ජනපති අණ නොතකා කුඹුරු ගොඩකළ ඉහළ නිලධාරියාට වැට | සිළුමිණ

ජනපති අණ නොතකා කුඹුරු ගොඩකළ ඉහළ නිලධාරියාට වැට

 ගම්පහ දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් හා පහත් බිම් අක්‍රමවත් ලෙස ගොඩ කිරීම පසුගිය කාලය පුරා ශීඝ්‍රයෙන් සිදු කෙරිණ. මේ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට හදිසි ගංවතුර තර්ජනයකට මෙන්ම පානීය ජල ප්‍රශ්නයකටද මුහුණ දීමට සිදුවිය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්තල ගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී මෙම ප්‍රශ්නය සාකච්ඡාවට භාජනය වූ අවස්ථාවේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් සහ පහත් බිම් ගොඩකිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය. මේ පිළිබඳ ජනාධිපති ලේකම්ගේ අංක PCMD/SD/02/09/Disaster හා 2016.06.03 දිනැති ලිපියෙන් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙන ලදී.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් වරයා මේ නියෝග පවා නොතකා විවිධ අක්‍රමිකතා සිදු කරමින් විවිධ නිර්ණායක භාවිතා කරමින් කුඹුරු ඉඩම් නොවන බවට සහතික ලබා දෙමින් පවතින කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවස්ථා 18 කදී අනුබලදීම, කුඹුරු ඉඩම් ව්‍යාපාර ස්ථාන බවට පරිවර්තනය කිරීමට අනුබල දීම, කුඹුරු ඉඩම් ගොඩ කිරීම පිළිබඳ පැමිණිලි සඳහා නිසි ආකාරයෙන් කටයුතු නොකරමින් ගොඩ කරන්නන් හට අනුබල දීමේ පැමිණිලි 91 ක් සමඟ ජනාධිපතිතුම‍ාගේ නියෝගය පවා නොතකා ක්‍රියා කළ නිලධාරීන්ගේ තරාතිරම නොබලා දැඩි ක්‍රියා මාර්ග ගන්නා ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින ලදී.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණිල්ලට අදාළ ලිපි ලේඛනත් සමඟ ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක රූබන් වික්‍රමආරච්චි මහතාට යොමුකරන ලදුව විමර්ශනයක් ආරම්භ කරන ලෙස දෙන ලද උපදෙස් යටතේ මෙම සෘජු විමර්ශනය සිදු කෙරිණි.

කුඹුරු, ඕවිටි, පිල්ලෑව, දෙණිය, කමත ආදී නම් වලින් ඔප්පු ලියවී ඇති සෑම බිම් කොටසක්ම කුඹුරක් ලෙස පිළිගැනේ ගම්පහ දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් සහ වගුරු බිම් සමස්තයක් ලෙස කුඹුරු ඉඩම් ලෙස සැලකේ.

2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන සංශෝධිත පනතින් සංශෝධනය වූ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් වූ නීතිමය ලියවිල්ලයි. මෙම පනතේ 33 වැනි වගන්තිය මඟින් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව කුඹුරු ඉඩමක් ගොඩකිරීම, පස් ඉවත් කිරීම හා ගොඩනැගිල්ලක් ඉදි කිරීම නොකළ යතු බව සඳහන් කර ඇත. ඒ අනුව කුඹුරු ඉඩමක් සම්බන්ධ නිසි බලධරයා කොමසාරිස් ජනරාල්වරයා වන අතර ඔහුට අසීමිත බලයක් පනත මඟින් පැවරී ඇති නිසාම එම අසීමිත බලය පාලනය කරමින් විධිමත් පරිදි සහතික බලපත්‍ර නිකුත් කිරීම අරඹයා 2015.05.12 දින අංක 4/8/9 දරන චක්‍ර ලේඛය කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇත.

ගොවිජන සංවර්ධන පනතට අනුව යම් ඉඩමක් කුඹුරු ඉඩමක් බව තීරණය කළ යුතු පුද්ගලයා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා බව පනතේ 28 (1) වගන්තිය මඟින් පෙන්වා දී ඇති අතර, ඒ සඳහා නිරීක්ෂණ හා තොරතුරු ලබා ගත හැකි බව දක්වා ඇත.

මේ අනුව කුඹුරු ඉඩමක් නොවන බවට සහතික නිකුත් කිරීම, කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සඳහා අවසර ලබා දීම, කුඹුරු ඉඩමක් වෙනත් කාර්යයක් සඳහා යෙදවීමට අවසරදීම, ලබා දෙන ලද කොන්දේසි ඉවත් කිරීම හා වෙනස් කිරීම ආදිය කොමසාරිස් ‍ජනරාල්වරයාගේ අභිමතය පරිදි සිදුවේ.

කුඹුරු ‍ඉඩමක් ගොඩකර ගැනීමට පෙර කුඹුරු ඉඩමක් නොවන බවට සහතිකයක් ලබා ගැනීම සඳහා ඉඩමේ පිඹුරු පත සමඟ ඔප්පු පිටපතක් ඉල්ලුම්පත්‍රය සමඟ කොමසාරිස් ජනරාල්වරයාට ඉදිරිපත් කළ යුතුය. ලැබෙන ඉල්ලුම්පත් අනුක්‍රමික අංකයක් යටතේ ලේඛනගත කිරීමෙන් පසු ගොනුවක් විවෘතකර අනුක්‍රමික අංකය/ගොනු අංකය (බලපත්‍ර අංකය) ලෙසට සටහන්කර ඉඩම් පිහිටි දිස්ත්‍රිකය සඳහා පත්කර සිටින නියෝජ්‍ය කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් වෙත අවශ්‍ය නිරීක්ෂණය හා නිර්දේශයන් සඳහා යොමු කෙරේ.

වාර්තා කැඳවීමේ ලිපිය ලැබීමෙන් අනතුරුව දිස්ත්‍රික් සහකාර කොමසාරිස් විසින් අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් අදාළ නිරීක්ෂණ සමඟ වාර්තා කැඳවා කොමසාරිස් ජනරාල් වරයාට ඉදිරිපත් කිරීම සිදු කරයි. මෙම වාර්තා සැලකිල්ලට ගනිමින් බලපත්‍ර ලබා දිය යුතු ද නැද්ද යන්න තීරණය කරයි. මෙම වාර්තාවන් සෑහීමකට පත්වන ආකාරයට නොමැති නම් ඒ සඳහා නිරීක්ෂණ කමිටුවක් පත්කර නිරීක්ෂණ වාර්තා ලබා ගැනීම කොමසාරිස් ජනරාල් වරයා සතු වගකීමක් වේ. ඉඩම් ගොඩ කිරීම පිළිබඳ ක්‍රම වේදය එයයි.

බලපත්‍ර දීමේදී යොමු අංකය හෝ බලපත්‍ර අංකය නිර්මාණය වන්නේ දෙපාර්තමේන්තුවේ විෂයයට අදාළ අංකය සහ විෂයය ලිපි කරුගේ සං‍ෙක්ත අංකයන්ද දිස්ත්‍රික් සංකේත අකුරු හා අනුක්‍රමික අංකය එකතු වීමෙනි.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ පුර්ණ අධීක්ෂණය මත සහකාර කොමසාරිස්වරයකු යටතේ ක්‍රියාත්මක ඵලදා වර්ධන හා අලෙවි අංශය මඟින් ඉහත කටයුතු සිදු කරනු ලබයි. මෙම නිසි ක්‍රමවේදයට පරිබාහිරව ද කිසිදු ලේඛන ගත වීමකින් තොරවුද CG/002/පොදු යන එකම අංකයක් යටතේ බලපත්‍ර ලබා දී ඇති බව මෙම විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත.

මෙම විමර්ශනයේදී පරීක්ෂාවට ලක් කරන ලද ඉඩම් හිමියන්ගේ ප්‍රකාශයන් මෙන්ම තවත් විශාල පිරිසගෙන්ද වාචික විමසුම්කර තොරතුරු ලබාගෙන ඇත. ගම්පහ දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කාර්යාලයේ සහකාර කොමසාරිස්තුමිය හා නීති නිලධාරීතුමියද ඇතුළු ගම්පහ, කැලණිය, මීගමුව, වත්තල, මීරිගම කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම්වරු ද, ජා - ඇල හා හෙනරත්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි ගොවිජන සංවර්ධන නිලධාරීන් ද හමු වී තොරතුරු ලබා ගෙන ඇත.

ග්‍රාමනිලධාරීන්ගෙන්ද විමසීම් සිදුකර ගවේශනශීලී විමර්ශනශීලී සත්‍ය තොරතුරු ලබා ගැනීමට කටයුතු කළ බව ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රූබන් වික්‍රමආරච්චි මහතා පවසයි.

ජනාධිපති විමර්ශන ඒකකය විමර්ශනය පුළුල් ලෙස කරගෙන යෑමේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් ලිපිගොනු 27 ක් විමර්ශනයට අදාළව භාරයට ගෙන ඇත. එම ලිපි ගොනු අතර තිබී කුඹුරු ඉඩම් නොවන බවට නිකුත්කර ඇති සහතිකයන්හි ඡායා පිටපත්ද භාරයට ගෙන ඇත.

එම විමර්ශනයේදී ගම්පහ ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලයෙන්ද ලිපි ගොනු 20 ක් විමර්ශනයට අදාළ කරගැනීම සඳහා භාරයට ගෙන ඇත. විමර්ශනයට අදාළව ස්ථාන 52 ක් ස්ථානගත පරීක්ෂාවට ලක් කර ඇත.

ඒවා අතර ගම්පහ ඔරුතොට පාරට මායිම්ව පල්ලිය අසල කුඹුරුයායේ ඉඩමක්ද, කොළඹ - මිනුවන්ගොඩ මාර්ගයට යාබදව පොල්වත්ත පහත් බිමක් ද, මිනුවන්ගොඩ - ‍කොළඹ පාරේ ගල්ලොලුව හන්දියේ පිහිටි ඉඩමක්ද, කොළඹ - මිනුවන්ගොඩ ප්‍රධාන පාරට යාව පිහිටි පහත්බිම හා අනවසර ගොඩනැගිලි, මිනුවන්ගොඩ අඹගහවත්ත හන්දියට ආසන්නව පිහිටි කුඹුරු ඉඩම, කොළඹ - නුවර පාරට යාබද අස්වැද්දුම කුඹුර (ප්‍රාදේශීය වාර්තා නොමැතිව බලපත් නිකුත් කර ඇති) දංඕවිට රුක් අත්තනගහ කුඹුර නොහොත් මහ කුඹුර (ජල රැඳවුම් පහත් බිමක්) මිනුවන්ගොඩ - ‍කොළඹ පාරට මායිම්ව 75/බී ස්ථානය (පහත් බිම ගොඩකර අනවසර ඉදිකිරීමත්. ඉදිකිරීම් තහනම් කර ඇත.) යන ස්ථානද විමර්ශනයට ලක්කර ඇත.

ගම්පහ දිස්ත්‍රිකයේ නිසි බලධාරීන්ගේ අවසරයක් ලබා ගෙන සහ නොගෙන සිදු කෙරෙන ගොඩ කිරීම් මෙන්ම බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කටයුතු කළ අවස්ථාද විමර්ශනයේදී සොයාගෙන ඇත. උපක්‍රමශීලීව කුඹුරු හා පහත්බිම් ගොඩවන ආකාරයට කටයුතු කිරීම (කුඹුරු ඉඩමක් නොවන බවට සහතික ලබා ගෙන ගොඩ කිරීම) තැනින් තැන ගස් සිටුවා ස්වාභාවිකව ගොඩ වෙන තැනට කටයුතු කිරීම අවසර නොගෙන ගොඩ කිරීම් කර පසුව අවසර ලබාගැනීම පදිංචි ස්ථානයක් නොමැති හේතුවෙන් කුඩා බිම් කොටස් පදිංචිය සඳහා ගොඩකිරීමද විශාල ව්‍යාපෘති ආරම්භ වීම හේතුවෙන් ජලය ලබාගැනීමට හා ජලය බැස යාමට නොහැකි වන තත්ත්වය තුළ පුරන්වන කුඹුරු ගොඩකිරීමට පෙලඹවීම. (උදාහරණ කොළඹ - කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතිය) බලපත්‍ර ලබා දීමෙන් පසුව නිසි අධීක්ෂණයක් හා පසු විපරම් කිරීමක් නොවීම, අනවසර ගොඩකිරීම් හා බලපත් කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධව නඩු කටයුතු ආරම්භ නොකිරීම හා පමා කිරීම, ප්‍රාදේශීය වාර්තා කැඳවීමකින් තොරව හා කිසිදු නිරීක්ෂණයක් ලබා නොගෙන බලපත්‍ර ලබාදීම, ප්‍රාදේශීය වාර්තා නොසලකා හරිමින් බලපත්‍ර ලබා දීම් පසුගිය කාලසීමාවේදී සිදුකර ඇති බව විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත.

එපමණක් නොව බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයට පරිබාහිරව කටයුතු කරමින් බලපත්‍ර ලබාදීම ( CG/002/පොදු) යන අංකයක් යටතේ බලපත්‍ර නිකුත් කිරීම අදාළ කොන්දේසි මගහැර බලපත්‍ර ලබා දීම. ( අවශ්‍ය කොන්දේසි බලපත්‍රයට ඇතුළත් නොකිරීම) බලපත්‍ර කොන්දේසිවල පවතින අඩුපාඩු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් විෂයට අදාළව පවත්වාගෙන යන ලේඛන අධීක්ෂණය නොකිරීම.(මෙමගින් වංචා සහ අකටයුතුකම් සිදුවීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම) උදාහරණ විෂය ගොනු ලේඛනයේ පවතින අසම්පුර්ණතා කුඹුරු ඉඩම් වෙනුවෙන් ගොවිජන සංවර්ධන ‍ෙකාමසාරිස් ජනරාල් වරයා සතු අභිමත බලය අයථා ලෙස යොදා ගැනීමක් ලෙස විමර්ශනයේදී අනාවරණය කර ගෙන ඇත. (පොදු අංකයක් සහිතව හා නිරීක්ෂණ කැඳවීමකින් තොරව බලපත්‍ර නිකුත් කිරීම)

එසේම ජනාධිපතිතුමා විසින් බස්නාහිර පළාත තුළ කුඹුරු හා පහත්බිම් ගොඩ කිරීම තහනම් කර තිබියදී එය නොසලකා හරිමින් බලපත්‍ර ලබාදීම, බලපත්‍ර අංක රාශියක් හිටපු ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එම්.ඒ. එස්. වීරසිංහ මහතා විසින් ගොනු විවෘත කිරීමකින් තොරව වෙන් කරවා ගෙන බලපත්‍ර නිකුත් කර ඇතත් ඒ සම්බන්ධ කිසිදු ලේඛනයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද නිරීක්ෂණ හා විමර්ශන නිලධාරීන් සොයා ගෙන ඇත.ඉහත තොරතුරු අනුව බලපත්‍ර ‍නොමැතිව ගොඩ කරන ලද කුඹුරු ඉඩම් 6 කුත් අනවසර ඉදිකිරීම් 12 කුත් සිදුකර තිබෙන බව තහවුරු කර ඇත. එපමණක් නොව බලපත්‍ර ලබාදීම සඳහා සේවා ගාස්තු අය කිරීම පැහැර හැරීමෙන් මුල්‍ය පාඩුවක් සිදුකර ඇති බවද අනාවරණය කර ගෙන ඇත.

මෙහිදී බලපත්‍ර තුනකින් සේවා ගාස්තු වශයෙන් අයවිය යුතු සම්පුර්ණ මුදල අයකර නොගෙන 50% ක ගාස්තුවක් පමණක් අයකරගෙන තිබෙන බවත් සේවා ගාස්තුවලින් නිදහස් කොට බලපත්‍ර ලාභීන් අට දෙනෙකුට බලපත්‍ර ලබා දී තිබෙන බවත් ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක රූබන් වික්‍රමආරච්චි මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී සී.ඒ. රණතුංග, විමර්ශන නිලධාරී එම්.එල්.පී. ප්‍රේමසිරි යන විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත. ජනාධිපතිතුමා විසින් 2016.06.03 දිනැති PCMD/SD/02/09/disaster අංකය ය‍ටතේ නිකුත්කළ චක්‍ර ලේඛනය මගින් බස්නාහිර පලාත තුළ සියලුම කුඹුරු ඉඩම් සහ පහත්බිම් ගොඩකිරීම තහනම් කර ඇත.

ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ලෙසට කටයුතු කළ එම්.ඒ.එස්. වීරසිංහ මහතා මෙම චක්‍රලේඛයට පිටුපා කටයුතු කර ඇතිබව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිදු කරන ලද විමර්ශනයට අනුව පහත දැක්වෙන නිර්දේශ ජනාධිපතිතුමාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. අනවසර ගොඩ කිරීම සම්බන්ධව නීත්‍යනුකූලව කටයුතු කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතනයන්ට නියෝග කිරීම. බලපත්‍ර ලබාදීමේදී ඇතිවන ප්‍රමාදය අවම කිරීමට කටයුතු කිරීම, අවශ්‍ය පරිදි කොන්දේසි බලපත්‍රයට ඇතුළත් කිරීම. බලපත්‍ර ලබාදීමේදී ප්‍රාදේශීය වාර්තා කැඳවන ආකාරයෙන්ම බලපත්‍ර කොන්දේසිය සංශෝධනය කිරීමේදී ප්‍රාදේශීය වාර්තා කැඳවීම කළ යුතු බවට නිර්දේශ කර ඇත.

අනවසර ගොඩකිරීම් සිදු කර ඇති ස්ථාන පුනරුත්ථාපනය කිරීමට නියෝග කිරීම/ නඩු පැවරීම, බලපත්‍ර ලබාදීම සම්බන්ධ ලේඛන හා ලිපි ගොනු මෙතෙක් නිසි අධීක්ෂණයක් නොමැති හෙයින් නිසි අධීක්ෂණයකට ලක් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම බලපත්‍ර ලබා දීමෙන් පසු එම කොන්දේසි උල්ලංඝනය වීම් සිදු කරනවාද යන්න පිළිබඳ පසු විපරම් කිරීම. කමිටු පත්කර නිරීක්ෂණ ලබා ගැනීමේදී අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ද ගොවි සමිති හා අවට පදිංචි කරුවන්ගෙන්ද විමසුම් කිරීමට උපදෙස් දීම, පවතින ක්‍රම වේදයට පිටින් ලේඛනගත කිරී‍මකින් තොරව වෙනත් එකම ගොනු අංකයක් යටතේ හා ව්‍යාජ අංක යටතේ ද ලබා දී ඇති බලපත්‍ර අවලංගු කිරීමට හා නිරීක්ෂණ කැඳවීමකින් තොරව ලබා දී ඇති බලපත්‍ර අවලංගු කිරීමට නිර්දේශ කර ඇත. ඒ අනුව 2016.06.03 දින නිකුත්කළ චක්‍රලේඛයට පසුව ලබා දුන් සියලු බලපත්‍ර අවලංගු කිරීමට ද නිර්දේශ කර ඇත.

ජාතික ආහාර නිෂ්පාදන වැඩ සහහන යටතේ සහල් අතින් රට ස්වයං‍පෝෂණය කිරීමේ ජාතික කර්තව්‍ය සක්‍රීය කිරීම සඳහා වගා නොකරන ලද කුඹුරු ගොඩ ඉඩම් බවට පත්වීම වැළැක්වීම සඳහා වගා කිරීමට උනන්දුවක් දක්වන්නන් මාර්ගයෙන් වගා කරවීමේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු බලතල සක්‍රීය කිරීමට හා විනය විරෝධී ක්‍රියා කළ අයට විරුද්ධව විධිමත් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා මුලික පරීක්ෂණයක් සිදුකිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරියට නියෝග කිරීමේ නිර්දේශයක් ද ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක (විමර්ශන) රූබන් වික්‍රමආරච්චි මහතා සිය විමර්ශන වාර්තාවට ඇතුළත් කර ඇත. මේ වන විටත් ජනාධිපතිවරයාට බාරදී තිබෙන එම විමර්ශන වාර්ත‍ාවෙන් නිර්දේශකර ඇති පරිදි ජනාධිපතිවරයා විසින් රාජ්‍යපරිපාලනඅමාත්‍යංශ ලේකම්වරයාට විනය පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට උපදෙස් දී ඇත.

උඩුගම්පොළ
එල්. ඩබ්ලිව්. ආරියරත්න

 

Comments