
තිස් වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවැති ත්‍රස්තවාදී යුද්ධයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැක්වූ දායකත්වය සුළු පටු නොවේ. විශේෂයෙන්ම පාබල සේනාංක ලෙසින් යුද හමුදාව ත්‍රස්ත ඉලක්ක සොයා යද්දී ගුවනින් එම ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමටත් යුද හමුදාවේ විවිධ කාර්යයන් සඳහා ගුවන් මඟින් සහාය ලබා දීමටත් ගුවන් හමුදාව දැක්වූ දායකත්වය සුළු පටු නොවන බව මෙහිදී සිහි ගැන්විය යුතු වනවා.
විශේෂයෙන්ම යාපනය කොටුවේ සිර වී සිටි යුද හමුදාවේ සාමාජිකයන්ට අවශ්‍ය ආහාර පාන ලබා දීමටත් තුවාල ලත් සෙබළුන් ගෙන ඒමටත් ගුවන් හමුදාව සිදු කළ ‘ඊගල් ඔපරේෂන්‘ තවමත් අපගේ මතකයෙන් ඈත්ව ගොස් නැහැ. එසේ විරුකම් දක්වන්නට ගුවන් හමුදාවට ශක්තිය ධෛර්යය ලැබී ඇත්තේ ඔවුන් පුහුණුවේදී ලත් පන්නරය නිසාය. ඒ සඳහා ගුවන් හමුදාවට ඒ පුහුණුව සඳහා දායකත්වය ලබා දුන්නේ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලයි.
මේ අයුරින් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් දක්වන ලද දායකත්වය නිසා ලෝකයේ දියුණු රටවල් පවා මවිත කරවන ගුවන් විරුවන් බිහි කරන්නට ගුවන් හමුදාවට හැකියාව ලැබුණා. මෙවන් විරුවන් රැසක් බිහි කරමින් අපේ භෞමික අඛණ්ඩතාව සුරකින්නට දායකත්වය සැපයූ ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලට ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණා.
සේනාධිනායක ලෙසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් විසින් ගෞරවාන්විත වූ ජනාධිපති වර්ණයෙන් දියතලාව ගුවන් හමුදා පුහුණු පාසල පිදුම් ලබා දෙන්නට උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වුණා.
ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය නිමිත්තෙන් විශේෂ ආචාර පෙළපාලියක් පැවැත්වුණු අතර පුහුණු පාසලේ අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් පීටසන් ප්‍රනාන්දු විසින් ජනාධිපති වර්ණය පිළිගන්නා ලදි.
මෙහිදී ගුවන් හමුදා ප්‍රහාරක යානා මෙන්ම අනෙකුත් යානා යොදාගෙන විශේෂ සංදර්ශනයක් පැවැත් වූ අතර
එහිදි කෆිර් සහ ත්-07 වර්ගයේ ජෙට් යානා ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ආචාර දැක්වූ අතර වර්ණ පිළිගැන්වීම සිදුවන අතරේදි බෙල් 212 වර්ගයේ යානා 3ක් ඵෂ-17 වර්ගයේ යානා 3ක් සහ ණ-08 වර්ගයේ යානා 3ක් ගුවනේ සිට තම ආචාරය දක්වන ලැබුවා.
ජනාධිපති වර්ණයක් යනුවෙන් හැඳින්වෙන්නේ ඕනෑම හමුදාවකට හෝ ඒකකයට ලබාගත හැකි උපරිම ගෞරවය වන අතර දේශය උදෙසා කරන ලද සේවය සහ කැපකිරීම සලකා බලා මෙම වර්ණ ප්‍රදානය සිදු කරනු ලබනවා.
1952 වසරේදී රාජකීය ලංකා ගුවන් හමුදා කඳවුරක් ලෙස ස්ථාපනය කළ ගුවන් හමුදා තිඹිරිගෙය ලෙසින්ද හැඳින්විය හැකි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දියතලාව සටන් පුහුණු පාසල වර්ෂ 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර බවට පරිවර්තනය වුණා. මෙම කඳවුර මගින් නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ මූලික සටන් පුහුණු පාඨමාලාවන්, උසස් පුහුණු පාඨමාලා, අවි උපදේශක පුහුණු පාඨමාලා, සරඹ උපදේශක පුහුණු පාඨමාලා සහ ශාරීරික අභ්‍යාස පුහුණු පාඨමාලා ඇතුලු පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරනු ලබනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පළමු ජනාධිපති වර්ණය වර්ෂ 1976 දී පිරිනැමුණු අතර 2001 වසරේදී ගුවන් හමුදා කටුනායක මුලික කඳවුර හා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය වෙත ජනාධිපති වර්ණ පිළිගන්වනු ලැබුවා. එසේම 2009 වසරේදී අංක 02 ගුවන් ප්‍රවාහන බලඝණය, අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලඝණය, අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝනය, අංක 10 ප්‍රහාරක ජෙට් යානා බලඝණය සහ ගුවන් හමුදා රෙජිමේන්තුව වෙත ජනාධිපති වර්ණ පිළිගන්වනු ලැබුවා.
අද මේ අයුරින් අභිමානවත් ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබන්නේ මෙම පාසල ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් ශ්‍රී ලංකාවටත් සිදුකල විශිෂ්ට සේවය ඇගයීම වෙනුවෙන්.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, දියතලාව සටන් පුහුණු පාසලේ හිටපු අණදෙන නිලධාරිවරුන්, ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් රැසක් හමුවේ සිදු කෙරුණු මේ වර්ණ ප්‍රදානය නිසා පුහුණු පාසලට නව ගෞරවයක් මෙනම අන්තර්ජාතික කීර්තියක්ද ලැබුණු බව පෙන්වා දිය යුතු වනවා. මේ වර්ණ ප්‍රදානය සමඟම ගුවන් හමුදා ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙන අතර ගුවනේ සිට ස්වභාවික ආපදාවන්ට මෙන්ම අනෙකුත් සංවර්ධන කාර්යයන්ටත් මේ වන විට උරදෙමින් සිටින ගුවන් හමුදාවට නව පන්නරයක්ද ලැබෙනු ඇතැයි සිතන්නට පුළුවන්. ඒ සියල්ලටත් වඩා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ශිල්පීය දැනුම වර්ධනය කර ගන්නට ගුවන් හමුදාවට ශක්තිය හා ධෛර්යය මේ වන විට ලැබී තිබෙනවා. රටක සංවර්ධනයේ වැදගත් සාධකයක් වන්නේ ජාතික ආරක්ෂාවයි. ඒ සඳහා ගුවන් හමුදාවෙන් ලැබෙන්නේ අනගි සහායක් වන අතර බවද පෙන්වා දිය යුතු වනවා.