
කීරමලේ කියන්නේ සංහිඳියාවේ ගම්මානයක්. සිමෙන්ති සංස්ථාවේ භූමි භාගයක නිවාස 134ක් මෙහි තනා නිම කර දී තිබෙන්නේ යුද්ධයෙන් අවතැන්ව වසර 26ක් පමණ අවතැන් කඳවුරුවල ජීවත් වූ ජනතාවටයි. දැන් ඒ ජනතාවට තමන්ගේම කියන භූමියක අයිතිය හිමිවෙලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි මේ ජනතාවට අංග සම්පූර්ණ නිවසක හිමිකාරීත්වයත් ලැබිලා.මේ නිවාස සත්කාරයේ ආරම්භය වසර 3ක පමණ අතීතයට දිව යනවා.
වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා යාපනය ආරක්ෂක සේනා ආඥාපතිව සිටි කාලයේදී අනවතැන් කඳවුරුවල දිවි ගෙවන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය දැක ආරක්ෂක ලේකම්වරයාට දුන් දැනුම් දීමක් අනුවයි මේ නිවාස තැනීම සිදු වුණේ.
ඒ නිවාසයන්හි පදිංචි ජනතාවගේ අවශ්‍යතා සොයා බලන්නත් යුද හමුදාව කටයුතු කළා. අවුරුදු ගණනක් යුද්ධයෙන් බැට කාපු මේ ජනතාවගේ ජීවනෝපාය ඉතාම පහත් මට්ටමකයි තිබෙන්නේ.
පාසල් යන දූ දරුවන්ගේ අවශ්‍යතා පවා සපුරා ගැනීම මේ ජනතාවට අසීරු වන අවස්ථා බෙහොමයි. මේ ගැන සොයා බලන්න යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කටයුතු කෙළේ ඒ අනුවයි.
කීරමලේ සංහිඳියා ගම්මානයේ දූදරුවන්ගේ අවශ්‍යතා සොයා බලා මේ දරුවන්ට අවශ්‍ය පොතපත ලබා දෙන්න යාපනය ආරක්ෂක මූලස්ථානයත් 51 වන සේනාංක මූලස්ථානයත් කටයුතු කළා. මේ දරුවන්ගේ පාසල් අවශ්‍යතා බොහොමයක් සපුරා ලන්නට හැකිවීම ආරක්ෂක සේනා මූලස්ථානය ලද ජයග්‍රහණයක් නොව සමස්ත ජනතාවගේම ජයග්‍රහණයක් බවයි ආරක්ෂක සේනා ආඥාපතිවරයා පවසන්නේ.
මිට අමතරව කන්කසන්තුරයේ නැල්ලිකක්පුරම් ගම්මානයේ ජනතාවගේ සුව දුක් විමසූ ආඥාපතිවරයා එම ගම්මානයේ ජනතාව මුහුණ පා සිටින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරනු ලබන බවත් කිව්වා.
සංහිඳියාවේ ගම්මාන හරහා ජනතාවගේ අවශ්‍යතා සපුරාලන්නට මේ අයුරින් කටයුතු කිරීම ඔස්සේ එම ජනතාවට සැබෑ නිදහස කුමක්ද යන්න මනාව වැටහී තිබෙනවා.
විශේෂයෙන්ම කාලයක් තමන්ගේ සතුරන් සේ ත්‍රස්තවාදීන් විසින් පෙන්වා දුන් ආරක්ෂක හමුදාවන් තමන්ගේ සියලු අවශ්‍යතා පසුරා ලන්නට කරනු ලබන මෙහෙය ගැන මේ ජනතාව දක්වන්නේ භක්ති ආදරයක්.
ඒ තත්ත්වය සදාකල්හිම පැවතිය යුතු බව අපගේද හැඟීමයි.
තාරක වික්‍රමසේකර