13 බලාත්මකව තිබියදී 20 ගෙන ඒම අස්ථාවර රටකට මඟ පෑදීමක් | සිළුමිණ

13 බලාත්මකව තිබියදී 20 ගෙන ඒම අස්ථාවර රටකට මඟ පෑදීමක්

අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි

අද රටේ ජාතික ප්‍රශ්න නොසලකා හැර සියලුම පක්ෂ සිදු කරන්නේ දේශපාලන න්‍යායන් මුල් කරගෙන කටයුතු කිරීමයි. පසුගිය දිනවල ජනතාව, සිවිල් සමාජය මෙන්ම මාධ්‍යයටත් විශ්වාසභංගයට එහා යෑමක් තිබුණේ නැහැ. එයින් රටට හෝ ජනතාවට හෝ කිසිදු ආකාරයක ප්‍රගතියක් සිදු වුණාද? අප දේශපාලන න්‍යාය පත්‍රය ගැන නොව රට ගැනයි සිතා කල්පනා කළ යුත්තේ. ආණ්ඩු කරන්නේ එක්සත් ජාතික පක්ෂයද එසේත් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එසේත් නැත්නම් වෙනත් පක්ෂයක්ද යන්න අපට වැදගත් වන්නේ නැහැ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන නිසා එය හකුළා ගැනීමට බල කෙරෙන ජාතික මහ සඟ සමුළුවක් පසුගිය 03 වැනිදා කොළඹදී පැවැත්වුණි. එහිදී භික්ෂූන් වහන්සේ විසින් දැඩිව මේ සංශෝධනයට විරෝධය පාන ලද්දේ රට අස්ථාවර වීමට ඉඩ ඇති බව පවසමින්. මේ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් දැක්වූ අදහස් ඇසුරින් මේ ලිපිය සකස් කර ඇත.

පසුගියදා කොළඹදී පැවැත්වුණු මහ සඟ සමුළුවේදී කරුණු 16කින් යුත් සංඝ ආඥාවක් නිකුත් කරනු ලැබුවා. මේ සංඝ ආඥාව නිකුත් කිරීමට හේතු වූයේ 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනයක් ගෙන ඒමෙන් රටේ සිදු වීමට යන මහා ව්‍යසනකාරී තත්ත්වය වැළැක්වීම පිණිසයි. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව විශේෂයෙන්ම පළාත් සභා සම්බන්ධයෙන් පැවරී ඇති බලතල අනුව පළාත් සභාවන්ට යම් ආකාරයක බලපෑමක් කළ හැකියි. ඒ තත්ත්වය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අහිමි වනවා. විශේෂයෙන්ම ප්‍රධාන ඇමැතිවරයාට ඇති අසීමිත බලතල සීමා කරන්නට ජනාධිපතිවරයාට ඇති හැකියාව අහිමි විමෙන් රට අස්ථාවර තත්ත්වයකට පත් වීමට ඉඩ තිබෙනවා. මේ නිසා රටේ ඒකීය භාවයට මෙන්ම ‍භෞමික අඛණ්ඩතාවට තර්ජන එල්ල විය හැකියි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොතිබුණානම් 20වන ආණ්ඩුක්‍රම සංශෝධනය බලාත්මක කිරීමට කටයුතු යෙදීමේ වරදක් නැහැ. එසේ වුවත් දැනට පළාත් සභාවන්ට ලබා දී ඇති බලතල ඉක්මවා කටයුතු කරන්නට විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අවවාද හෝ උපදෙස් පිළි නොපිළිපැද පළාත් සභාවන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට පළාත් සභාවලට බලය පැවරෙන පරිදි 20වන සංශෝධනය කරළියට ගෙන ඒම සුදුසු යැයි කිසිදු ලෙසකින් අනුමත කළ නොහැකියි.

විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැනි ජනතා හිතකාමී ලෙස සමාජයේ යම් පිළිගැනීමකට ලක්ව ඇති ජනතාව බලයට පත් නොකළත් සමාජයේ සාධාරණයක් උදෙසා කතා බහ කරන පක්ෂයක් රට අස්ථාවර කරනු ලබන 20 වැනි සංශෝධනය කරළියට ගෙන ඒමට උත්සාහ දැරීම ගැන මතුව ඇත්තේද ගැටලුවක්. 20 වැනි සංශෝධනය ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ විසින් දරණ මේ මැදිහත්වීම පිටුපස බොහො විචාරකයන්ට සැක පහළව තිබෙනවා, කාගේ හෝ අවශ්‍යතාවක් උදෙසා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවාද යන්න පිළිබඳව. ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ඇති කරනවාට විරුද්ධව අරගල ගෙන ගිය පක්ෂයක්. රට ගිනි තබා පොදු දේපළ විනාශ කරමින් ඔවුන් විසින් කටයුතු කළ ආකාරය අමතක කරන්න බැහැ. එමෙන්ම 60000ක පමණ ඔවුන්ගේ පිරිස් කැරැලි දෙකේදී මිය ගියා. ජේ‍. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියත් පළාත් සභා සම්බන්ධ බලතල ක්‍රියාත්මක කළ 13 වන සංශෝධනයේදී පැහැදිලිව ම කටයුතු කර ඇත්තේ යම් බලතල සීමාවක් ඇතිවයි.

විශේෂයෙන්ම බලාත්මක කිරීමට යන 20 වන සංශෝධනයෙන් ‍ෆෙඩරල් හෝ බෙදුම්වාදය ඉස්මතු වන බවක්ද පෙනෙන්නට තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම රට අස්ථාවර තත්ත්වයකට පත් විය හැකියි. වරින් වර සංශෝධන පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආවත් එයින් ජනතාව‍ට හෝ රටට වී ඇති සෙතක් නැහැ.

අද රටේ ජාතික ප්‍රශ්න නොසලකා හැර සියලුම පක්ෂ සිදු කරන්නේ දේශපාලන න්‍යායන් මුල් කරගෙන කටයුතු කිරීමයි. පසුගිය දිනවල ජනතාව, සිවිල් සමාජය මෙන්ම මාධ්‍යයටත් විශ්වාසභංගයට එහා යෑමක් තිබුණේ නැහැ. එයින් රටට හෝ ජනතාවට හෝ කිසිදු ආකාරයක ප්‍රගතියක් සිදු වුණාද? අප දේශපාලන න්‍යාය පත්‍රය ගැන නොව රට ගැනයි සිතා කල්පනා කළ යුත්තේ. ආණ්ඩු කරන්නේ එක්සත් ජාතික පක්ෂයද එසේත් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එසේත් නැත්නම් වෙනත් පක්ෂයක්ද යන්න අපට වැදගත් වන්නේ නැහැ.

ජනතා හිතකාමී ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව නිසි අයුරින් රැක ගෙන කටයුතු කරන ස්ථාවර රජයක් තිබීමයි වැදගත් වන්නේ. නමුත් අපේ රටේ ඇති කර ගන්නා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල හෝ එවැනි සමාජීය කණ්ඩායම් ඒ සම්බන්ධව කතා කරමින් සිටිනවා හැරෙන්නට රටට වැඩදායි දිගු කාලීන ක්‍රමවේදයක් එළි දක්වා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍යාගම ඒකීය රාජ්‍යය යන්න පැහැදිලිව නිරවුල් ලෙසින් අර්ථ දැක්විය යුතු වනවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල සිවිල් සමාජය නොදන්නා දේ පවා සම්මත කර ගන්නට ඉඩ තිබෙනවා. ඒ ගැනත් ජනතාවට සැක සංකා මතුව තිබෙනවා.

අද බොහෝ විටම කළ යුත්තේ රටේ ආර්ථිකය ගැන අවධානය යොමු කරමින් රටේ සංවර්ධනයත් ජනතා සුබ සිද්ධියත් ගැන සිතා කටයුතු කිරීමයි. නමුත් සිදු නොවන්නේත් එයයි. මෙවන් තත්ත්වයක් තුළ රටට ආයොජකයින් පැමිණීම අඩු වී රටේ සංවර්ධන කටයුතු අඩාල වී රට අාගාධයට යෑම වළක්වන්න අපහසුයි. එමෙන්ම පවතින වාතාවරණය තුළ අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවට ත්‍රෛයිනිකායික මහ නාහිමිවරුන් විසින් රජයට අනුශාසනා කර ඇති බැවින් යළිත් එවැනි කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු වෙනස් කිරීම මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීමේ අවශයතාවක් විදේශීය බලවේගවලට අවශ්‍ය වී තිබෙන බවක්ද පෙනෙනවා. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක බෙදුම්වාදී ජාතිවාදී ඇතැම් පක්ෂ වෙනම රාජ්‍යයක අවශ්‍යතාව මතු කරමින් සිටිනවා. ඔවුන් ඒ සඳහා ස්වයං තීරණර ගැනීමේ අයිතිය වැනි වදනක් පෙන්වා දෙමින් ඒකීය රාජ්‍යය සංකල්පය බිඳ දමා තම බලාපොරොත්තු මුදුන් පත් කරන්නට කතටයුතු යොදමින් සිටිනවා.

මේ නිසා යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් වළක්වා ගැනීම පිණිස කටයුතු කරන ලෙස සංඝ සම්මේලනය මඟින් ඉල්ලා සිටිනවා. මෙහි විශේෂිතම සිදුවීම වන්නේ අළු යට ගිනි පුපුරු තිබීමයි. කොහි මොහොතක හෝ ‍මේ ජාතිවාදී බෙදුම්වාදී පක්ෂ නැඟී සිටීමට උත්සාහ දරමින් තිබෙන බව පැහැදිලියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු අණ පනත් සම්මත කර ගැනීමේදී ඇතැම් අවස්ථාවල අනුගමනය කළ ආකාරයට අනුව කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවාගෙන කෙටුම්පතේ ඇතුළත් නොවන බෙදුම්වාදී සංශෝධනය කාරක සභා අවස්ථාවේදී ඊට ඇතුළු කිරීමට බෙදුම්වාදී බලවේග කටයුතු කරන්නට පුළුවන්.

සමස්ත ශ්‍රී ලංකා වාසීන් ලෙස කටයුතු කරනවා විනා 13 වන ආණ්ඩු ක්‍රමයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ඉවත් වන සේ ගෙන ඒමට ‍යෝජිත 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය කිසිසේත්ම ක්‍රියාත්මක නොකර අකුළා ගන්නා ලෙස භික්ෂූන් වහන්සේ ඉල්ලීමක් කරනු ලබනවා‍.

Comments