ඉලක්කය පමණක්ම ලබා දෙන මයික්‍රෝ ඩ්‍රෝනය | සිළුමිණ

ඉලක්කය පමණක්ම ලබා දෙන මයික්‍රෝ ඩ්‍රෝනය

මෙන්න පසුගිය වසරේ හොඳම නව නිපැයුම් දහය අද (අංක 07)

ලොව පුරා කොතෙක් නව නිර්මාණ බිහිවුවද ඒවා ලොවට තිළිණ කිරීම හෝ නොකිරීම නිර්මාණකරුවන්ගේ කැමැත්ත මත තීරණය වන්නක් නොවේ. කිසියම් නිර්මාණයක් සම්බන්ධව මහ ජනතාව දැනගත යුතුද එය වෙළෙඳ පොළට ප්‍රවිෂ්ට විය යුතුද යන්න තීරණය කරන්නේ ජාතික ආරක්ෂාව භාරව කටයුතු කරන කොහේවත් ඉන්නා පිරිසකි. පේටන්ට් අයිතිය ලබා ගත්තද එය යළි කැඳවීමට පවා බලයක් ඔවුන් සතුය. එමෙන්ම එවැනි නිර්මාණයක් සදාකාලයටම ලෝකයෙන් සඟවා තැබීමේ හැකියාවද ඔවුන් සතුය.

එමෙන්ම කිසියම් අවස්ථාවක අදාළ නිර්මාණය තවදුරටත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේය යන්න ඉහත කී පිරිසම තීරණය කරයි නම් එවිට අදාළ නව නිර්මාණය වෙළෙඳ පොළට ප්‍රවිෂ්ට කරවීමේ අවස්ථාව නිර්මාණකරුවාට උදාවේ. එය හරියට සූදුවක් වැනිය.

මේ කියන්නට යන නිර්මාණයත් එලෙස වාරණයට ලක් වී යළිත් පණ ලැබූ එකකි. පසුගිය වසරේ පමණක් ලෝකය පුරා මේ නිර්මාණයත් ඇතුළුව නව නිර්මාණ 5000කට අධික සංඛ්‍යාවක් තහනම් කෙරුණු බව සැඟවූ වාර්තාවල සඳහන් ව ඇති බවද මෙහිදී සඳහන් කළ යුතුමය.

සෑම වසරකම ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව ඩොලර් බිලියන ගණනින් රහසිගත යුද අවි නිපදවීමට සහ එවැනි අවි සම්බන්ධ තාක්ෂණය වැඩි දියුණු කිරීමට මෙන්ම සම්මත අවි වර්ගවලින් වෙනස් අලුත්ම එමෙන්ම මිනිසා තුෂ්ණිම්භූත කිරීමට සමත් අවි සොයා ගැනීමට වැය කරන බව ප්‍රසිද්ධ රහසකි. සෑම වසරකම අමෙරිකානු ඇයවැයෙන් මේ සඳහා වෙන් කෙරෙන මුදල හඳුන්වන්නේ ‘බ්ලැක් බජට්‘ යන නමිනි. අමෙරිකානු ආර්ථිකයට බ්ලැක් බජට් සංකල්පය පැමිණියේ සැප්තැම්බර් එකොළහ ප්‍රහාරයෙන් පසුව බවට කතා පැතිරුණද අමෙරිකාවේ හැටි දන්නා බොහෝ දෙනා ඒ බව පිළිගැනීමට මැළිකමක් දක්වති. වාර්තා වන අන්දමට ඇමෙරිකාවේ බ්ලැක් බජට් පමණක් දෙවැනි ලෝක යුද්ධයට ගිය සමස්ත වියදමට වඩා වැඩිය. මේ කියන්නේ අමෙරිකාවේ මානව හිතවාදී අයිසින්වලින් වැසී ඇති යුදකාමී බලලෝභීත්වය ගැන පමණක් නොවේ. ඔවුන් තාක්ෂණය සහ විද්‍යාව භාවිත කරමින් ජීවිත නසන්නට දරනා වෑයමද ඒ අතර අන්තර්ගත වී තිබේ.

පසුගිය වසරේ ලෝකයේ හොඳම නව නිපැයුම් දහය අතරින් හත් වැනි ස්ථානය දිනා ගන්නා නව නිපැයුම අයත් වන්නේද එකී වර්ගයටය. කොටින්ම කිවහොත් මේ වන නිපැයුම හඳුන්වන්නේ මයික්‍රෝ ඩ්‍රෝන යන වර්ගීකරණය යටතේ ය. එය සම්පූර්ණයෙන් හඳුන්වන්නේ ලොක්හීඩ් මාර්ටින්ගේ සමුරායි මයික්‍රෝ ඩ්‍රෝනය යන නමිනි. මෙහි බර යන්තමි ග්‍රෑම් 150කි. දිග සෙන්ටිමීටර් 12ක් පමණ වේ. සරලව කියන්නේ නම් මේ ඩ්‍රෝනය ඔබගේ අත්ල මත තබා ගත් විට අත්ල එයට වඩා දිගින් වැඩිවනු ඇත. එහෙත් පුදුමය වන්නේ මේ කුඩා එහෙත් හානිකර යානාව තුළ ජෙට් යානයක බලයෙන් යුතු එන්ජිමක් අන්තර්ගත වීමය. මේ එන්ජිමෙන් යොදන බලය යානය පැය ගණනාවක් පුරා අහසේ තබා ගැනීමට සමත් අතර එහි මුදුනත ඇති කුඩා ෆ්ලැපය එන්ජිමෙන් යෙදාන බලය ඔස්සේ යානය හැසිරවීමට උපකාරී වේ.

නිර්මාණකරුවා ප්‍රකාශ කොට ඇත්තේ මේ ඩ්‍රෝනය මගින් ඉතා සූක්ෂ්ම ඡායාරූප ලබා ගැනීමට හැකියාව ඇති බවයි. එය අසත්‍යයක් බව කවුරුන් හෝ පවසන්නේ නැත. එහෙත් මේ ඩ්‍රෝනයෙන් ලබා ගත හැකි තවත් අතිවිශාල සේවයක් ඇති බව අමෙරිකානු බුද්ධි අංශ ලොවට ප්‍රකාශ නොකළ තොරතුරුවල අඩංගුය.

දැනට ඩ්‍රෝන යොදා ගනිමින් මනුෂ්‍ය ඝාතන සිදුවන බව කවුරුත් දන්නා කරුණකි. එහිදී ඩ්‍රෝනවල ඇති දෝෂයක් ලෙස සටහන් වන්නේ අදාළ ඉලක්කය ලබාගන්නා අවස්ථාවේදී ඒ අසල සිටින සෙසු ජීවිත රාශියක්ද ඒ සමග අහිමි වීමය. මෙසේ වීම ඉලක්කය සම්පූර්ණ කරගන්නා පාර්ශ­්වය දැඩි දෝෂදර්ශනයට ලක් වීමට හේතු කාරක වන්නේය. දැන් මේ අලුත් මයික්‍රෝ ඩ්‍රෝනය හේතුවෙන් ඉතා පහසුවෙන් අදාළ ඉලක්කය අසලට සමීප වී එම ඉලක්කය පමණක් පහසුවෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී තිබේ. කෙසේ හෝ තවත් ජීවිත රැසක්ම මේ අලුත් ඩ්‍රෝනය භාවිතයෙන් රැක ගත හැකිවනු ඇති බව එහි නිර්මාතෘවරුන්ගේ මෙන්ම ඇමෙරිකානු බුද්ධි අංශවල ද අදහසයි.

විද්‍යාව යනු ජීවිත සුරැකීමට මෙන්ම ජීවිත වැනසීමටද එකසේ යොදා ගත හැකි මෙවලමකි. ඇතැම් විට විද්‍යාඥයන් තරම් පාපකර්ම කර ගන්නා මිනිසුන් යුද බිමේදී හෝ දැක ගත නොහැකි වනු ඇත.

Comments