
ඉන්දීය නිදහස් සටනට අවිහිංසාවාදී ප්‍රතිපත්තියෙන් නායකත්වය දුන් මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි හෙවත් ලෝ පුරා මහත්මා ගාන්ධි නාමයෙන් ප්‍රචලිත ගාන්ධි තුමන් හඳුන්වනුයේ ඉන්දීය නිදහස් සටනේ පියා ලෙසිනි. යටත්විජිත සමයේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දීය ජනයාට එරෙහිව ගෙනගිය අත්තනෝමතික පාලනයට එරෙහිව ගාන්ධි තුමා විසින් අරඹන ලද සත්‍යග්‍රහ ව්‍යාපාරයට පසුගියදා වසර සියයක් සපිරිණි.
ඒ නිමිතිකොට මහත්මා ගාන්ධි තුමා විසින් සත්‍යග්‍රහ ව්‍යාපාරය ගෙන ගිය ස්ථාන විසි පහේ උත්සව මාලාවක් සංවිධානය කිරීමට මහත්මා ගාන්ධි ගුණානුස්මරණ පදනම සහ දකුණු ආසියානු සමාජීය හා කෘෂිකර්ම සංවර්ධන ජාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් සිං ප්‍රමුඛ පිරිසක් කටයුතු යොදා තිබිණි. දින 16ක් පුරා පැවැති එම උත්සව මාලාවට සහභාගි වූ රටවල් 12ක පමණ පිරිස අතරට එක්වීමට අපේ රටේ නර්තන කණ්ඩායමකට ද අවස්ථාව සැලැසිණි.
මෙරට දේශීය නර්තන හැකියාවන් සහ නර්තනයන් ගැන දේශන පවත්වමින් ඊට එක් වූයේ භාතිය ජනකාන්තගේ නායකත්වයෙන් යුත් රොෂාන්, ගුරුමෙනන්, තමාලි සහ ලක්මාලී යන අයගෙන් සැදුම්ලත් මාත්‍රා නර්තන කණ්ඩායමයි.
පැවැති සියලුම උත්සවයන්ට සහභාගි වෙමින් දේශීය නර්තන සම්ප්‍රදායන් පිළිබිඹු කරමින් රටට කීර්තියක් අත්කර දෙමින් නර්තන හැකියාවන් විදහා පෑ කණ්ඩායමේ නායකයා වූ භාතිය අප සමඟ මෙසේ අදහස් දැක්වීය.
“ගාන්ධි තුමා සත්‍යග්‍රහ ව්‍යාපාරය ගෙනගිය ස්ථාන විසි පහේ පැවැති සියලුම වැඩසටහන්වලට අපි සහභාගි වුණා. ස්ථාන සියල්ලේදීම නර්තන හැකියාවන් පෙන්නුම් කිරීමට අවස්ථාව ලැබුණේ අප රටේ කණ්ඩායමට පමණයි. එහිදී අපි දේශීය නර්තනයන් මෙන්ම මෙරට නර්තනයන් ගැන දේශනද පවත්වමින් ඉන්දීය ජනයා දැනුවත් කළා. ඇත්තටම ඔවුන් හරිම සතුටු වුණා අපගේ නර්තන ශෛලීන් දැකීමෙන්. ඒ වගේම අපිට ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම මිනිසෙක් වූ ගාන්ධිතුමාගේ දැනට ඉතිරි වෙලා තිබෙන සියලු දේවල් දැකබලා ගැනීමට හැකි වුණා. එසේම ඔහු ගැන බොහෝ තොරතුරු දැනගන්නටත් ලැබුණා. එය අපේ ජීවිතයට ලැබුණු මහඟු අවස්ථාවක්.”
ගාන්ධි තුමාගේ පූර්වාදර්ශ පාඨයන් වූ අවිහිංසාව, සත්‍යය, ප්‍රේමය ආදි තේමා කැටිකොට එතුමන් සත්‍යග්‍රහ ව්‍යාපාරය හරහා ගිය කිලෝමීටර් දහස් ගණනක දුර මෙවර උත්සව මාලාවේදී මාත්‍රා නර්තන කණ්ඩායමටද ගමන් කිරීමට හැකිවී තිබේ. ඒ අනුව කම්පරන්, මොතිහරි, ගොපල්ගන්ජ්, සිවන්, චප්රා, හසිපුර්, පැට්නා, අරා, ගසිපුර්, වරනසි, ෆයිසබාද්, ලක්නව්, කන්පුර්, සජහන්පුර්, බරෙයිලි, මුරාදාබාද්, හපුර්, රජ්හාට්, නවදිල්ලි ආදි පෙදෙස්වල පැවැති උත්සවයන්හිදී ලැබු අප නර්තන කණ්ඩායම ලද අත්දැකීම් බොහෝය.
“අපි ඉන්දියාවේ ඈත ගම්බද අතිදුෂ්කර පෙදෙස්වලට ගියා මේ උත්සව මාලාව වෙනුවෙන්. මේ උත්සව මාලාවට සහභාගි වීමෙන් අපි අත්දැක්කා ඉන්දියාව කියන්නෙ කොහොම රටක්ද කියා. පුදුමාකාර විදිහට අන්ත අසරණ දුප්පත් ජන පිරිසක් ඉන්දියාව පුරා විසිරි සිටිනවා. ඒ වගේම ඇතැම් දෙනා ඉතාම නූගත්. සමහරු මහත්මා ගාන්ධි කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැහැ. ඒ තරමටම ඇතැම් ගම්බද පෙදෙස්වල ජනයාගේ දැනුම ඉතාම අඩුයි. හැබැයි ඔවුන් මේ උත්සව මාලාවෙන් පසුව ගාන්ධි තුමා ගැන බොහෝ තොරතුරු දැනගත්තා.”
ගාන්ධි තුමා ජීවත්ව සිටියදී ගිය මඟ ඔස්සෙ ගමන් කරමින් ඉන්දීයාවේ බොහෝ උගත්, විද්වත් පිරිස් එක්ව පැවැත්වූ එම ගුණානුස්මරණ උත්සවයේ තිබූ තවත් විශේෂත්වයක්ද භාතිය අපට හෙළි කළේය.
“ගාන්ධිතුමාගේ මේ සැමරුම් උත්සවය පැවැත්වෙන්නෙ අවුරුදු 25කට වතාවක්. ඒක තමයි මෙහි තිබෙන විශේෂම දේ.”
මින් පෙර කිසිදු අවස්ථාවක මෙරටින් මේ සැමරුම් උලෙළ නියෝජනය කර නොමැත. නැවතත් තවත් වසර විසිපහකින් සමරන ගාන්ධි තුමන්ගේ සත්‍යග්‍රහ ගුණානුස්මරණයට මෙවර මාත්‍රා නර්තන කණ්ඩායමට සහභාගි වීමට ලැබීමත් භාතිය ඇතුළු පිරිස සලකනුයේ ශ්‍රී ලංකාවට මෙන්ම තම පිරිසටද ලැබුණු භාග්‍යයක් ලෙසයි.
“අපි ඉතින් ලැබුණු අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජන ගෙන මෙරට නර්තනයන් ඉන්දීය ජනයා තුළ ප්‍රචලිත කිරීමට බොහෝ කැපවුණා. අපිට පමණයි සහභාගි වූ රටවල් සියල්ල අතරින් සියලුම ස්ථානවල පැවැති උත්සවවලට සහභාගි වෙමින් නර්තන හැකියාවන් විදහා පෑමට අවස්ථාව ලැබුණේ. ඒ වගේම එම උත්සවයන් ගැන ඉන්දීය මාධ්‍යයන්ද මහත් ප්‍රචාරයක් ලබාදුන්නා.”
මහත්මා ගාන්ධි වැනි ලොවටම ආදර්ශ සැපයූ ජන නායකයකුගේ සැමරුම් උත්සව මාලාවේදී අප රටේ මාත්‍රා නර්තන කණ්ඩායම අගනා තිළිණවලින් ද පිදුම් ලැබීය.
අමිල මලවිසූරිය