
කැලණි ගං මිටියාවතේ සිරිය විඳිමින් රණාල දෙසට ගමන් කළ විට ඔවුන්ගේ අඩවිය අපට මුණ ගැසේ. පරම්පරිකව මැටි බඳුන් කර්මාන්තයේ යෙදෙමින් තමන්ගේ ඉලක්කයට යාමට උත්සාහ දරන ඔවුන්ගේ දෑතින් නිමවෙන බොහෝ නිර්මාණ සඳහා ගැනුම්කරුවෝ වෙති. අවුරුදු කාලයට, වෙසක් කාලයට යහමින් ආදායම සොයන මුත් ඇතැම් කාලවලදී ඔවුහු අතරමං වෙති.
මෙයට හේතුව මේ කර්මාන්තයේ සුරක්ෂිත බවක් නැති බැවින් යැයි කර්මාන්තකරුවෝ පවසති. මෙවැනි තත්ත්වයන් නිසා පසුගියදා නිෂ්පාදන ආදර්ශ ගම්මානයක් ලෙස රණාල මැටි බඳුන් නිෂ්පාදන කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක විය. මේ සඳහා පියවර ගත්තේ සමෘද්ධි දෙපාර්තමේන්තුවයි.
මෙතෙක් කලක් පාරම්පරිකව පවත්වාගෙන ආ කර්මාන්ත සඳහා නව ජීවක් ලබාදීමේ වැඩ පිළවෙලක් ක්‍රියාත්මක කිරීමෙන් පසු කර්මාන්තය සඳහා බොහෝදෙනාගේ අවධානය යොමු විය. ඇතැම්හු නව කර්මාන්තකරුවන් ලෙස මේ කර්මාන්තයට එක් වූහ. එහෙත් ඇතැම්හු මෙය තමන්ගේ මූලික ආදායම් මාර්ග නොකර ගත්හ. එහෙත් කාලවේලාව අනුව බඳුන් නිෂ්පාදනය කිරීමේ වේලාවක් ඔවුන්ම වෙන් කර ගනියි.
ඇතැම්හු විනෝදාංශය සඳහා ද මේ නිර්මාණකරණයෙහි යෙදෙති. කෙසේ වෙතත් අවසානයේ අලංකාර බඳුන් පද්ධතියක් නිර්මාණය වේ. මෙය ඔවුන් වෙනුවෙන් පමණක් නොව සමස්ත රට වෙනුවෙන්වමය. මේ පිළිබඳව ඔවුන් දක්වන අදහස සහ ඔවුන්ගේ ආකල්ප හාත්පසින්ම වෙනස්ය.
මේ පිළිබඳ උනන්දුව සහ දිරිය සපයන සමෘද්ධි සංවර්ධන නිලධාරි ප්‍රසන්න මහතා දැක්වූයේ මෙවැනි අදහසකි. “මේ කර්මාන්තය කාලයක් තිස්සේ පවත්වාගෙන ආ කර්මාන්තයක්. ඇත්තටම පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් ඔවුන්ගේ නිර්මාණ හැකියාව දායාද කරනවා. කුඩා කාලයේ සිටම දරුවන් මේ කර්මාන්තයට හුරු වෙනවා. ඒ නිසා ඔවුන්ට නිර්මාණ කරන්න අමුතුවෙන් පුරුදු කරන්න දෙයක් නැහැ. සහජයෙන් හිමි වූ දක්ෂතාවය ඔපනංවමින් නිර්මාණ ක්ෂේත්‍රය ඉහළ යාම තමයි ඔවුන්ගේ අරමුණ.
මේ අයට වෙළෙඳපොළ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සමහර අවස්ථාවලදී ගැනුම්කරුවන් ඔවුන් සොයා ළඟට එනවා. එවැනි අවස්ථාවලදී ඔවුන්ට වැඩිපුර මිලක් ලැබෙනවා. වර්ෂා කාලයට මැටි බඳුන් වේළා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ නිසා අපි ඉල්ලූ කීපදෙනකුට මැටි බඳුන් ආරක්ෂා කර ගැනීමේ වැසි ආවරණ සැපයුවා. අධික වැසි කාලට මැටි බඳුන් වේළෙන්නේ නැහැ. මේ නිසා ඒ කාලයට ඔවුන්ගේ ආදායම අඩුයි. ගං වතුර කාලයේදී බොහෝදෙනාට පාඩු සිදු වුණා''
මේ පිළිබඳ මැටි බඳුන් නිෂ්පාදන ආදර්ශ ගම්මානයේ සභාපතිනිය කමනී පුෂ්පකුමාරි දැක්වූයේ මෙවැනි අදහසකි. ''ඇත්තටම අපි මහන්සි වෙන තරම් ආදායමක් නැහැ. අවුරුදු කාලයට, වෙසක් කාලයට අපේ ආදායම වැඩියි. ඒ නිසා අපි වැඩිපුර මැටි භාණ්ඩ නිෂ්පාදන කරනවා. මේ කාලේ මැටි කියුබ් එකක් ගණන් ගිහිල්ලා. අද රුපියල් නමදාහක් දහදාක් වියදම් කරන්න අපිට සිද්ධ වෙලා. ඒ ගෙනාවත්, අපට ඒ මුදල ආවරණය කරගන්න තරම් භාණ්ඩ විකිණෙන්නේ නැති අවස්ථා තියෙනවා.
අපේ දරුවෝ නම් මේ කර්මාන්තයට කොහොමත් යොමු වෙන එකක් නැහැ. ඒකට හේතුව මේ කර්මාන්තයට කැප කරන තරම් ප්‍රමාණයක ආදායමක් නොලැබීමයි. අනිත් එක කොච්චර කියලා වෙහෙසක් දරන්න ඕනේ ද? ඇත්තටම ඒ වෙහෙස වගේ දෙගුණයක්වත් ආදායමක් අපි ලැබෙනවා නම් හිතේ සතුටටවත් ඉතුරු වෙනවා. කොහොම වුණත් මේ කර්මාන්තය පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඒකට හේතුවක් තියෙනවා. මේ කර්මාන්තය අපේ සංස්කෘතියත් එක්ක යාවුණ කර්මාන්තයක්.
දැන් බලන්න අවුරුද්ද කාලයට කවුරුත් කැමැති මැටි මුට්ටියක කිරි උතුරුවන්න. ඒ වගේම වෙසක් කාලෙට එන පූජාවලට බොහෝ දෙනා පහන් වැටි මිලදී ගන්නවා. ඒ නිසා ඒ කාලයට පහන් වැටි සම්බන්ධයෙන් හොඳ අලෙවියක් තියෙනවා.''
දෑතේ වීරියෙන් කර්මාන්තයක යෙදෙන්න කැමැත්තෝ බොහෝ වෙති. රංජන් සමන්තිලක ද එවැන්නෙකි.'' මං අවුරුදු දාසයේදී තමයි මේ කර්මාන්තයට යොමු වුණේ. මං හිතන්නේ දෑතේ වීරියෙන් කරන සෑම රැකියවක්ම සාර්ථකත්වයට ගෙනියන්න පුළුවන්. ඒ නිසා මට මං ගැන විශ්වාසයි. මං මහන්සිවෙලා මගේ කර්මාන්තයේ යෙදෙනවා.
එදා වගේ නෙවෙයි දැන් සේවකයන් හතරදෙනෙකුත් ඉන්නවා. ඒ අයගේ සහයෝගයත් මට ලැබෙනවා. මං හැම වෙලාවේදීම අලුත් නිර්මාණ කරන්න කැමැතියි. හොටෙල්වල කෑම බඳුන් කට්ටල නිර්මාණය කරන්නත් මම ඇණවුම් භාර ගන්නවා. ඒ වගේ ඇණවුම්වලට භාණ්ඩ නිෂ්පාදනය කළාහම ඒකේ පාඩුවක් නැහැ.
දෛනිකව විකිණෙන භාණ්ඩත් තියෙනවා. සමහර අය අප කෙරෙහි විශ්වාස තැබුවහම දුර ඉඳලා වුණත් ගැනුම්කරුවන් එනවා. ඇත්තටම හොඳ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ වාසියක් තියෙනවා. හැබැයි ඉතින් මීට වඩා අපි ගැන අවධානය යොමුකරනවා නම් හොඳයි කියලාත් මට හිතෙනවා"
මේ වනවිට මැටි බඳුන් නිෂ්පාදනයෙන් ස්ථාවරයකට පැමිණ සිටින දීපිකා ප්‍රියදර්ශනී කුමාරි අප සමඟ දැක්වූයේ මෙබඳ අදහසකි. '' මගේ අම්මා තාත්තා මේ කර්මාන්තයේ යෙදිලා නැහැ. ඒත් අපේ අත්තම්මලා මේ කර්මාන්තයේ යෙදිලා තියෙනවා. මං පුංචිම කාලේ ඒ හැමදෙයක්ම බලාගන ඉඳලා තියෙනවා.
එහෙම හිටිය නිසා තමයි අද මේ කර්මාන්තය මට දියුණු කරගන්න පුළුන් වුණේ. අද මට නිශ්චිත ගැනුම්කරුවන් පිරිසක් ඉන්නවා. කර්මාන්තය පටන් ගන්න කොට ටිකක් අමාරු වුණා. ඒත් පටන්ගත්තා පස්සේ නම් ප්‍රශ්නයක් වුණේ නැහැ.
දැන් මාත් එක්ක සේවකන් කීපදෙනකුම වැඩ කරනවා. අපිට අවුරුදු කාලයටයි, වෙසක් කාලයටයි තමයි ඕඩර් වැඩි. අපි ඒ කාලයට වැඩිපුර මැටි බඳුන් නිෂ්පාදනය කරනවා. මං හිතන්නේ කර්මාන්තයෙන් නම් පාඩුවක් නැහැ. අවශ්‍ය වන්නේ අපේ උත්සාහය විතරයි.''
කෙතරම් බාධක කම්කටුළු තිබුණත් රණාල නිෂ්පාදන ගම්මානයේ වැසියෝ අවුරුදු සඳහා ලෑස්ති වෙති. ඒ ඔවුන් වෙනුවෙන් නොව අවුරුද්ද සමරන අපට වෙනුවෙනි. නිමාවේ අලංකාරය අගය කරන ගැනුම්කරුවෝ එදා වගේම අදත් ඔවුන් සොයා යති. ක්‍රමානුකූල නිමාවකින් යුක්ත අලංකාර මැටි බඳුන් සොයා අගනුවර පමණක් නොව ඈත එපිට ගම්මානවලින් ද බොහෝ ගැනුම්කරුවෝ පැමිණෙති.