
ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා රජය විසින් විශාල මුදලක් වෙන් කොට ඇතත් එකී මූල්‍යාධාර නිසි ලෙස අදාළ ජනතාව විසින් භුක්ති විඳීමේ ඌනතාවක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
පසුගිය 2017 වසරේ ග්‍රාමීය ජනතාවගේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපාර දියුණු කිරීම සඳහා රජය රුපියල් මිලියන 4000ක් වෙන් කළත්, ජනතාව ලබාගෙන තිබෙන්නේ එයින් 50%කට ආසන්න ප්‍රමාණයක් බැව් අනාවරණය වෙයි.
ගම්බද ප්‍රදේශවල දුප්පත්කම සහ විරැකියාව දුරු කොට ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය ශ්‍රී ලංකා මහ බැංකුව අරමුදල් ලබාදී බැංකු පද්ධතිය තුළින් ක්‍රියාත්මක කරන පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම සඳහා ඇති තරම් මුදල් ලබාදීමට සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. මේ අතර ශ්‍රී ලංකා රජයේ අරමුදල් යොදාගෙන ක්‍රියාත්මක කරන ප්‍රතිමූල්‍ය හා පොලී සහනාධාර යෝජනා ක්‍රම අටක් සඳහා රුපියල් මිලියන 4000ක් වෙන් කොට තිබේ. මේ අන්දමට රජය වෙන් කළ මුදලින් වසර 2017දී ණය වශයෙන් ජනතාවට ලබාදී ඇත්තේ රුපියල් මිලියන 2000කට වැඩි මුදලක් බව 2017 මහ බැංකු වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමය සහ මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධනය ණය යෝජනා ක්‍රමය ප්‍රධාන පොලී සහනාධාර යෝජනා ක්‍රම සඳහා ද අවශ්‍ය තරම් මුදල් ලබාදීමට මහ බැංකුවට හැකියාව තිබේ.
ඊට අමතරව අන්තර්ජාතික අරමුදල් මඟින් සැලකිය යුතු අරමුදලක් ලබාගෙන ප්‍රතිමුල්‍ය ණය යෝජනා ක්‍රම 6ක් ක්‍රියාත්මකය. ඒ යටතේ රුපියල් මිලියන 2000ක මුදලක් කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අප රටට ලබාදී ඇත. එමෙන්ම කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මඟින් ආපදාවලින් පසුබෑමට ලක්වූ ව්‍යාපාර සංවර්ධනයටද මුදල් ලබාදී තිබේ. ඒ රජය කළ ඉල්ලීමකට අනුව බවද මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා කීය.
රජය, ශ්‍රී ලංකා මහ බැංකුව හා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් අලුත් ව්‍යවසායක, ගොවි පරපුරක් බිහි කිරීමට ණය මුදල්, පොලී සහනාධාර ලබාදීමට සූදානම් බවත්, ඒ සඳහා රටේ ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් ඉහළ නංවාගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවත් මහ බැංකුව කියයි.