
මහර නැලිගම ශ්‍රී සංඝමිත්තා දහම් පාසල වසර 80ක් සපුරා ඇති අතර දහම් පාසලේ දරු දැරියන් උදෙසා නිම කරන ලද දෙමහල් පුස්තකාලය විවෘත කිරීම හා 2017/2018 වසරේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන හා සාටක පැළැඳවීම අද (අප්‍රේල් 8) සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)
ඒ 1937 වසරයි. රාගම මහර නැලිගම ග්‍රාමයේ ශ්‍රී ශෛලාසන්නාරාමයේ විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය දිප්පිටියේ ශ්‍රී පියතිස්ස නාහිමිපාණන් වහන්සේට ගමට පාසලක් හා පන්සලට දහම් පාසලක් අවශ්‍ය බව තේරුම් ගිය අතර උන් වහන්සේ විසින් පන්සල මුල් කරගත් දහම් පාසලක් හා ඒ ආසන්නයේම පන්සලේ භූමි භාගයක පාසලක් ආරම්භ කරන ලදී. පාසලත් දහම් පාසලත් දෙකටම ශ්‍රී සංඝමිත්තා යන නම යොදන ලද අතර එදා පටන් ගමේ මුල් තැනක් ගත් පාසලක් හා දහම් පාසලක් බවට එය පත් විය. මෑත කාලීන දහම් පාසල් ඉතිහාසය දෙස බලන විට ප්‍රධානාචාර්ය හිමියන්ට සහායක් ලබා දෙමින් දහම් පාසලේ දියුණුවට උර දුන් කිවුල්දෙණියේ ඥානානන්ද හිමියන් සහ හිඟුරලකන්දේ පඤ්ඤානන්ද හිමියන්ද අවිවාදයෙන්ම සිහිපත් කළ යුතු වේ.
මෑත කාලීනව දහම් පාසලේ දියුණුවට උරදුන් භික්ෂූන් වහන්සේ අතර රාජකීය පණ්ඩිත මාකුරේ පියරතන හිමියන් සහ ඇල්පිටියේ සුබෝධානන්ද හිමියන්ද සිහිපත් කළ යුතුය. 1975 වසරේදී මහර ශාසනාරක්ෂක මණ්ඩලයේ හොඳම දහම් පාසල බවට තේරී පත් වූ ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ සියලුම සිසුන්ට තිළිණයක් වාර්ෂිකව ප්‍රදානය කළ යුතු බව හා සෑම වසරකම තිළිණ ප්‍රදානය පැවැත්වීමට කටයුතු කිරීම 1998 වසරේ සිටම සිදු විය. ඒ තාරක වික්‍රමසේකර මහතාගේ යෝජනාවකට අනුවය. එය අද දක්වාම ක්‍රියාත්මක වේ.
2008 වසරේ පැවැති ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණයේදී මාකුරේ පියනන්ද නාහිමිපාණන් වහන්සේ මහර ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් නියෝජ්‍ය ලේඛකාධිකාරිවරයා ලෙස තාරක වික්‍රමසේකර මහතාත් තේරී පත් වූ අතර අප දහම් පාසලේ හිමිනමක් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාවත් ආචාර්යවරයකු නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාවත් එය වේ. එසේම එම නිලවරණයේදී අනුකාරක සභාවට පූජ්‍ය වල්පොළ සද්ධානන්ද හිමියන්, පූජ්‍ය හිඟුරලකන්දේ පඤ්ඤානන්ද හිමියන් හා ආචාර්යවරියන් වන අනුරුද්ධිකා නවගමුව සහ නදීකා වීරකෝන් යන අයත් තේරී පත් වූ අතර මහර ශාසනාරක්ෂක මණ්ඩලයට දහම් පාසලකින් සාමාජිකයන් 6 දෙනකු තේරී පත් වූ ප්‍රථම අවස්ථාවද එයයි.
2008 වසරේදී දහම් පාසලට පුස්තකාලයක් ඉඳි කිරීම සඳහා යෝජනාව තාරක වික්‍රමසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. 2009 වසරේ සිට ක්‍රියාශීලී කාර්යක්ෂම ශිෂ්‍ය නායක නායිකාවන්ට සහතික පිරි නැමීම ද ආරම්භ කරන ලදී.
2011 වසරේ පුස්තකාලයේ වැඩ ආරම්භ කළ අතර එහිදී එවකට බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය දැරූ ප්‍රසන්න රණතුංග මහතාගේ ‘සරුදම් අරුණැල්ල‘ යටතේ වසර 3ක් තුළදී රුපියල් 100000.00ක් බැගින් ලක්ෂ 3ක් හිමි විය. 2014 වසරේදී ප්‍රථම වරට පිණ්ඩපාත පෙරහරක්ද දහම් පාසලෙන් සංවිධානය කර අලංකාරව පවත්වන ලදී. දහම් පාසලේ ඉදිරි සැලසුම් අතර වාර්ෂිකව පිණ්ඩපාත පෙරහරක් ප්‍රදේශ මට්ටමින් සංවිධානය කිරීමත් පුස්තකාලය හරහා සිසු දරු දැරියන්ට පරිගණක දැනුම ලබා දීම හා ‘ඊ‘ පුස්තකාල පහසුකම් ලබා දීමත් අපේක්ෂා කෙරේ. එසේම දහම් පාසලේ මෙහෙයවීමෙන් පුවත්පතක් හෝ සඟරාවක් ආරම්භ කිරීමටත් අවට දහම් පාසල්ද සම්බන්ධ කර ගනිමින් ශිෂ්‍ය නායක වැඩමුළු ඇතුළු වැඩමුළු කිහිපයක් සංවිධානය කිරීමටත් දහම් පාසල බලාපොරොත්තුව සිටී.
එමෙන්ම අවට දහම් පාසල් සම්බන්ධ කරගෙන සුහද දහම් පාසල් තරග පැවැත්වීමත් දෙමවුපිය දිනයක් පැවැත්වීමටත් අපේක්ෂා කෙරේ.
මෙවන් සේවාවන් රැසක් දූ දරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන මහර නැලිගම ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ දරු දැරියන් උදෙසා නිම කරන ලද දෙමහල් පුස්තකාලය විවෘත කිරීමත් 2017/2018 වසරේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන හා සාටක පැළැඳවීමත් අද (අප්‍රේල් 08) උත්සවාකාරයෙන් සිදු කෙරේ. දහම් පාසලේ ඉදිරි ගමනට අප සැමගේ සුබ පැතුම් මෙසේ පළ කරමු.
දහම් පාසල් සංවර්ධන සමිතියේ ලේකම්
එස්.පී.ඒ. ජයරත්න