
යුද හමුදාවකින් නිරායුද සටන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වුණත් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකා නිලධාරීන් හා සෙබළුන් විසින් පසුගියදා නිරායුධ සටන් ඉදිරිපත් කළා. ඒ විතරක් නෙමෙයි ටයිකොන්ඩෝ සංදර්ශන, නාගරික සටන් සංදර්ශන රැසක්ද ඔවුන් ඉදිරිපත් කළා. එමෙන්ම අංගම්පොර සටන් හා පැරෂුට් සංදර්ශනත් ඉදිරිපත් කරන්න මේ අය කටයුතු කෙළේ පසුගියදා මාදුරුඔය දී පැවැත්වුණු විශේෂ බළකා නිලධාරින් සහ සෙසු නිලයින්ගේ විසිර යාමේ පෙළපාලියකදී. මේ විසිරයාමේ උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙසින් පැමිණුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ජනාධිපතිවරයකු විශේෂ බළකා විසිරයාමේ පෙළපාළියකට සහභාගි වූ ප්‍රථම අවස්ථාවයි ඒ.
රට රැක ගන්න විශේෂ බළකා නිලධාරීන් 7 දෙනකු හා සෙසු නිලයින් 189 දෙනකු මෙහිදී විසිර ගියා. මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පාඨමාලා අංක - 48 යටතේ පුරා මාස 09 ක කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු මේ නිලධාරින් 07 දෙනා සහ සෙසු නිලයින් 189 දෙනාගේ විසිර යාමේ පෙළපාළියට ජනාධිපතිතුමා සමඟ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරු සහභාගි වුණා.
විශේෂ බළකාය යුද්ධ හමුදාවේ වඩාත් ප්‍රශංසනීය සේවාවක් ඉටුකරන ඒකකයක් ලෙසින් ගෞරවයට පාත්‍රවී තිබෙනවා. ත්‍රස්තවාදීන් පවා විමතියට පත් කල අභීත සෙබළුන්ගෙන් සැදුම්ලත් ඒකකයක් වශයෙන් විශේෂ බළකාය ප්‍රකට වී තිබෙනවා. මෙම අවස්ථාවට සපැමිණි ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයන් වෙනුවෙන් මේජර් ඩබ්ලිව්.ආර්.ඒ.එස්.එම්. රණසිංහ ගේ අණදීම යටතේ හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාළියක් ද පවත්වනු ලැබුවා.
ජනාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම විශේෂ සම්මාන ආචාර පෙළපාළිය පරික්ෂා කළ අතර අනතුරුව ජනාධිපතිතුමන් විසින් පාඨමාලාව සාර්ථකව අවසන් කළ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත විශේෂ බළකා ලාංඡන පැළඳවීම සිදු කරනු ලැබුවා. ඉන් අනතුරුව, පාඨමාලාව හදාරන ලද සෙසු පිරිස සඳහා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න විසින් විශේෂ බළකා ලාංඡන පලදවනු ලැබුවා.
මේ අවස්ථාවේදී ජනාධිපතිතුමන් සංවේදී වූ අවස්ථාවක්ද දැක ගැන්මට ලැබුණා. ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ආබාධිත තත්ත්වයට පත්ව රෝද පුටුවෙන් ගමන් බිමන් යමින් වුවද තවමත් යුද හමුදාවේ සේවයේ නියුතුව සිටින ලුතිනන් කර්නල් උපේන්ද්‍ර කරුණාරත්න මහතාගේ සුවදුක් විමසනු ලැබුවා. ජනාධිපතිතුමා මෙහිදී ඔහුගේ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් සොයා බැලූ අතර ඔහුගේ කැපවීම අගය කරනු ලැබුවා.
මෙහිදී පාඨමාලා අංක 48 හී සෑම අතින්ම අතිසූර සිසුවා මෙන්ම හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සිසුවා ලෙස දෙවන ලුතිනන් ඩබ්ලිව්.එම්.කේ.ආර්. වනිගසුරිය වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමු අතර පාඨමාලාවේ දක්ෂතම වෙඩික්කරු ලෙස ලුතිනන් ඊ.එම්.ටී.බී.බී. ඒකනායක වෙත ද කුසලාන සහ සහතික පත් ප්‍රදානය කෙරුණා. ජනාධිපතිතුමන් මෙහිදී පැවසුවේ විනය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමේ වැදගත්කම සියලුම හමුදා නිලධාරීන් අවබෝධ කරගත යුතු බවයි. එසේම දිනෙන් දින නවීකරණය වන ශිල්පීය ඥානයෙන්ද හමුදාව සන්නන්ද විය යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.
අන්තර්ජාතික යුද නීති රීතිවලට ගරු කරමින් රාජකාරි කිරීමට හැම විටම ඇප කැප වී කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලාංකේය හමුදාව ලෝකයේම ගෞරවයට පාත්‍ර වී ඇති බවත් පෙන්වා දුන්නා.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් මෙහිදී විශේෂ බළකායේ සේවයේ නියුතු සහ ආබාධිත තත්ත්වයට පත් සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් ද ඇගයුමට ලක් කරනු ලැබුවා.
පාඨමාලාවේ සිසුන් විසින් විශේෂ බලකායේ ඉතිහාසය පිළිබඳව වාර්තාමය වැඩසටහනක්ද මෙහිදී ඉදිරිපත් කළ අතර එම අවස්ථාව යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කිරීමකින් වර්ණවත් කරන ලදී. ජනාධිපතිතුමන් තමන්ගේ පැමිණීම සංකේතවත් කරමින් ඔසු උයනේ ඔසු පැළයක් ද රෝපණය කරන ලැබුවා.
මේ අවස්ථාවට නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ඇතුළු හමුදා නිලධාරීන් මෙන්ම විශේෂ බළකා සෙබළුන්ගේ දෙමාපියන් සහ ඥාති හිත මිත්‍රාදීන් විශාල පිරිසක්ද රැස්ව සිටියා.
රට රැක ගැන්මට උර දෙන මේ පිරිස වෙනුවෙන් අපට කළ හැකි උපහාරය ඒ ගැන මෙසේ සටහනක් තැබීමයි.