ලියාපදිංචි නොවූ දන්සල්වලට තහංචි | Page 5 | සිළුමිණ

ලියාපදිංචි නොවූ දන්සල්වලට තහංචි

වෙසක් සමයෙහි පැවැත්වෙන සියලු දන්සල් මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. දන්සල් පැවැත්වෙන ප්‍රදේශයේ ආහාර බලධාරීන් විසින් එම දන්සල්වල පිළියෙල කෙරෙන හා පිරිනමනු ලබන ආහාරවල සුරක්ෂිතතාව තහවුරු කර සහතික කිරීම අත්‍යවශ්‍ය වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි‍.

දන්සල් පවත්වන්නාගේ නම, ලිපිනය, දුරකතන අංකය හා ලියාපදිංචි කිරීමේ අංකයද අදාළ බලධාරීන් වෙත ලබාදිය යුතුය‍. දන්සල ඇරැඹීමට පෙර හා පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ස්ථානය පරීක්ෂා කර සෞඛ්‍යයට හානිකර නොවන බව තහවුරු කර වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛනයෙහි සඳහන් වේ.

දන්සල් පැවැත්වීමේදී පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්ද එමඟින් ලබාදී ඇත. ඒ අනුව දන්සලේ සියලු කටයුතු සඳහා පිරිසුදු ජලය භාවිතා කළ යුතුය. හොඳින් ඉඩකඩ ඇති වාතාශ්‍රය ලැබෙන ස්ථානයක දන්සල් පැවැත්විය යුතුය‍. ආහාර පිළියෙල කිරීමට දෑත් හා පිළියෙල කරන බඳුන් උපකරණ ආදිය සබන් යොදා හොඳින් සෝදාගැනීමට මෙන්ම පිළියෙල කිරීමේදී හිස්වැසුම් හා ඒප්‍රන පැලඳීමටද උපදෙස් දී තිබේ. 

 

Comments