
සියලු දුකින් මිදීමේ අවසාන ඵලය නම් නිර්වාණය සාක්ෂාත්කිරීම ය. ඒ සඳහා අවැසි මාවත ධර්මය තුළ මනාව විග්‍රහ කොට තිබේ. නිවන සඳහා පිළිපන් මාවත ලෝකයට විවර වී පැවතිය ද නිවැරදිව එම මාර්ගය අනුගමනය නොකරන්නේ නම් එයට පැමිණිය නොහැකිය. සමථ, විදර්ශනා වශයෙන් එම මාර්ගයන්ගේ ස්වභාවය පිළිබඳ ඉතා සංක්ෂිප්තව කරුණු දක්වන ලදි. මෙම ලිපියෙන් නිවන සහ එහි ස්වභාවයන් පිළිබඳ විවරණය කරනු ලැබේ. කල්ප කෝටි ප්‍රකෝටි ගණන්ගෙවී ගොස් නැවත-නැවත ඉපදෙමින් නිමා නොවන සසර ගමනක නිමාව ලෙස සලකනුයේ නිවනයි. නිවන පිළිබඳ බොහෝ සෙයින් විවිධ පද අනුසාරයෙන් වර්ණනා කරනු ලබන්නේ සත්ත්වයාට ඇති එක ම පිළිසරණ එය වන බැවිනි. නිවන යනු සදා කාලික සැනසීමකි. එය අසංඛත පරමාර්ථ ධර්මයක් ය. එනම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නක් නොවන්නකි. සංඛථ ධර්ම යනු හේතු ප්‍රත්‍යය සමවාය යෙන් නිපන් ධර්මයන් ය. නිවන එම ස්වභාවයෙන් තොර හෙයින් කිසිදු වෙනස්වීමකට බඳුන් නොවී සදාකාලිකව පවතී. නිවන යනු කවරේද යන්න විවරණය කිරීමේදි ධර්මය තුළ එය විග්‍රහ කළ විවිධ පර්යායන් දැක්වීමෙන් එහි ශාන්ත වූ සදාකාලික ස්වරූපය හඳුනාගත හැකි ය. චතුරාර්ය සත්‍යය දේශනයේ දී නිවන දක්වා ඇත්තේ දුක්‍ඛ නිරොධාර්ය සත්‍යය වශයෙනි. එය පහත අයුරින් විග්‍රහ කොට ඇත.
දුක්ඛ නිරෝධ සත්‍යය
“කතමඤ්චභික්ඛවෙ, දුක්‍ඛනිරොධං අරිය සච්චං? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාග නිරොධොචාගො පටිනිස්සග් ගොමුත්ති අනාලයො ඉදං වුච්චති භික්‍ඛවෙ, දුක්‍ඛනිරොධං අරියසච්චං.”
දුක්ඛනිරෝධ සත්‍යය වශයෙන් මෙහි විග්‍රහ කරනුයේ නිවන පිළිබඳවයි. දුක් ඉපදීමේ හේතුව වනුයේ තෘෂ්ණාවයි. එම තෘෂ්ණාව ආර්ය මාර්ගය හේතු කොට ගෙන යම් නිරවශේෂ නිරෝධයක් වේ ද එම තෘෂ්ණාව නසාලීම් වශයෙන්, නැවත නූපදනා පරිද්දෙන් කරන්නා වූ යම් දුරු කිරීමෙක් වේ ද, ඒ තෘෂ්ණා බන්ධනයෙන් යම් මිදීමෙක්, නොඇල්මෙක් වේ ද එය දුක්ඛනිරෝධය නම් වේ. ජීවිතයේ සිදු කිරීමට අපහසු ම කෘත්‍යයක් මෙහි දක්වා ඇත. එනම් තෘෂ්ණා බන්ධයෙන් මිදීමයි. සූත්‍ර දේශනා ආශ්‍රයෙන් නිවන විග්‍රහ කිරීමෙන් එහි ස්වභාවය තව දුරටත් වටහාගත හැකි වේ.
දුකෙහි කෙළවර
“අත්ථිභික්ඛවෙ, තදායතනං, යත්ථ නෙවපඨවි, න ආපො, න තෙජො, න වායො, න ආකාසානඤ්චායතනං, න විඤ්ඤානඤ්චායතනං, න ආකිඤ්චඤ්ඤායතනං, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, නායංලොකො, න පරලොකො, න උභොචන්දිමසුරියා. තත්‍රාපාහංභික්‍ඛවෙ, නෙවආගතිංවදාමි, න ගතිං, න ඨිතිං, න චුතිං, න උපපත්තිං. අප්පතිට්ඨං අප්පවත්තං අනාරම්මණ මෙවෙතං. එසෙවන්තොදුක්ඛස්සාති.”
“මහණෙනි, යමෙක්හි පෘථිවි ධාතුව නැද්ද, ආපො ධාතුව නැද්ද, තෙජො ධාතුව නැද්ද, වායු ධාතුව නැද්ද, ආකාසානඤ්චායතන සිත නැද්ද, විඤ්ඤාණඤ්චායතන සිත නැද්ද, ආකිඤ්චඤ්ඤායතන සිත නැද්ද, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සිත නැද්ද, මේ (ස්කන්ධ) ලෝකය නැද්ද, මෙයින් උපදනා අන්‍ය (ස්කන්ධ) ලෝකයෙකුත් නැද්ද (එහි අඳුරක් නැති බැවින් අඳුර දුරලන්නට) සඳ හිරු දෙදෙනකුත් නැද්ද, එසේවූ ඒ ආයතනය (මාර්ග ඵල සිතට අරමුණු වන නිවන) ඇත. මහණෙනි, එහිත් කිසිවෙකුගේ ඊමක් යෑමක් සිටීමක් මරණයක් මැරී ඉපැත්මක් නොකියමි. මෙය කිසිවෙක නොපිහිටි, ප්‍රත්‍යයයන්ගෙන් නොපවත්නා, කිසිම අරමුණෙක නොඑල්බෙන දහමෙකි. මෙය ම දුකෙහි කෙළවරය.”
ලෝකය තුළ විද්‍යමාන කිසිදු ධර්මයක් නිවනෙහි විද්‍යමාන නොවේ. එහි පඨවි ආදි ධාතූන්නොමැත. අරූපාවචර සිත් ද නොමැත, නාමරූපාදි ස්කන්ධ ලෝකය ද නොමැත. නිවනෙහි අඳුරක් නොමැති හෙයින් සඳ හිරු ද නොමැත. සත්ත්වයකුගේ පැමිණිමක්, එයින් චුතවීමක්, මරණයක් නොමැත. ප්‍රත්‍යයන්ගෙන් නොපවතින අතර කිසිදු අරමුණක එල්බ ගැනීමක් ද නොමැත. දුකෙහි කෙළවර වශයෙන් දක්වයි. නිවන සාක්ෂාත් නොකළ ඒ ඒ අයගේ පෞද්ගලික විග්‍රහයන්ගෙන් තොරව නිවන සාක්ෂාත් කළ උතුමන්වහන්සේ නිවනේ ස්වභාවය විඳිමින් එය ප්‍රකාශ කළ ආකාරයන් දැක්වීමෙන් ඒ පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබාගත හැකි ය. ලෞකික ලෝකය තුළ හිඳිමින් නිවන විග්‍රහ කිරීම අසීරු ය. එය අනුමාන වශයෙන් පමණක් දැක්විය හැකිය. එහෙත් නිවන යනු කවරක් ද යන්න මනාව අවබෝධ කළ හැකි වන්නේ එය සාක්ෂාත් කිරීමෙන් පමණි. එහි ශාන්ත වූ ස්වභාවය සූත්‍ර ආශ්‍රයෙන් විග්‍රහ කරනු ලැබේ. එහි දැක්වෙන කරුණු අනුසාරයෙන් නිවන යනු කවර ස්වභාවයකින් යුක්ත වන්නේ ද යන්න තම තම නැණ පමණින් තේරුම් ගැනීම ඉතා වැදගත් ය. එහිදී දෘෂ්ටිවලට හසුනොවී එය තේරුම් ගැනීමට උත්සහවත් වීම අතිශය වැදගත් ය.
“දුද්දසංඅනතංනාම
නහිසච්චංසුදස්සනං
පටිවිද්ධා තණ්හාජානතො
පස්සතොනත්ථිකිඤ්චනං”
*තෘෂ්ණා පරිබෝධය
“(ස්වභාවයෙන් ගැඹුරු බැවින් ඉතා සියුම් බැවින් නුවණ නොමුහු කළ වුන් විසින්) දැක්ක නොහැකි, තෘෂ්ණා රහිත, ඒකාන්තයෙන් ඇත්තාවු නිවන නම් සුවසේ දැක්ක හැකි නොවේ. ප්‍රහාණාභිසමය වශයෙන් තෘෂ්ණාව පිළිවිදුනා ලදි. අරීමග නුවණින් දන්නාහට දක්නාහට තෘෂ්ණා පරිබෝධයෙක් නැත.”
භවයෙන් භවය
“අත්ථීභික්ඛවේ, අජාතං අභූතං අකතං අසංඛතං. නොචෙ තං භික්‍ඛවෙ, අභවිස්සා අජාතං අභූතං අකතං අසංඛතං, නයිධජාතස්ස භූතස්ස කතස්සසං ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ. යස්මා ච ඛොභික්‍ඛවෙ, අත්ථි අජාතං අභූතං අකතං අසංඛතං, තස්මාජාතස්ස භූතස්ස කතස්සසං ඛතස්ස නිස්සරණං පඤ්ඤායති.”
“මහණෙනි, (වෙදනාදීන් මෙන් හෙතුප්‍රත්‍යය සමවායයෙන්) නොඋපන්, (කාරණයෙන් තොර ව තෙමේ ම) පහළ නොවූ, කිසිවෙකින් නොකරන ලද, ප්‍රත්‍යයෙන් අසංස්කෘත වූ නිර්වාණ ධර්මය ( පරමාර්ථ වශයෙන්) ඇත. මහණෙනි, මේ හේතුප්‍රත්‍යයයෙන් නොඋපන්, නො පහළවූ, නොකරන ලද අසංස්කෘත නිර්වාණ ධාතුව (පරමාර්ථවශයෙන්) අවිද්‍යමාන නම්, මෙහි හේතුප්‍රත්‍යයෙන් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ, ස්කන්ධ පංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක් නොපැනෙන්නේ ය. (නො ලැබිය හැකිවන්නේ ය.) මහණෙනි, යම් හෙයෙකින් ම නොඋපන්, නොපහළවූ, නොකරන ලද, අසංස්කෘත ධාතුවෙක් පරමාර්ථ වශයෙන් ඇත ද, එහෙයින් උපන්, පහළවු, කරන ලද, සංස්කෘත වූ ස්කන්ධ පංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) පැනේ.”
“නිස්සිතස්ස චලිතං. අනිස්සිතස්ස චලිතං නත්ථි. චලිතෙ අසතිපස්සද්ධි. පස්සද්ධියාසතිනති න හොති. නතියා අසති ආගති ගති න හොති. ආගති ගතියා අසති චුතුපපාතො න හොති. චුතුපපාතෙ අසතිනෙවිධ න හුරං න උභයමන්තරෙ. එසෙවන්තොදුක්ඛස්සාති.”
“(තෘෂ්ණාදෘෂ්ටිදෙකින්) සංස්කාරයන් ඇසුරු කළා හට (සුව දුක් ආදිය උපන් කල්හි) සිත්සතන්හි කම්පනය වේ. (තෘෂ්ණා දෘෂ්ටි දෙකින්) සංස්කාරයන් ඇසුරු නොකළා හට (හෙවත් විවසුන් වඩන්නා හට තෘෂ්ණා දෘෂ්ටීන් අනිඃශ්‍රිත බැවින්) කම්පනයෙක් නැත. කම්පනය නැති කල්හි සිත්සතන්හි සංහිඳීම වේ. සංහිඳීම ඇති කල්හි විවසුන් වඩනුවා හට අර්හත්ව මාර්ගක්‍ෂණයෙහි දී කාමාදි භවයන්හි නැමීම (හෙවත් තෘෂ්ණාව) නොවේ. භවයන්හි නැමීම නැති කල්හි පිළිසිඳ විසින් මේ භවයට ඊමෙක් මෙයින් අන් භවයකට යෑමෙක් නොවේ. භවයෙන් භවයට ඊමක් යෑමක් නැති කල්හි ච්‍යුති උපපත්ති (මරණයට අනතුරු වැ ඉපැත්ම) නොවේ. ච්‍යුති උපපත්ති නැති කල්හි මෙහි (කාමභවයේ) ද එහි (අරූපභවයේ) ද මෙදෙක අතරේ (රූපභවයේ) ද පැවැත්ම නැත. මෙය ම දුකේ කෙළවරය.”
ශාන්ත ස්වභාවය
“අහෙදිකායොනිරොධි සඤ්ඤා වෙදනාසීතීභවිංසුසබ්බා, වූපස්මිංසුසංඛාරා විඤ්ඤාණංඅත්ථමගමාති.”
“රූපය බිදිණි, (රූපසංඥාදි) සියලු සංඥාව නිරුද්ධ විය. සියලු වෙදනාවෝ සිසිල් වූහ (නිවී ගියහ) සියලු (ස්පර්ශාදි) අවශෙෂ සංස්කාරයෝ සංසිඳුණාහ. සියලු විඥානය අස්තංග වී ය.”
නිවනෙහි පවත්නා ශාන්ත වූ ස්වභාවය සහ ජීවිතයේ සදාකාලික සැනසීම පවත්නේ ඒ තුළ බව වැටහීමට සසර ගමනේ පවත්නා දුක්ඛිත බව, නිස්සාරත්වය දැකියයුතු ය. ජීවිතය තුළ ආස්වාදයක් තිබේ. එහෙත් එය සදාකාලික නොවේ. රූපාදි ආරම්මණයන් තුළ ආස්වාදයක් ඇති හෙයින් ම එයට සත්ත්වයෝ ඇලුම් කරතියි යන්න වදාරා ඇත. (අත්ථිභික්ඛවෙ රූපස්ස අස්සාදා). එම ආස්වාදය කෙරෙහි පවත්නා තෘෂ්ණාව හේතු කොටගෙන සසර ජීවිතය තුළ කෙතරම් දුක් අනුභව කළ ද එහි පවත්නා නිස්සාර ස්වභාවය අවිද්‍යාවෙන් වසා ඇති හෙයින් සසර ජීවිතය එපා නොවේ. මේ භවයේ නැතහොත් වෙනත් භවයක හෝ සැප විඳිමින් සත්ත්වයෙක් වශයෙන් ලෝකයේ ජීවත් වීමට ම සිත් පහළ වේ. මේ භව තෘෂ්ණාව හේතු කොටගෙන බොහෝ සංස්කාරයන් උපදවයි. එහෙයින් සසර කෙළවර නොවී දිගින් දිගට ම පවතී. ජීවිතයේ ස්වභාවය නුවණින් විමසන කල්හි ජීවිතය යනු වෙහෙසක් පමණි. කෙතරම් දේ ජීවිතයට ළඟා කරගත්ත ද අවසානයේ හිස්බවක් ම දැනේ. කිසිවක් ඉතිරි නොවේ. නිවන යනු කිසිදා වෙනස් නොවන දෙයකි. එය නිත්‍ය වූ සදාකාලික අසංඛත ධාතුව යි. ඉහත දක්වන ලද නිවනෙහි වටිනාකම අවබෝධ කොට සසරේ දුක දැක එම ස්වභාවයට පත් වීමට අවැසි ධර්මයන් නොපමාව දියුණු කළ යුතු ය.
ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී
071-9861535