බටහිර ලෝකයේ පොදු සතුරාගේ ජනවරම හෑල්ලුකිරීම | Page 2 | සිළුමිණ

බටහිර ලෝකයේ පොදු සතුරාගේ ජනවරම හෑල්ලුකිරීම

 “රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු රුසියානු ජනතාවගේ ශක්තියයි, එය සාම්ප්‍රදායික ස්වයංපාලන ක්‍රමවේදයක් මත හැඩගැසී ඇති අතර බාහිරින් අප මත පටවන ප්‍රමිතීන් මත යැපීමට අප සූදානම් නැත, -රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෑත යුගයේ ජන නායකයෙකුට ලබාගත හැකි ඉහළතම ජනවරමක් ලබා සිව්වැනි වතාවටත් ජනාධිපති පදවියට පත්ව සිටී. මෙවර ජනාධිපතිවරණය තනි අශ්වයෙකුගේ තරගයක් විය. 2012 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී පුටින්ට පැවති විරෝධයවත් මෙවර දක්නට නොලැබින. ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ඔහු සියයට 80 ඉක්මවූ ඡන්ද ප්‍රතිශයක් ලබා ගැනීමට සමත් විය. පුටින් අතිමහත් බහුතර ජනවරමකින් යලි බලයට පත්වන බවට අනාවැකි ජනාධිපතිවරණයට පෙරාතුවම පළවී තිබිණ. චීන ජනාධිපති ෂී ජින් පින් ඇතුළු ලෝක නායකයෝ ජයග්‍රාහී රුසියානු නායකයාට සුබපතද්දී බටහිර නායකයෝ මුනිවත රැකීමට උත්සුක වූහ. රුසියානු ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදුවු බව තහවුරු කිරීමටත්, පුටින්ගේ ජය හෑල්ලු කිරීමටත් බටහිර මාධ්‍ය දිවා රැ වෙහෙසෙයි. රොයිටර් පුවත් සේවය මැතිවරණ දිනයේදී සාමාන්‍යයෙන් ගුවන් යානාවල මගීන් ගණන් කිරීමට යොදාගන්නා යන්ත්‍ර අතට දී ඡන්ද පොලට යන එන අය ගණන් කිරීම සඳහා උත්සුක වුයේ එකම පුද්ගලයා දෙවරක් ජන්දය දමන්නේදැයි සෙවීමටයි. සාමාන්‍යයෙන් මෙවැනි පරික්ෂණ පවත්වනු ලබන්නේ මැතිවරණ නිරික්ෂකයන් මිස මාධ්‍ය ආයතන නොවේ. නොනිල වශයෙන් මාධ්‍ය ආයතනයක් මෙවැනි ක්‍රියාවල යෙදීමට හේතු පාදක විය හැකි එකම කරුණ පුටින් නිවැරදි ජනවරමක් නොලැබූ බවට තර්කයක් ගොඩනැගීමයි. එහෙත් බටහිර මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට භාෂණයේ නිදහස නැති හා මාධ්‍ය මර්දනයක් රුසියාවේ පවතී නම් විදෙස් මාධ්‍ය ආයතනයකට ජන්ද පොලවලට ගොස් සිය වාර්තාකරණය පසෙක ලා මැතිවරණ නිරික්ෂණයේ යෙදීමට ඉඩ සැලසෙන්නේ නැති බවටද තර්කයක් ගොඩනැගේ. මෙය පැහැදිලිවම ‘සුදු බැටළුවා කළු කිරීමට කළු තීන්න එක්රැස් කිරීමක්‘ හැර වෙනත් දෙයක් නොවන බව පෙනී යයි. ඒ පැහැදිලිවම රුසියාවේ ජන මතය විශ්ලේෂණය කර බැලීමෙනි. රුසියානු ජනාධිපතිවරණය වාර්තා කිරීම සඳහා එහි ගිය බටහිර මාධ්‍ය අහඹු තෝරාගැනීම් මගින් ජනතා අදහස් විමසා ඇත. ඉන් බහුතරයකින් පළවී ඇත්තේ “පුටින් නැත්නම් වෙන කවුද?“ යන අදහසයි. පුටින් රුසියාව යළි ගොඩනගන අතර ඒ සඳහා ඔහුට කාලය දිය යුතු බව පළවි ඇති ජනතා අදහස් වල සාරාංශයයි.

ව්ලැදිමීර් පුටින් ලෝකයට (විශේෂයෙන් බටහිර ලෝකයට) මවා ඇති චිත්‍රය නම් අධිකාරිවාදි, ප්‍රතිවාදීන් මැඩලන, දූෂිත පාලනයක් ගෙනයන නායකයෙකු ලෙසයි. එහෙත් රුසියානු ජනතාවට ඔහු තවමත් වීරයෙකි. ලෝකය නොදකින එහෙත් රුසියානුවන් දකින පැහැදිලි හේතු ඒ සඳහා තිබේ. 1990 දශකයේ ආරම්භයේ සෝවියට් දේශය බිඳවැටී රුසියාව අති දැවැන්ත පරිවර්තනයකට යොමු වූ යුගයේ ජන ජීවිතය ඉතා බරපතල පරිහානියකට ලක්විය. ආර්ථිකය කඩාවැටී, ජනතාවට ආහාර හා මූලික අවශ්‍යතා හිගවී දැඩි දුෂ්කරතාවලට මුහුණ දිමට සිදුවිය. බටහිර ලෝකයේ ආශිර්වාද ලබමින්, ප්‍රශංසා ගරු බුහුමන් ලබමින් බලයට පත්වු බොරිස් යෙල්ත්සින් දිවා රෑ දෙකෙහි වොඩ්කා පානය කර සිහිසුන්ව සිටිමින්, ප්‍රසිද්ධ සභාවල පවා කාන්තාවන්ගේ පශ්චාත්භාග මිරිකමින්, වේදිකාවලට නැග ජන නායකයෙකුට නොගැලපෙන රංගන ඉදිරිපත් කරමින් සතුටින් කාලය ගතකරද්දි රුසියාවේ සෑම අංශයක්ම පරිහානියට ලක්විය. ආර්ථිකය තුල දේශීය අනන්‍යතාව පසුබෑමට ලක්ව බටහිර සමාගම් පෙරමුණට පැමිණියේය. විද්‍යාත්මක දියුණුව කඩා වැටින. ආරක්ෂක හමුදා පිරිහිණි. දකුණු රුසියාවේ චෙච්නියා බෙදුම්වාදි යුද්ධයේදී පෙරමුණට යවනු ලැබු ආධුනික සෙබලු සිය ගණනින් මියගියහ. රුසියාව හිඟන්නන්ගේ දේශයක් බවට පරිවර්තනය වෙමින් තිබිණ. එරට ලොව පුරා ප්‍රසිද්ධ වූයේ රූමත් ගණිකාවන් හා නිරුවත් රංගන ශිල්පිනියන් ලොවට සපයන මුල් පෙළේ රටක් ලෙසයි. මේ සියල්ල හරහා ජාතික අභිමානය බිඳවැටුණු රුසියානුවෝ හිස බිමට හරවා ජීවත් වුහ.

නව සහස්‍රකයේ ආරම්භයත් සමග බලයට පත් හිටපු කේ ජී බී ඔත්තුකරුවෙකු වූ ව්ලැදිමීර් පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස නැවතත් රට ගොඩනැගීමේ අභියෝගයට මුහුණ දුන්නේය. මේ වනවිට ඔහු සාර්ථක ප්‍රතිඵල ලබා සිටී. ඔහු බලයට පත්වී ගෙවුනු වසර 18 තුල රුසියාවේ ජන ජීවිතයේ තත්ත්වය තුන් ගුණයකින් ඉහල ගොස් තිබේ. යෙල්ත්සින් යුගයේ ඩොලර් 9889ක් වු ඒක පුද්ගල දළ දේශීය ආදායම (PPP අගය මත) 2017 වනවිට ඩොලර් 27900ක් දක්වා ඉහල ගොස් තිබේ. ඩොලර් ට්‍රිලියන 4ක දළ දේශීය නිෂ්පාදිත අගයක් සහිත රුසියානු ආර්ථිකය ලොව 6 වැනි ආර්ථිකය බවට පත්ව ඇති අතර 2050 වනවිට වත්මන් තත්ත්වය පැවතුන හොත් එය යුරෝපයේ ප්‍රධානතම ආර්ථිකය විය හැකි බවට අනාවැකි පළවී තිබේ. වසර 18ක් තුල රුසියාවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 12 සිට ඩොලර් බිලියන 356 දක්වා ඉහළ ගොස් තිබේ. ආර්ථික නිෂ්පාදිතයෙන් සියයට 92.1ක් පැවති රාජ්‍ය ණය 2017 වනවිට සියයට 17.4 දක්වා අඩුවී තිබේ. 1990 දශකයේ අග භාගයේ සියයට 36.5ක් ව පැවති උද්ධමනය අද වනවිට සියයට 2.5ක් දක්වා අඩුවී තිබේ. රුසියානු හමුදාව අන්තර්ජාතික අභියෝගවලට මුහුණ දිය හැකි ආකාරයෙන් නවීකරණය වී තිබේ. අවි පද්ධති යථාවත් වී ඇත. විද්‍යාත්මක දියුණුව යළි පිබිදී තිබේ. පුටින් රුසියානුවන්ගේ අභිමානය යළි ලබාදී තිබේ. ඔහුගේ පාලනය පිළිබදව විශේෂයෙන්ම දිගුකාලීනව බලයේ රැදී සිටීම පිළිබදව හා දැඩි පාලන පිළිවෙත් හා ඇතැම් සීමාකිරීම් සම්බන්ධයෙන් බරපතල විවේචන පවතින බව සැබෑවකි. එහෙත් ඒ සියල්ල තුලින් ඔහු පසුගාමී රාජ්‍යයක් නැවතත් ලෝක බලවතුන් අතරට ගෙනැවිත් තිබේ.

ව්ලැදිමීර් පුටින් බටහිර ලෝකයේ පොදු සතුරා බවට පත්ව ඇත්තේ ඇයි? ඔහු රුසියාවේ දෘඩ බලය (hard power) මෙන්ම මෘදු බලය (soft power) නිසි ලෙස යොදාගනිමින් සිදුකරන රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් ඔස්සේ බටහිර බලයට විකල්ප ගෝලීය බලවේගයක් නිර්මාණය කර තිබේ. එහෙත් එය නිරවි යුද හෙවත් සිසිල් යුද සමයේ පැවති ආකාරයේ ගැටුම්කාරි බලකදවුරක් නොවේ. ලෝකයේ සෑම දෙයක්ම බටහිර බලවේගයේ අවශ්‍යතා පරිදි හැඩගැසිය යුතුය යන මතවාදයට අන්තර්ජාතික තලයේදී විකල්පයක් ලෙස පෙනි සිටින බලවේගයකි. ගෝලීය වේදිකාවලදී රුසියාව, චීනය හා සංවර්ධනය වෙමින් පවතින බලවත් රාජ්‍ය එක් පිළෙක සිට කටයුතු කරන අවස්ථා ඉතා පැහැදිළිව දැකගත හැකිය. බටහිර ලෝකය එරෙහි වන්නේ මේ නව පිබිදීම තුලින් ශක්තිමත් වන රුසියානු වලසාටයි. සිරියාවේ යුද්ධය තුලින් රුසියාවේ මැදපෙරදිග බලය අහිමි කිරීමට බටහිර බලවතුන් ගත් උත්සාහය ව්‍යර්ථ කොට සිරියානු යුද්ධයේ වාසිය තම කඳවුරට ගැනීමට පුටින් සමත් විය. යුක්රේනය හරහා එල්ල වු බටහිර අභියෝගයද ඔහු ව්‍යර්ථ කර දැමීය. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් පුටින් - නාසි ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර්ට සම කළේය. බටහිර ලෝකයේ පුටින් විරෝධයේ ප්‍රබලත්වය ඉන් පෙනී යයි. ශ්‍රී ලංකාව සැලකූ කළ පුටින් යනු ඉතා මිත්‍රශීලි නායකයෙකි. ප්‍රශ්නයක් අවස්ථාවකදි ඔහුට සෘජුව සම්බන්ධවීමට තරම් සමීප සුහදශිලිත්වයක් වර්තමානයේ දෙරටේ නායකත්වයන් අතර ගොඩනැගී තිබේ. නොබෝදා ඇතිවූ තේ ප්‍රශ්නයේදී එය කැපී පෙනින.

දෙදන බිම ඔබා වැටී සිටි රුසියාව නැවතත් දෙපයින් නගාසිටුවීම සම්බන්ධයෙන් රුසියානුවෝ පුටින්ට කෘතඥ වෙති. මැතිවරණ ප්‍රතිඵලයේ යටිපෙළ අරුත එයයි. 

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

Comments