2030 දී දූපත් රටවල් මුහුදට බිලි | සිළුමිණ

2030 දී දූපත් රටවල් මුහුදට බිලි

දේශගුණික විපර්යාස නිසා මුහුදු මට්ටම ඉහළ යෑම හේතුවෙන් 2030 වන විට සීෂෙල්ස් සහ මාලදිවයින් වැනි දූපත් සමූහ ජීවත්වීමට නුසුදුසු තත්ත්වයට පත් වනු ඇතැයි නවතම පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. විශේෂඥයන් අවධාරණය කරන්නේ ඉදිරි වසර තිහ ඇතුළත ඉන්දියානු හා පැසිෆික් සාගරවල පිහිටි දූපත් සමූහවල මිරිදිය ජල ප්‍රභව මේ තත්ත්වය යටතේ විශාල වශයෙන් හානි වන අතර මිනිසාට භාවිත කළ නොහැකි තත්ත්වයට පත්වන බවයි.

විද්‍යාඥයන් පවසන ආකාරයට මෙහි දැඩිම අවස්ථාව උදා වන්නේ මේ ශතවර්ෂයේ මැද භාගයේදී භූගත ජලය සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදන් වීමත් සමඟය. සංචාරක පරාදීස ලෙස පවතින සීෂෙල්ස් සහ මාලදිවයින් වැනි දූපත් 2030 වනවිට මේ තත්ත්වයට පත්වන බවට ඔවුහු අනාවැකි පළ කරති.

එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සහ මානෝආ හි හවායි විශ්වවිද්‍යාලය මඟින් මාෂල් දිවයින් සමූහාණ්ඩුව ආශ්‍රිතව 2013 සිට 2015 දක්වා කරන ලද පරීක්ෂණ අනුව ජනාවාස ඇති දූපත් සමූහයන්ගේ ප්‍රධාන පිරිසුදු ජල ප්‍රභවය වන්නේ වැසි ජලයයි. පොළොවට උරාගන්නා වැසි ජලය ඝනකමින් වැඩි ලවණ ජලය මත පාවේ. කෙසේ වෙතත් මුහුදු මට්ටම ඉහළ යෑමේදී කුණාටු වැසි සහ වෙනත් ජල තරංග පහළ මට්ටමේ ඇති දිවයින් මතින් ගමන් කිරීම නිසා සෝදා පාළුවට ලක් වීමේදී ඒ දූපත්වල ඇති පිරිසුදු ජලය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වේ. 

Comments