නාවලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් | Page 5 | සිළුමිණ

නාවලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ධාවනය වෙමින් තිබූ මඟීන්ගෙන් පිරි දුම්රිය දෙකක් රාත්‍රී 12 පමණ සිට උදෑසන 7 පමණ දක්වා අතරමඟ නවත්වා දමා මඟීන් දහස් ගණනක් අපහසුතාවට පත් කිරීම සම්බන්ධව මානව හිමිකම් කොමිසම වෙත මඟීන් විසින් පැමිණිලි කර ඇත.

මෙහිදී මඟීන් විසින් පෙන්වා දී ඇත්තේ පසුගිය මැයි 10 වැනිදා රාත්‍රී 8.00ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා ධාවනය වූ අංක 1045 රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ලෙන් පස්වරු 5.50ට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1046 රාත්‍රී තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේදී හුවමාරු කර ධාවනය කිරීමට නාවලපිටිය ප්‍රවාහන අධිකාරිවරයා විසින් උපදෙස් ලබා දී ඇතත් ඒ දුම්රියයන් දෙක රාත්‍රී 12.00ට පමණ නාවලපිටිය දුම්රිය ස්ථානයට ඇතුළු නොකර පිටත සංඥාවේ පැය 7ක් පමණ අධික වර්ෂාවේ නවතා තබා නාවලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය කර තිබේ.

ආරක්ෂාකාරීව පහසුවෙන් දුම්රිය ගමනාගමනය සැලසිය යුතු බව දුම්රිය ආඥා පනතේ සඳහන්ව ඇති අතර, තම නිල බලය උපයෝගි කරගෙන මහජන අපහසුතාව ඇති කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විරුද්ධව හා එදින සේවයේ යෙදී සිටි නාවලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, විධිමත් පරීක්ෂණයක් පවත්වා එදින සේවයේ යෙදී සිට මඟී අපහසුතාව ඇති කළ දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් පහ කිරීමට නිර්දේශ කරන ලෙසද ‍අදාළ පැමිණිල්ලෙන් ඉල්ලීමක් කර තිබේ.

 

Comments