හරි ඔසුව මහදියදුල් ද? දන්තී ද? | Page 594 | සිළුමිණ

හරි ඔසුව මහදියදුල් ද? දන්තී ද?

ලෝකයේ පවත්නා ශාක විවිධ කුලවලට අයත්ය. ඒ එක් ඒක් ශාකයේ ඖෂධීය ගුණ වෙනස් වේ. ඇතැම් විට සමාන ගුණ ඇති ඖෂධීය ශාක සමාන ගුණ දෙන බැවින් එක් ඖෂධයක් සොයාගැනීමට නොහැකි වූ විට වෙනත් සමාන ගුණ දෙන ශාක භාවිතයට ගන්නා අවස්ථා පවතී. මූලික ආයුර්වේද හා දේශීය වෛද්‍ය ග්‍රන්ථයන්හි නම් සඳහන් ශාක හා පැළෑටි වැඩිහරියක් මිහිපිටින් වඳ වී යමින් තිබේ. ඇතැම් ශාක හා පැළෑටි වර්තමානයේ හඳුන්වනු ලබන්නේ වැරදි නමින් වීමටද ඉඩ තිබේ. එසේ වැරදියට හඳුනාගත් ශාකයක් ලෙස ‘දන්තී‘ දැක්විය හැකිය. ඉන්දියාවේද වැවෙන දන්තී ශාකය ඉන්දියාවේදී නිවැරදිව හඳුනාගනිමින් ඖෂධ සංශ්ලේෂණයට යොදාගැනේ. එහෙත් ලංකාවේදී එම ශාක කුලයට හෝ අයත් නොවන මහදියදුල් ශාකය වැරැදි ලෙස භාවිත කිරීම නිවැරදි කිරීමට ආයුර්වේද වෛද්‍ය ඒ.ආර්. ශාලිකා මහත්මිය වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණවලින් අනතුරුව හැකි වී තිබේ.

දත්ත හෙවත් දන්තී නම් ඖෂධය ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමයේදී භාවිතයට ගැනෙන ශාකයකි. මුල, බීජ හා පත්‍ර ඖෂධ සංස්කරණය සඳහා යොදාගන්නා අතර, වාත රෝග, උදර රෝග, අර්ශස් රෝග තත්ත්ව සඳහා බහුලව භාවිතයට ගැනේ. දේශීය වශයෙන් වැවෙන අගනා ඖෂධයක් වුවද ලංකාවේදී දැකගන්නට නොලැබීම හේතුවෙන් හා වැරැදි ලෙස හඳුනාගැනීම හේතුවෙන් නිවැරදි ඖෂධීය ශාකය වෙනුවට වැරදි ශාකයක් වරදවා දිගු කලක් තිස්සේ දේශීය වශයෙන් භාවිතයට ගැනිණි. වැරැදි ශාකය ඖෂධ ලෙස භාවිත කරමින් සකසන ලද ඖෂධ සංයෝජන හේතුවෙන් ඖෂධයන්හි ගුණාත්මකබව හීන විය.

නිසි හඳුනාගැනීමකින් තොරව දන්තී වෙනුවට මෙතෙක් කල් ඖෂධ පිණිස භාවිත කරනු ලැබූයේ මහදියදුල් (Ramie) ශාකයයි.

මූලික ආයුර්වේද ග්‍රන්ථයන්හි දක්වා ඇති දන්ති ශාකය පඳුරකි. එම ශාකය උද්භිද විද්‍යාත්මකව Baliospermum montanum ලෙස හඳුනා ගෙන ඇත.

මේ ශාකය මෙන්ම තවත් ශාක ඇතැම් විට වැරැදි ලෙස හඳුනාගනිමින් ඖෂධ ලෙස භාවිතයට ගැනේ. එහෙත් ප්‍රතිකාරයේදී රෝග නිවාරණය සඳහා උපකාරී වන්නේ අදාළ ඖෂධීය ගුණයෙන් යුත් ශාකය පමණි. වෛද්‍ය ඒ.ආර්. ශාලිකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මහනුවර නගර සභාවේ ආයුර්වේද රෝහලට අනුයුක්තය. ඇය 2004 වසරේදී දන්තී ශාකය පිළිබඳ ගැටලුවට අදාළව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයට සම්බන්ධව පර්යේෂණ සිදු කළාය. එහිදී උපදේශක මහාචාර්යවරුන් ලෙස රසායන විද්‍යා මහාචාර්ය රත්නායක බණ්ඩා හා උද්භිද විද්‍යා අංශයේ මහාචාර්ය දීප්ති යකන්දාවල කටයුතු කළහ. ඒ අවස්ථාවේ ඇය විසින් ඉන්දියාවේ කර්ණාට විශ්වවිද්‍යාලයේ අරවින්ද් දේෂ් මහතාගේ සහය ඇතිව දන්තී මුල් ගෙන්වාගෙන රසායනික විද්‍යාත්මක හඳුනාගැනීමේ (Plant phytochemical) හා ශාක කායික (plant anatomical) විද්‍යාත්මකය පර්යේෂණ සිදු කර ශාකය නිවැරදිව හඳුනාගන්නා ලදි.

එම ශාකයේ සජීව නිදර්ශකයක් 2012 වසරේදී මෙරටට ගෙන ආ වෛද්‍ය ඒ.ආර්. ශාලිකා මහත්මිය එය විවිධ පරිසර තත්ත්වයන් යටතේ වර්ධක ප්‍රචාරණය සිදු කරමින් මේ වන විට ශාක ප්‍රජාව වැඩි කරගෙන තිබේ. නිල වශයෙන් මේ දන්තී ශාකය මෙරට ලේඛනගත කිරීම හා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට ශාක නිදර්ශකයක් රෝපණයට භාරදීම පසුගියදා සිදු විය.

එහිදී පේරාදේණිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය එස් ක්‍රිෂ්ණරාජ් මහත්මිය හා නියොජ්‍ය අධ්‍යක්ෂ අචලා අත්තනායක මහත්මිය නිවැරැදිව හඳුනාගත් දන්තී රෝපණ නිදර්ශකය බාරගත්හ. මේ වන විට දේශීය වශයෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්ෂෙත්‍රයේ නියැළෙන ව්‍යාපාර ආයතන රැසක් මේ නිවැරදි ඖෂධය වගා කරමින් තම ඖෂධ නිෂ්පාදනයන්හි ප්‍රමිතිය හා ගුණාත්මකභාවය වර්ධනය කරගැනීමට කටයුතු යොදමින් සිටී.

ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණික පාරිසරික තත්ත්වයක් යටතේ වැවෙන දත්ත ශාකය වගා කරගැනීමට කැමැත්තෙන් සිටින අයකු හට එය වෛද්‍ය ශාලිකා මහත්මියගෙන් ලගැනීමේ හැකියාව පවතී.

එමඟින් දේශීය හා පාරම්පරික වෛද්‍යවරුන් හට නිවැරදි ලෙස තමන් නිපදවන ඖෂධ සංස්කරණය කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මේ ශාකය නිවැරදිව හඳුනාගනිමින් සමාජගත කිරීම හේතුවෙන් දේශීය හා ආයුර්වේද ඖෂධ භාවිත කරන රෝගීන්ට රෝග නිවාරණයට නිශ්චිත නිවැරැදි ඖෂධය භාවිතයෙන් යහපත් ප්‍රතිඵල ළඟා කරගත හැකි වේ.

ටෙක්ලා පද්මිණී කාරියවසම්

Comments

Okkotama Kalin Oba "Stevia Rebaudiana" Gena Search Karanna, Inpasu Me Pilibandawa Lankikain Denuwath Karanna, Meya Mahangu awsadayak Mama Eka Hoya gena Iwarai, Mama Den E Wagawata Lehesthi weminui Inne, Stevia Benifit, Ho Stevia Cultivation Kiya Search Karanna,Lankawe Kawruth Nodannawa Unata Lokaye anith Ratawal Meya Denata Prayojanayata Gannawa,

පිටු