ඒ සිංහලයන්ට කාගේ පිහිට ද? | Page 6 | සිළුමිණ

ඒ සිංහලයන්ට කාගේ පිහිට ද?

 අම්පාරේ සිට මහනුවරට එන ගමනේ දී මහඔය පසු කරන තෙක් මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් සිංහල ගම්මාන කිහිපයක්ම හමු වේ. ඒවා අයත් වන්නේ පෝරතිව් පත්තු, මන්මුනෙයි නිරිත, මන්මුනෙයි බටහිර හා එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්ට යි. එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත්තේ පිළිවෙළින් වෙල්ලාවලි, පඩ්ඩිපලෛයි, වවුනතිව් හා චෙන්කලඩි යන කුඩා නගර වල ය. ජන ඝනත්වය එතරම් බහුල නැති එම ප්‍රදේශ වල සින්නවත්ත, මංගලගම, පුළුකුනාව, කෙවිලියාමඩුව, අරන්තලාව හා කොස්ගොල්ල වැනි ග්‍රාමයන් පිහිටා තිබේ. මේ සිංහල ගම්මාන සමහරක් ගල් ඔය සංවර්ධන ව්‍යාපාරය යටතේ ස්ථාපිත වූවකි. සමහරක් පසු කාලීනව අලුත් පදිංචිකරුවන් නිසා ජනාවාස වූවකි.

යුද්ධය පැවැති කාලයේ මෙම ගම්මාන පැවැතියේ යුද ගම්මාන වශයෙනි. නැගෙනහිර ජන සංයුතිය වෙනස් වන පරිදි සිදු කළ සිංහල ජනාවාස කිරීම් යැයි හඳුන්වමින් කොටි සංවිධානය මේ සිංහලයන් සමග සිටියේ බද්ධ වෛරයකිනි. එනිසා ඔවුන් සෑම මොහොතකම කල් යල් බලමින් සිටියේ ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මරා දමන්නට ය. නැත්නම් බියකර එළවා දමන්නට ය. මේ නිසා අම්පාර - මහනුවර මහා මාර්ගයේ රජගලතැන හන්දියේ සිට මහඔය දක්වා කාලයක් පැවතුනේ අතිශය අනතුරුදායක මට්ටමක ය

මේ අතිශය අනතුරුදායක කලාපයට නුදුරින් පිහිටි ගල් ඔය ජනපද ව්‍යාපාරය යටතේ ජනාවාස කළ බක්කි ඇල්ල, රජගලතැන්න, නුගේලන්ද ප්‍රදේශයන්හි සිංහල ජනතාව සමග නැති වෛරයක් අරන්තලාව, පුළුකුනාව, කෙවිලියාමඩුව හා මංගලගම ප්‍රදේශයන්හි සිංහලයන් සමග තිබුණි. ඊට හේතුවන්නට ඇති කාරණා කිහිපයකි. එක්දහස් නවසිය පනස් ගණන් වල පදිංචි කළ ගල් ඔය ව්‍යාපාරයේ ජානපදිකයන් වූ බක්කි ඇල්ල, රජගලතැන්න හා නුගේලන්ද ප්‍රදේශයන්හි සිංහලයෝ දීර්ඝ කාලයක් තිස්සේ දෙමළ ජනතාව සමග සහෝදරත්වයෙන් සිටියහ. විශේෂයෙන් බක්කිඇල්ල ගම්මානයේ පසෙකින් සිංහල ජනතාව ජීවත්වෙන විට අනෙක් පසෙන් ජීවත්වූයේ දෙමළ ජනතාවයි. ජාතිකත්වයන් දෙකෙහි ජනතාව මගුලට මරණයට හා වෙනත් උත්සවයන්ට සහභාගී වෙමින් කාලයක් තිස්සේ සහෝදරත්වයෙන් ජීවත් වුහ.

එහෙත් ඒ සහෝදරත්වය පුළුකුණාව, කෙවිලියාමඩුව, අරන්තලාව, මංගලගම හා කොස්ගොල්ලේ සිංහලයන් සමග ඇතිවීමට කාලයක් නොවීය. ඔවුන් එකිනෙකා අතර වෛරයක් මෝදු වූයේ එම කලාපය ජනාවාස වූයේ පසු කාලීනව නිසා ය. එසේ ජනාවාස වූ අය අතර රජයේ ආරක්ෂක හමුදා සාමාජිකයෝ, වෙනත් ප්‍රදේශයන්හි ජීවත්ව සිට පොලිස් පොතේ නිතර නම ලියවුණු පිරිස් හා නිතර නිතර බන්ධනාගාරයට නෑ ගම් ගිය පිරිස් වූහ. ඒ නිසා එම ජනතාව සමග සහෝදරත්වයක් ගොඩනැගීමට කොහෙත්ම ඉඩක් නොපවතී. දෙපිරිසේ ජනතාව එකිනෙකා දෙස බැලුවේ වෛරයකිනි. තමන්ගේ ඉඩකඩම් අල්ලා ගැනීමට ආ පිරිසක් ලෙස දෙමළුන් සිංහලයන්ව දුටු අතර උපන් බිමේ තමන්ව කැති ගසන්නට බලා සිටින පිරිසක් ලෙස සිංහලයෝ දෙමළුන්ව දුටහ. ඒ නිසා නිතර ඇති වූයේ එකිනෙකා මරා ගැනීම පමණි.

මිනිස් රුධිරය අසීමිත ලෙස ගලා ගියේ ය. මිනිස් මාංස ද තැන තැන විසිර ගියේ ය. දැන් ජන ඝාතක යුද්ධය අවසන්ව ඇත. දැන් අවශ්‍යව ඇත්තේ දෙපිරිසේ ජනතාවට ජීවත් වන්නට සාධාරණ සමාජයක් ගොඩනංවා ගැනීම ය. එහිදී සිංහලයන්ට පමණක් නොව දෙමළුන්ට ද මිලක් වැය කරන්නට සිදුවේ. මිලක් ගෙවීමකින් තොරව සාමය නොමිලයේ ලැබෙන්නේ නැත. දෙමළ ජනතාවට කාලයක් තිස්සේ අහිමිවූ මිනිස් අයිතීන් ලැබිය යුතු බව පිළි ගැනීම මෙන්ම ඒවාට හිමිකම් කීම ද අනිවාර්යෙන්ම සිදු විය යුතුය. ඒ අර්ථයෙන් දෙජාතියේ ජන කොටස් අතර සංහිදියාව අනිවාර්යෙන් ගොඩනංවා ගත යුතුව ඇත.

ගල් ඔය ව්‍යාපාරයේ ජානපදිකයන් වූ බක්කිඇල්ල, රජගලතැන්න හා නුගේලන්ද වැසියෝ සාපේක්ෂ ලෙස සතුටින් සාමදානයෙන් ජීවත් වෙති. ඊට හේතුව උපන් බිමේ අනන්‍යතතාවක් ඔවුන්ට ලැබී ඇති බැවිනි. ඔවුන් අයත් වන්නේ බහුතරය සිංහල වූ උහන ප්‍රදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට ය. එහෙත් සින්නවත්තේ ජානපදිකයන් අයත් වන්නේ බහුතරය දෙමළ වූ පෝරතිව් පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට ය. සින්නවත්තේ සිංහල වැසියන් පෝරතිව්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සුළු ජාතියයි. පුළුකුණාව, මංගලගම, කෙවිලියාමඩුව, අරන්තලාව හා කොස්ගොල්ලේ ජනතාව මන්මුනෙහි නිරිත, මන්මුනෙහි බටහිර හා එරාවුර් පත්තු පාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හි සුළු ජාතියයි.

බහුතරය හමුවේ සුළුතරය නොසලකා හැරීම ලාංකික සමාජයේ බරපතළ ව්‍යාධිජනක ලක්ෂණයකි. මෙතෙක් කලක් ජාතිකත්වයෙන් සුළුතරය වූ දෙමළාට නොසලකා හැරීමේ ආදිනව තේරුම් ගන්නට මෙය කදිම අවස්ථාවකි. රටේ බහුතරය වූ සිංහලයෝ ද පෝරතිව් පත්තු, මන්මුනෙහි නිරිත, මන්මුනෙහි බටහිර එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි දී සුළුතරය බවට පත්ව දුක් විඳිති. ජාතිකත්වයන් දෙක අතරම සංහිදියාව ඇති කිරීම සඳහා මේ අත්දැකීම කදිම පාඩමක් උගන්වයි. ඒ යන ගමනට සිංහල බෞද්ධ ජන කොටස අතර සුජාතභාවයක් හා පිළිගැනීමක් ලැබෙන්නේ උපන් බිමේ අනාථව සිටින සිංහලයන්ට ද ජීවත්වීමේ අයිතිය ලැබුනහොත් පමණි. ඒ අනුව මංගලගම, පුළුකුණාව, කෙවිලියාමඩුව, අරන්තලාව හා කොස්ගොල්ලේ සිංහල ජනතාවට ද සාධාරණය ඉටුවිය යුතුය.

මේ සිංහල ගම්මානයන්ගේ ජනතාව විඳින අපා දුක සොයා බලන්නට කිසිවෙක් නොමැත. මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල නියෝජනයක් පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ හෝ නොමැත. එහි සිටින සිංහල නොවන මහජන නියෝජිතයන් ද සිංහල ජනතාවගේ දුක් ගැනවිලිවලට සංවේදී නොමැත. ඒ නිසා මඩකලපුව දිස්ත්‍රික්කයේ ආන්තීකරණයට ගොදුරුව ඇති මෙම සිංහල ජනතාවගේ දුක් පීඩාවන් වලට විසදුමක් ලබාදෙන්නට කිසිවෙක් ඉදිරිපත් නොවේ.

ජාතිකත්වයන් අතර සංහිඳියාව අත්‍යවශ්‍යම සාධකයකි. එහෙත් ඒ සංහිඳියාව ඇති කළ යුත්තේ ජාතිකත්වයන් දෙකෙහිම තෘප්තියට හේතුවන පරිදිය. සිංහල ජන කොටසේ සුජාත එකඟතාවකින් තොරව කල් පවත්නා වූ සංහිදියාවක් ඇති කර ගත නොහැක. ඒ සඳහා පළමු පියවර ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ආන්තීකරණයට ලක්ව සිටින සිංහල ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතුය.

අබරන්

Comments