ දින දොළහේ වැදගත්කම, සෙත් පිිරිත්, අභිසම්භිදාන පිරිත, චුල ජින පඤ්ජර පිරිත, ජලනන්දන පිරිත ඇතුළුව ආගමික වශයෙන් බෞද්ධයාට වැදගත් කරුණු රැසකින් සමන්විතය. ඤාණෝභාස හිමියන්ගේ 50වැනි ජන්ම දිනය වෙනුවෙන් පසුගිය 07 වැනිදා මේ ග්‍රන්ථය එළි දැක්විණි.
අමාවක නිමා වී 22 වැනිදා එළි දකී
ප්‍රවීණ ලේඛිකා චිත්‍රා අමරසේකරගේ නවතම පරිවර්තන කෘතිය 'අමාවක නිමා වී' මේ මස 22 වැනිදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද මාවතේ දයාවංශ ජයකොඩි හා සමාගමේ පොත් ප්‍රදර්ශනාගාරයේදී නිකුත් කෙරේ.
පාඨකයනට එදින විශේෂ අඩු මිලකට කෘතිය මිලදී ගත හැකිය.