
වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී සිටි යෝධ පැන්ඩාවන්ට ගෝචර වාසස්ථාන ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙමින් යන බව චන්ද්‍රිකා දත්තවලින් තහවුරු වේ. මේ නිසා අද වනවිට යෝධ පැන්ඩාවන් ජීවත් වන්නේ ඔවුන්ගේ චර්යාවන් පවත්වාගෙන යෑමට තරම් යෝග්‍යය නොවන වනාන්තරවල යැයි අනාවරණය වී ඇත. ඒ ගැන විශේෂ අධ්‍යයනයක නිරත වූ අමෙරිකා එක්සත් ජනපදයේ ඩියුක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටුවර්ට් පිම් පවසන්නේ මේ තත්ත්වය 1988 වසරේදී පැවැති තත්ත්වයට වඩා බෙහෙවින්ම නරක තැනක පවතින බවකි.
යෝධ පැන්ඩාවන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී සිටින්නේ යැයි පළමු වරට අනාවරණය වූයේ 1988 වසරේදීය. ඒ සමඟම වාගේ යෝධ පැන්ඩාවන් සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙල ඉතා කඩිනමින් ක්‍රියාත්මක විය. මේ නිසා 2013 වනවිට ලෝ පුරා සිටින යෝධ පැන්ඩාවන්ගේ සංඛ්‍යාව දෙදහස ඉක්මවන මට්ටමකට රැගෙන එන්නට බලධාරීහු සමත් වූහ. එකී තත්ත්වය හේතු කරගෙන යෝධ පැන්ඩාවන් වඳ වී යන සතුන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර අනතුරට භාජනය විය හැකි සතුන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන්නට සොබාදහම සංරක්ෂණය කිරීමේ අන්තර්ජාතික සංගමය පියවර ගත්තේය.
දැනට මිහිමත ඉතිරි වී සිටින යෝධ පැන්ඩාවන් දෙදහස් ගණනෙන් එක් දහස් අටසිය හැට ගණනක්ම සිටින්නේ වනාන්තර තුළය. ඉතිරි ප්‍රමාණය සත්ත්වෝද්‍යාන තුළ ජීවත් වෙති. ස්වභාවික පරිසරයේ ජීවත්වන යෝධ පැන්ඩාවන්ගෙන් 1800ක් පමණ ප්‍රමාණයකගේ නිජබිම් වී තිබෙන්නේ චීනයේ සිචුවාන්, ෂැන්ක්සි සහ ගන්සු යන ප්‍රාන්තවල කඳුකර ප්‍රදේශයන් හයකි. නමුත් මේ ප්‍රදේශ තුළ යෝධ පැන්ඩාවන්ට ජීවත්වීමට අවශ්‍යය වනන්තර හිඟ බව චන්ද්‍රිකා දත්තවලින් සනාතව ඇත. එවැනි තත්ත්වයක් මතුව තිබෙන්නේ භූ චලන, කෘෂිකාර්මික කටයුතු, මහා මාර්ග ඉදි කිරීම්, සංචාරක ව්‍යාපාරය, ජනාවාස ඇතිවීම, වන්නාතරවල ශාක කපා හෙලීම වැනි කාරණාවන් නිසාය. එනිසා යෝධ පැන්ඩාවන්ට ජීවත්වීමට ඇති ඉඩ ප්‍රමාණය ඉතා කුඩා භූමි භාගයකට සීමා වී ඇත.
“... යෝධ පැන්ඩාවන්ට තමන්ගේ චර්යාවන් පවත්වාගෙන යමින් ජීවත් වෙන්න තිබෙන බිම් ප්‍රමාණය 1976 සිට 2001 දක්වා කාලය තුළදී 23%කින් පමණ අඩුවෙලා ගිහින් තියෙනවා. මේ කාලය තුළදී එම වනාන්තර ප්‍රදේශ වැඩි කිරීමටත් යම් යම් පියවර ගෙන තිබෙනවා. නමුත් වනාන්තර වැඩි වී තිබෙන්නේ ඉතා අල්ප වශයෙන්. ...” යැයි කියා මහාචාර්ය ස්ටුවර්ට් පිම් පවසයි.
වනාන්තර ප්‍රමාණය අනුක්‍රමයෙන් සුලු වශයෙන් හෝ වැඩි වුවත් එය යෝධ පැන්ඩාවන්ගේ ජීවන විලාසයන් පවත්වාගෙන යන්නට පිටිවහලක් වී නැති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. වනාන්තර ආශ්‍රිතව මහාමාර්ග ඉදි වීම ජනාවාස බිහිවීම වැනි තත්ත්ව නිසා යෝධ පැන්ඩාවන්ගේ ගහනය වර්ධනය වී තිබෙන්නේ කුඩා කුඩා කණ්ඩායම් හැටියටය. බොහෝ අවස්ථාවන්හිදී එම යෝධ පැන්ඩා කණ්ඩායම් එකිනෙකකින් වෙන්ව ජීවත් වන බැව් විද්‍යාඥයන්ගේ මතයයි. එනිසා යෝධ පැන්ඩා කණ්ඩායම්වල සාමාජිකයන්ට මුණ ගැසෙන්නට හැකියාවක් නොලැබෙන බැව් පැවසේ. මෙය යෝධ පැන්ඩාවන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට බාධාවකි.
අනාගතයේ දිනයක යෝධ පැන්ඩාවන් වනාන්තර තුළදී දැකගන්නට වුවමනා නම් ඔවුන් වෙනුවෙන් එම පරිසර පද්ධති අමාරුවෙන් වුව නඩත්තු කර පවත්වාගෙන යා යුතු බව මහාචාර්ය ස්ටුවර්ට් පිම් පෙන්වා දෙයි.
මංජුලා විජයරත්න