
“කාන්තා දායකත්වයක් නොමැතිව ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීම දුෂ්කර” යැයි ලෝක බැංකුවේ කාන්තා ව්‍යවසායකත්වය සහ නීතිය පිළිබඳ 2018 වාර්තාව සඳහන් කරයි.
අප්‍රේල් මාසය ආරම්භයත් සමඟ මේ වාර්තාව එළි දැක්වුණු අතර එහිලා රටවල් 189 ක කාන්තා ව්‍යවසායකත්වය සමීක්ෂණයට ලක් කර තිබේ.
එම වාර්තාව පවසන අන්දමට ලොව පුරා වෙසෙන බිලියන 2.7 ක් වූ කාන්තා පිරිසකට තමතමන් කැමැති අන්දමේ රැකියාවක් තෝරා ගැනීමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ තවම නිදහසක් නැත. විවිධ නීති රීති මඟින් ඔවුනට එම නිදහස අහිමි කර ඇත.
එහෙත් පසුගිය වසර තුළ රටවල් 67 ක් එවැනි නීති රීති වෙනස් කර කාන්තාවනට ව්‍යාපාරවල යෙදීමටත්, කැමැති වෘත්තියක් තෝරා ගැනීමටත් නිදහස උදා කර දී තිබේ. රටවල් 104 ක කාන්තාවනට ඉන්ධන, කෘෂිනිෂ්පාදන, ජලසම්පත් ගමනාගමනය සහ කර්මාන්ත නිෂ්පාදන යන ක්ෂේත්‍රයන්හි රැකියා කිරීමේ දී සහ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමේදී විවිධ වාර්තා පනවා ඇතැයිද එම වාර්තාව සඳහන් කරයි.
මේ අතරින් ඉතා කනගාටුදායක වූ තත්ත්වයන් පවතින්නේ උප සහරාව, මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවේ රටවලය. ව්‍යාපාරික හා වෘත්තීය නිදහස ඉහළ ම මට්ටමකින් පවතින්ෙන් එක්සත් රාජධානිය, නවසීලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල ය. රටවල් 104 ක කාන්තාවනට සේවය කරන ස්ථානයන්හිදි ලිංගික අඩත්තේට්ටම් වලට ලක්වීමේදී නීතියේ පිළිසරණක් නැත. රටවල් 18 ක පිරිමිනට සිය බිරියන් රැකියාවලින් ඉවත් කර ගැනීමේ අයිතිය නීති ගත කර තිබේ.
උතුරු ආසියාතික රටවල තත්ත්වයේ දියුණුවක් දක්නට ලැබේ. ඉන්දියාවේ රැකියාවල නියුතු කාන්තාවනගේ තත්ත්වය උසස් කිරීමට ගත් ඇතැම් ක්‍රියා මාර්ග ගැන දැඩි විවේචන පවතී. දරු උපතක දී පඩි සහිත නිවාඩු 84 ක් ලබාදීම ඉන්දියාවේ පැවැති සම්මත නීතියයි. මේ දින ගණන වැඩි කිරීමට ඉන්දියාව පියවර ගත්තාය. නිවාඩු ලබා සිටින කාලය තුළ කාන්තා ශ්‍රමිකයනට වැටුප් ගෙවීමට පෞද්ගලික අංශයට නියම කරන නීති රීති පනවන ලදී.
මේ තත්ත්වය නිසා තරුණ වයසේ කාන්තාවන් ලොකු සහනයක් අත්කර ගත් නමුත් පෞද්ගලික අංශයේ ආයතන කාන්තාවන් සේවයට බඳවා ගැනීමට අකමැත්තක් දක්වන තත්ත්වයක් උදාවූ බව කාන්තා ව්‍යවසායක වාර්තාව කියයි.
බංගලිදේශය කාන්තාවන් බරවැඩට යොදා ගැනීම තහනම් කරන ලදී. එසේම ඇෆ්ගනිස්ථානය තම නීති රීති රාශියක් හඳුන්වා දෙමින් ව්‍යාපාර ආරම්භ කිරීමේ දී කාන්තාවන් දිරිමත් කිරීම් අරඹා තිබේ. එසේම සේවා ආයතනයන්හිදී සිදුවන ලිංගික හිංසන දඬුවම් ලැබිය යුතු වරදක් බවට නීති ගත කර දැඩි දඬුවම් හඳුන්වා දී ඇත.
කාන්තා ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ණය පහසුකම් ලබා ගැනීමේ දී ඔවුන් දෙවන පංතියේ ලා සැලකීමයි. එසේම ව්‍යාපාර සඳහා ඇප තැබීමේ දී ඇපයට ඉදිරිපත් කරනු ලබන දේපොළ පිළිබඳව ද කාන්තාවනට ගැටලු ඇතිවීම අප්‍රිකානු රටවල පැවැති අඩුපාඩුවකි. පවුලේ දේපොළ බෙදී යෑමේදී ගැහැනු දරුවනට අඩු සැලකිල්ලක් දැක්වීම නිසා මේ තත්ත්වය උදාවිය.
පසුගිය වසරේ දී ඇතැම් රටවල මේ ගැටලුවට විසඳුම් වශයෙන් ලිහිල් ඇප කොන්දේසි හඳුන්වා දෙන ලදී. රටවල් 75 ක කාන්තාවනට විවිධ අයුරින් දේපොළ අයිතිය සීමා කරන නීතිරීතී ක්‍රියාත්මක කරන බව ලෝක බැංකු වාර්තාව සඳහන් කර ඇත.
අප්‍රිකාවේ රටවල් කීපයක ධනාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබේ. උදාහරණයක් ලෙස ගතහොත් කෙන්යාව ගෘහස්ත හිංසනය තහනම් කරමින් කාන්තාවට රැකවරණය සපයයි. සැම්බියාව සමාන අයිතිවාසිකම් පිරිනමමින් කාන්තාව සමාන තත්ත්වයේ සැලකීම හඳුන්වා දී ඇත.
අනතුරුදායක සහ ජලය යට සිදු කැරෙන රැකියා සඳහා කාන්තාවනට ඉඩ නොදෙන නීති අවලංගු කිරීමට බොස්නියා සහ හර්සගොවිනා ආණ්ඩු ක්‍රියා කිරීමත්, විවිධ රැකියා සඳහා පනවා තිබූ තහනම් ඉවත් කිරීමට බල්ගේරියාව කටයුතු යෙදීමත්, ගැන කරුණු දක්වන ලෝක බැංකු වාර්තාව රාත්‍රි සේවාවන් සඳහා කාන්තාවන්ට පනවා තිබූ තහනම ඉවත් කිරීමට තජිකිස්තානය ක්‍රියා කළ බවද කියයි.
මැදපෙරදිග කලාපයේ ඉරාකය 2018 වන විට ප්‍රධාන ප්‍රතිසංස්කරණ හතරක් ක්‍රියාත්මක කර ඇත. ඇතැම් ආයතනයනට ඇතුල්වීම කාන්තාවනට තහනම් කරමින් පනවා තිබූ නීති වෙනස් කර තිබේ.
එසේම කැමැති ලෙස රැකියාවක් තෝරා ගැනීමට දැන් එරට කාන්තාවනට නිදහස තිබේ. ව්‍යාපාර ආරම්භ කිරීමට ද පිළිවන. දරු උපතකදී හිමිවන වැටුප් සහිත දින සංඛ්‍යාව 72 සිට 98 දක්වා දීර්ඝ කර ඇත. එහෙත් විශ්‍රාම යෑමේ වයස් සීමා අතර වෙනස්කම් දැක්වේ.
කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ මේ වාර්තවෙන් හෙළිවන්නේ කාන්තාවගේ නිදහස සීමා කරමින් පනවා තිබූ විවිධ වාරණ ක්‍රමයෙන් ඉවත්වන බවයි. එසේම කාන්තාව ක්‍රමයෙන් ව්‍යාපාරික පරිසරයට උචිත පරිදි සිය කුසලතා විදහා දක්වන බවයි.
කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ කරුණු දක්වන GEM සඟරාව පවසන පරිදි දසලක්ෂ 163 කට අධික කාන්තා පිරිසකට තමන්ගේ ම ව්‍යාපාරයක් තිබේ. කාන්තා ව්‍යවසාය පිරිස ක්‍රමයෙන් වර්ධනය වෙයි.
2014 වසරේ දී ඇමෙරිකාව, ඔස්ට්‍රේලියා සහ තායිවානය කාන්තා ව්‍යාපාරික කටයුතු අතින් ප්‍රමුඛ ස්ථානයට පත්වූ රටවල්ය. කාන්තා ව්‍යාපාර සඳහා සුදුසු ම රටවල් පිළිබඳ ලේඛනයේ 47 වන ස්ථානය චීනයට හිමිය. 35 වන ස්ථානයට පත්ව ඇත්තේ හොංකොං දේශයයි. පසුගිය විසිවසර තුළ ඇමෙරිකාවේ සෑම ව්‍යාපාර 10 කින්ම ව්‍යාපාර 4 ක් අයත් වන්නේ කාන්තාවන්ටය.
ශ්‍රී ලංකාවේ කාන්තාවනට ව්‍යාපාරයක් ඇරඹීමට කිසිදු නීතිමය බාධාවක් නැත. ඇතැම් රටවල කාන්තාවනට ව්‍යාපාරයක් ඇරැඹීමට සැමියාගෙ නිසි අවසරයක් ලබා ගත යුතුය. එසේම බැංකු ගිණුමක් විවෘත කිරීමට කිසිදු අපහසුවක් නැත. දැනට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සියයට 10 කට පමණ කාන්තා හිමිකාරිත්වය ඇතැයි කාන්තා ව්‍යාපාරික වෙළෙඳ මණ්ඩලය WLIC කියයි. උතුරු නැගෙනහිර කාන්තා වෙළඳ ව්‍යාපාර ආරම්භ කිරීම දැන් වැඩිව තිෙබ්. එම වාණිජ මණ්ඩලය පවසන අන්දමට විවිධ ව්‍යවසායයන්හි නියුතු සාමාජික කාන්තාවෝ 200 ක් පමණ එහි සාමාජිකත්වය හිමිකර ගෙන සිටිති.
කෘෂි නිෂ්පාදන ඇතුළු විවිධ නිෂ්පාදකයන්ට සම්බන්ධ ඔවුනට ක්ෂුද්‍ර ණය පහසුකම් සැපයීම, පුහුණු පාඨමාලා සහ වෙළෙඳ ප්‍රදර්ශන අවස්ථා සැපයීම එම වාණිජ මණ්ඩලයේ කටයුතු අතර මුල්තැනක් ගනී. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ධාරිතාවයෙන් වැඩි කොටසකට දායකත්වය සපයන්නේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත විසිනි. 2017 ආසියා පැසිපික් කාන්තා ව්‍යවසායකත්ව සමුළුව ශ්‍රී ලංකාවේ පැවැති අවස්ථාවේදී කියැවුනේ කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති රාමුවක් සකස් කර කාන්තා ව්‍යවසායකත්ව හැකියා වර්ධනය කර ගත යුතු බව ය.
දියුණු රටවල කාන්තා ව්‍යවසායකත්වය සමඟ සසඳා බලන විට දකුණු ආසියාවේ ප්‍රතිශතය අඩු මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ සුළු කර්මාන්ත අංශය සියයට 22 වන අතර මධ්‍යම පරිමාණ අංශය සියයට 39 කි. සුළු මහා මධ්‍යම කර්මාන්ත අංශයේ කාන්තා දායකත්වය සියයට 35 ක් යැයි ද එම සමුළුවේදී කියැවිණි.
එහෙයින් කාන්තා දායකත්වය ඉහළ නැංවීම සඳහා පියවර ගත යුතුවේ. ආසියානු සංවර්ධන බැංකුව පසුගියදා ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්ව කටයුතු දියුණුව සඳහා ඇ. ඩොලර් දස ලක්ෂ 12.6 ක ආධාරයක් ලබාදීමට මැදහත් විය.
යුද්ධයෙන් පසු නිදහස් වූ මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායක ව්‍යාපෘති කීපයක් ආරම්භ කළ අතර වදරි ප්‍රදේශයේ පාවහන් නිෂ්පාදනය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අවශ්‍ය තාක්ෂණික උපදෙස් සපයන ලදී.
මේ හැර බෙල්ලන් ඇති කිරීමේ ව්‍යාපාර, සත්ව පාලනය, රසකැවිලි කර්මාන්තය, තල් නිෂ්පාදන සහ පලතුරු යුෂ ඇසුරම් කිරීමේ නිෂ්පාදන මෑත කාලයේ දී එම පළාත්හි ඇරැඹිණ. මේ ඇතැම් ව්‍යාපාර සඳහා විදේශීය ආයතන සමඟ ශ්‍රී ලංකා රාජ්‍ය අංශය ද එක්ව අවශ්‍ය ආධාර උපකාර කර ඇත.