
අසිරිමත් බෝසත් උපත සිදු වුයේ අදවන් වෙසක් පුන් පොහෝ දිනක ය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පිරූ පාරමී දම් බලයෙන් ඒ අසිරිමත් මනුෂ්‍ය දරුවා, බෝසත් සිදුහත් කුමරු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට සම්මා සම්බෝධියට පත්වුයේද අද වන් වෙසක් පොහෝ දිනකය. ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් පන්සාළිස් වසක් පුරා අමා දහමෙන් ලෝ සත සනසා දුකින් මිදෙන මඟ කියා දුන් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වුයේ ද අදවන් වෙසක් පුන් පොහෝ දිනක ය.
දියණියක, නැගණියක, ස්වාමි දියණියක ලෙසින් විවිධ චරිත හොබවමින් ගෘහය සරසන, ගෘහයට වටිනාකමක්, අර්ථයක් ගෙන දෙන එතැනින් නොනැවතී උත්තරීතර මවු පදවිය ද, ගුණ ගරුක මිත්තණියක ලෙස ද අනාගත පරපුරක් ගොඩනඟන, සවිගන්වන උතුම් කාන්තාවක් වන ඔබට මේ පින්බර වෙසඟ අර්ථවත් කරන්නට දැක්විය හැකි දායකත්වය වෙසෙස් ය.
සිල්වත්කම, නුවණ ඇති බව, කාන්තාවකට ආභරණයකි. ඒ මග අගය කරන බොදු කාන්තාවක ලෙස අවබෝධ කරගත් ධර්මයට අනුව ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගෙවනවා නම් එය අප විසින් සිදු කරනු ලබන උතුම් ම බුද්ධ පුජාව වන්නේ ය. බුදුරජාණන් වහන්සේ උදෙසා මලක් පුජා කිරීමෙන්, පහනක් පුජා කිරීමෙන් ලැබිය හැකි ආනිශංසයන්ට වඩා එක් ගුණ ධර්මයක් පුහුණු කොට ප්‍රතිපත්තියෙන් බුදුන් පිදීමෙන් ලැබිය හැකි ආනිශංසය වැඩි බව බුදු රජාණන් වහන්සේ ම දේශනා කළහ. දන්දීම, මල් පහන් පිදීම වැනි ආමිෂ පුජාවන් නොකළ යුතු යැයි ඉන් කිසිසේත් නොහැඟවේ. උදේ සවස තමන්ගේ ගෘහයෙහි බුදුරදුන් උදෙසා මල් පහන් පුජා කිරීම, දරුවන්ට ද ඒ ආදර්ශය ලබා දීම ආදී පිළිවෙත් ඉටු කිරීම අත්‍යවශ්‍ය ය. ඒ වගේම කාන්තාවක ලෙස ප්‍රතිපත්ති පුජාවට මුල් තැන දීම තුළ ඔබ දරුවන් ඇතුළු පවුලේ සැමට ආදර්ශවත් චරිතයක් වෙයි.
ගෘහ ජීවිතයක සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ස්වාමි දියණියගේ, මවගේ චරිතවත් බව, උනන්දුව හා කැපවීම මත ය. එතැනින් ඔබ්බට සමාජ සාමාජිකාවක ලෙසින් අනෙකුත් පිරිස යහමග යැවිමටද කටයුතු කළ යුතුය. එහිදී අනාදිමත් කලෙක සිට අප රැකගෙන ආ සම්බුදු දහමෙන් පෝෂිත වු හර පද්ධතීන්, උරුමයන් ආරක්ෂා කර ගැනීමෙහි ලා කාන්තාවකට කළ හැකි කැප වීම වෙසෙස් ය. කොතරම් කාර්ය බහුල වුවද දරුවන් සමඟ එක් වී බුදුරදුන්ගේ ගුණ සිහිකරමින් වෙසක් පහන් කූඩුවක් සාදන්නට අමතක නොකළ යුතුය. කඩයකින් මිල දී ගන්නා පහන් කූඩුවකට වඩා ඔබ දරුවන් සමඟ එක්ව නිමවන වෙසක් සැරසිල්ලක වටිනාකම ඉහළය. දන්සලකට උදවු උපකාර කරන්නට වෙසක් තොරණක් පෙන්වා අපගේ බොදු සංස්කෘතික උරුමයන් ගැන දරුවන් තුළ හැඟීමක් ඇති කරන්නට වෙලාව වෙන් කළ යුතුය. අසරණයන්ට පිහිට වන්නට, ආගමික වතාවත්හි නිරත වන්නට, උදවු උපකාර ඇවැසි තැනට හැකි පමණින් උදවු උපකාර කරන්නට නැමෙන සිත් ඇති කරගත යුතුය. පසළොස්වක පොහෝ දින හෝ දරුවන් සමඟ පෙහෙවස් සමාදන් වීම මෙහිදී වෙසෙස් ය. අඩුම තරමේ අපගේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් මාසයකට එක් දිනක්, පැය විසිහතරක් කැප කර, උන් වහන්සේ ඉගැන්වු බණ දහම් ශ්‍රවණයට, ධර්ම සාකච්ඡාවට, සන්සුන් සිතින් භාවනා වැඩීමට ජීවිතයේ පුහුණුවක් ඇති කරගන්නට මෙතෙක් අතපසු වු වානම්, මේ උතුම් වෙසඟ දිනයේ සිට ඊට ආරම්භයක් ලබා දෙන්නට පින්වත් ඔබට පුළුවන.
ඔබ පොහෝ දිනයෙහි සමාදන් වන උපෝසථ ශීලය පිළිබඳ අංගුත්තර නිකායේ උපෝසථ සුත්‍රයෙහි මනා විවරණයක් කෙරේ. එහි බුදුරජාණන් වහන්සේ විශාඛා මහා උපාසිකාව අමතා ආර්ය විනයෙහි දැක්වෙන නිවැරැදි උපෝසථය පිළිබඳව දේශනා කළහ. ඒ ආර්ය උපෝසථයයි. එහි ප්‍රධානම ලක්ෂණය කිලිටි වු සිත පිරිසුදු කර ගැනීම ය. මේ ජීවිතයේ මුහුණ දුන් අනේකවිධ ප්‍රශ්න ගැටලු හමුවේ මේ සිත මොන තරම් කිලිටි වන්නට ඇති ද? ඒ සිත ආර්ය උපෝසථයෙන් පිරිසුදු කර ගන්නට බොදු කාන්තාවක ලෙස ඔබ අදිටන් කර ගත යුතු ය. සිතෙහි කිලිටි ඉවත් කරන ආකාර පහක් බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. ඒ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතියේ හා දේවානුස්සතිය වැඩීමෙනි. ඒ පිළිබඳ ඥානය ලබා ගන්නට මාර්ග සකසා ගැනීම වැදගත් ය. ආමිෂ පුජාවෙන්, ප්‍රතිපත්ති පුජාවෙන්, බුදුන් පිදිය යුතු සරලව කියනවා නම් පින්කම් කළ යුතු අවංක සිතින්ම ය. අසල්වැසියන්ට, රටට, සමාජයට පෙනෙන්නට නොවේ. එසේ වනවා නම් එය තමන් විසින් තමන් ම රවටා ගැනීමකි. එවැනි තත්ත්වයකදී අධ්‍යාත්මික පිරිසුදු බවක් ඇති වනවා වෙනුවට සිදු වන්නේ තවතවත් අධ්‍යාත්මය අපිරිසුදු වීමය. පව් රැස් කර ගැනීම ය.
මොන දේ කළත් සැනසීමක් නැතැයි යන හැඟීම ඔබට මේ ජීවිතයේ මොනතරම් දැනෙන්නට, හැඟෙන්නට ඇති ද? එහි වරද ඔබ සිතින් කී දෙනෙකුට පවරන්නට ඇති ද? ඊට වගකිව යුතු තමන් මිස අනුන් නොවේ. අප සැනසීමට පත් නොවන්නේ ජීවිතය ධර්මයෙන් දකින්නට තරම් ඉවසීමක් අප තුළ නොවන නිසාය. සිතන්න ඔබ මේ තාක් සතුට සැනසීම සෙවුවේ කොතැනද? ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී වු පංචෙන්ද්‍රියයන් පිනවීමට ම නොවේද? ඉපැදුණු දා සිට මේ මොහොත දක්වා ම ඒ පසුපස ම හඹා ගියා නොවේද? කෙළවරක් තිබුණද? සැනසීමකට පත් වුණාද? නැත. උදා වූ මේ වෙසඟේ ඒ ගැන හොඳින් මෙනෙහි කරන්න. සැප යැයි සිතමින් සන්තර්පණය කිරීමට වෙර දරන මේ එකම ඉන්ද්‍රියයක් හෝ පිනවා අවසන් කළ නො හැකිය. මේ භවයේ පමණක් නොවේ. මෙතෙක් ආ දිර්ඝ සංසාර ගමනේ ඉපැදෙමින්, මිය යමින් අප ලුහු බැඳ ඇත්තේ මේ සැප පසුපසම ය. එහෙත් ලැබූ සැනසීමක්, තෘප්තියක් නැත. ඒ ජීවිතය ධර්මයෙන් නොදැකීම නිසාය. ඒ ඥානය, ලබන්නට නම් දහමට සමීප විය යුතුම ය. ධර්මය අවබෝධ කර ගත යුතුමය. ඒ වෙනුවෙන් යම් කාලයක් වෙන් කරගන්නට අධිෂ්ඨාන කරගැනීමට බොදු කාන්තාවන් ලෙස ඇප කැප විය යුතු ය.
බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධර්මයෙහි කැමැති පුද්ගලයා දිනෙන් දින දියුණුවට ළඟා වන බවය. ධර්මයෙහි අකැමැති පුද්ගලයා පරිහානියට ළංවන බවය. එක් මොහොතක පළමුවැනි හුස්ම පොද අරගෙන ඊළඟ හුස්ම හෙළීමට මත්තෙන් අපගේ මරණය සිදු විය හැකි බව, පළමු බත් පිඬ ගෙන ඊළඟ බත් පිඬ ගන්නට පෙර අපගේ මරණය සිදු විය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එය අවබෝධ කරගෙන නිරතුරුවම තරමන්ගේ අඩුපාඩු නිවැරැදි කරගත යුතුය. ජීවිතයේ ස්වභාවය වටහාගත යුතුය. සියලුදේ උපේක්ෂාවෙන් දරාගන්නට එය මාහැඟි ඖෂධයකි.
බෞද්ධයන් ලෙස අපගේ ප්‍රාර්ථනාව මේ සංසාර ගමනේ කෙළවර දැකීම විය යුතුය. එනම් උතුම් නිවන ලැබගැනීමය. නිවන් දැකිය හැකි එකම මඟ බුදු රදුන් විසින් දේශිත ශ්‍රී සද්ධර්මය දැන ගැනීම ය . ධර්මය දැකීම, යනු ප්‍රතිපත්තියට අනුව ජීවත් වීමය. බුදු රජාණන් වහන්සේ පරිනිර්වාණය කරන්නට ආසන්න කාලයේ එක් අවස්ථාවක ආනන්ද හිමියන් අමතා දේශනා කොට වදාළේ තමන් වහන්සේගේ ඇවෑමෙන් පසු තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම, විනය ශාස්තෘවරයා වන බවය. ඒ ධර්ම විනය අපට නිවැරැදි ප්‍රතිපත්තීන් උගන්වයි. නිවන් ලැබීමට නම් ප්‍රතිපත්ති සම්පුර්ණ කළ යුතුමය. එහිදී ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදා දක්වන සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා ඉතා වැදගත් ය. එහි ගම්‍ය වන ප්‍රතිපත්ති ලෞකික, ලෝකෝතර දියුණුවට මඟ සාදයි. වෙසෙසින් කාන්තාවක ලෙස සංවර වීම වැදගත් බව පෙර සඳහන් විය. ශීලය තුළින් සිදු වන්නේ කය වචනය සංවර වීමය. ඒ සංවර බව තමන්ගේ පමණක් නොව සමාජ සංවර්ධනයට ද හේතු වෙයි.
උතුම් මවු පදවිය ලැබෙන්නේ කාන්තාවකටම පමණි. ඒ මවු පදවිය උත්තරීතර වන්නේ ඇය සිව් බඹ විහරණ ගුණයෙන් යුතු වුයේ නම් ය.
මෛත්‍රියම මිස වෛරී සිතිවිලි කාන්තාවකට කිසිසේත් නොගැලපේ. සියලු දෙනාගේ ම සැප ප්‍රාර්ථනා කිරීමට පුහුණු කරගත් සිත ඇය ගේ අධ්‍යාත්මයේ පිරිසුදු බව පෙන්වන්නේය. කෙනෙකුගේ දුකකදී, වේදනාවකදී සතුටු වනවා නම් කාන්තාව ලජ්ඡාවට පත් විය යුතුය. ඇවැසි අනුකම්පාවෙන් කරුණාවෙන් සියලු දෙනා සැපවත් කිරීමට උත්සාහ ගැනීමය. සතුරු වීම නොව සියලු දෙනා සමඟ විනයානු කුලව මුදිතාවෙන් ජීවත්වීමට අටලෝ දහමින් කම්පා නොවී, එනම් ලාභයේදිත්, අලාභයේදීත් යසසේදීත්, අයසේදීත් , නින්දාවේදීත්, ප්‍රශංසාවේදීත්, සැපයේදීත්, දුකේදීත් මධ්‍යස්ථ වීමෙන් ලබන සැනසීම අසීමාන්තිකය. මේ උතුම් පොහෝ දිනයේ ඒ සදහම් මඟ අවබෝධ කරගන්නට අධිටන් කොට ධර්ම මාර්ගයේ ම හැසිරෙන්නට ශක්තිය ලැබේවා! ඔබ සැමට තෙරුවන් සරණයි. !
සකස් කළේ
රමණි සුබසිංහ