
ඉදිරි යල කන්නයේ සිට මෙරට සියලුම වී, අල, ලූනු, එළවුළු හා බුලත්, බඩඉරිඟු ගොවීන් ලක්ෂ 25කට පමණ සිය වගාවන් සඳහා රුපියල් කෝටි 10000ක් වටිනා වගා රක්ෂණ නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි රත්නායක මහතා පවසයි. මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වරට බවත් ඔහු කියයි.
මේ අනුව සෑම ගොවියකුටම ඉදිරි එක් කන්නයක් සඳහා අක්කරයකට රුපියල් 40000ක් රක්ෂණ මුදල් නොමිලේ ලැබෙන බවත්, මේ වැඩසටහන 2018 අය වැය යෝජනා යටතේ ක්‍රියාත්මක බවත් රත්නායක මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් මේ රක්ෂණ වාරිකය ලෙස සෑම ගොවියකුම රුපියල් 642ක් ගෙවූ අතර, ඒ මුදල මින් පසු ගොවීන් ලක්ෂ 25ක් වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 625ක් ගෙවයි. ඒ අනුව කන්නයකට රජය ගෙවනු ලබන මුළු මුදල රුපියල් ලක්ෂ 1700කි.
මේ රක්ෂණය නොමිලේ ලැබීම නිසා ගොවි ජනතාවට බිය සැක නැතිව ඕනෑම වගාවක් කිරීමට ඉඩකඩ ඇති බවත් මේ වගාව පිළිවෙළ මෙරට වී, අල, එළවුළු, බුලත් අස්වැද්දීම වැඩි කිරීමට මගක් බවත් සිඩ්නි රත්නායක මහතා පවසයි.