ලෝකයේ සමස්ත යුද වියදම ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි | Page 2 | සිළුමිණ

ලෝකයේ සමස්ත යුද වියදම ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි

අවි නොගැටෙන මිහිතලය වඩා යහපත් හෙටක් මිනිසාට උදා කර දෙන බව ඉර හඳ සේ සත්‍ය වුවද මිනිස් අත ගිනි අවිය අතහරින බවක් නම් කිසිසේත් සිතිය නොහැකිය. මිහිතලයේ එක් පසෙක මිනිසුන් සාගින්නෙන් මිය යද්දී, ස්වභාවික විපත්වලින් තවත් ලක්ෂ ගණනින් අවතැන් වෙද්දී මේ මිනිසුන් වෙනුවෙන් වැය කළ යුතු වන මහා ධනස්කන්දයක් ගිනි අවි වෙනුවෙන් වැය කිරීමට තවත් මිනිසුන් කොටසක් කටයුතු කරන්නේය. මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වනවා මිස අවම වන බවක් නම් කිසිසේත් දක්නට නොලැබේ.

ස්විඩන ආධාර ලබන සාම විමර්ෂි සංවිධානයක් වන ස්ටොක්හෝම් අන්තර්ජාතික සාම පර්යේෂණ ආයතනය පසුගියදා නිකුත් කළ වාර්තාවක් අනුව ලෝකයේ සමස්ත යුද වියදම ඉතිහාසයේ වැඩිම අගය පසුගිය වස‍රේදී වාර්තා කර තිබේ. එය අමෙරිකා ඩොලර් ට්‍රිලියන 1.73කි. එම ආයතනය දක්වන පරිදි මෙය 2016 වසරට සාපේක්ෂව සියයට 1.1ක වැඩිවීමකි.

අමෙරිකාව සහ රුසියාව අතර පැවති සීතල යුද ස‍මයේදී ආරම්භයේ සිට ක්‍රමයෙන් ලෝකයේ යුද වියදම් වර්ධනය වූ අතර ඉන්පසු මේ දක්වා එහි පහළ බැසීමක් වාර්තා වූයේ නැත. අමෙරිකාව මෙන්ම රුසියාවද වැඩි වැඩියෙන් යුද අවි නිෂ්පාදනය සහ අවි සඳහා කෙරෙන පර්යේෂණ සහ අත්හදාබැලීම් වෙනුවෙන් දිගින් දිගටම මුදල් වැය කළ අතර ඒ අතරට තවතවත් රටවල්ද එක්වෙමින් සමස්ත ලෝකයේ යුද වියදම දිනෙන් දින වර්ධනය කරවීය. එහෙත් 1998 වසරේදී රුසියාවේ බිඳ වැටීමත් සමග එරට යුද වියදම්වල අඩුවීමක් දක්නට හැකිවිය. එහෙත් එයට සාපේක්ෂව අමෙරිකාවේ යුද වියදම් අඩු නොවූ අතර ඒ වෙනුවට අමෙරිකාව දිනෙන් දින වඩාත් වැඩි මුදලක් යුද වියදම් සඳහා වෙන් කිරීමට විය.

පසුගියදා නිකුත් වූ වාර්තාව අනුව වඩාත් විස්මයජනක තොරතුර වන්නේ ලෝකයේ වැඩිම යුද වියදම් වාර්තා කරන රටවල් පහ අතරට ඉන්දියාවද එක්ව සිටීමය. පසුගිය වසරේ ඉන්දියාව දරා ඇති ආරක්ෂක වියදම ඩොලර් 63.9ක් වී තිබේ. එය 2016ට සාපේක්ෂව සියයට 5.5ක වැඩිවීමකි. කෙසේවුවද මේ මුදල වැය කිරීමත් සමග ඉන්දියාව ලෝකයේ බලවත් රටක් ලෙස ස්ථාවර වීම වළක්වාලිය නොහැකි වනු ඇත.

අමෙරිකාව සුපුරුදු පරිදි ලෝකයේ වැඩිම යුද වියදම දරන රට ලෙස පසුගිය වසරේදී ‍ඩොලර් බිලියන 610ක් ආරක්ෂාව සඳහා වැය කර තිබේ. චීනය දෙවැනි තැන දිනා ගන්නේ ඩොලර් බිලියන 228ක් ඒ සඳහා වැය කරමිනි. තුන්වැනි ස්ථානය මැද පෙරදිග කලාපයේ බලවතා ලෙසින් බලය පතුරා සිටින සෞදි ආරබිය විසින් දිනාගෙන ඇත්තේ යුද වියදම් සඳහා ඩොලර් බිලියන 69.4ක් වැය කරමිනි. ඉන්දියාව ප්‍රංසයද පසු කරමින් පස්වැනි ස්ථානය දිනා සිටින අතර ප්‍රංසය ඩොලර් බිලියන 57.8ක් වැය කරමින් හයවැනි ස්ථානය දිනාගෙන තිබේ.

මේ රටවල් අතරට එක්ව හතරවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුවද රුසියාව පමණක් පසුගිය වසරට සාපේක්ෂව තම යුද වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර තිබේ. එය 2017 වසරේදී ඩොලර් බිලියන 66.3ක් වුවද 2016 වසරට සාපේක්ෂව සියයට 20ක අඩුවීමක්ද වේ. කෙසේ වුවද රුසියාව සිරියා යුද්ධයට එක්වීමත් සමග අනපේක්ෂිත ලෙස තම බලය තහවුරු කර ගැනීමට සහ ප්‍රදර්ශනය කිරීමට හේතුවීමෙන් යුරෝපා රටවල් බොහොමයක යුද වියදම් වර්ධනය වී ඇති බව ප්‍රකාශිතය.

ස්ටොක්හෝම් අන්තර්ජාතික සාම පර්යේෂණ ආයතනය මෙලෙස දක්වා ඇත්තේ නිශ්චිත ලෙස අයවැය පවත්වා ගන්නා ලෝකයේ පිළිගත් රටවල යුද වියදම් පමණක් බව සිහියේ තබා ගත යුතු අනෙක් වැදගත් කරුණ වේ. මේ හැර ත්‍රස්තවාදී සංවිධාන ඇතුලු තවත් සංවිධාන සහ එම සංවිධානවලට අවි සැපයීමේදී ලබා දුන් මුදල් ලෝකයේ පිළිගත් රටවල වාර්තාවලට ඇතුළත් නොවන බවත්, වැය ශීර්ෂ සම්බන්ධයෙන් කිසිදු තැනක ගණනය කිරීමක් සිදුව නොමැති බවත් සිහියේ තබා ගත යුතුය. මේ සියල්ල එක් වූ කළ මිනිසුන් විසින් මිනිසුන් නැසීම සඳහාම කොතරම් මුදලක් වැය කරන්නේද යන්න සමස්ත මනුෂ්‍ය වර්ගයාම සිතට ගත යුතු තවත් එක් අවාසනාවන්ත කරුණකි.

Comments