
දූ අනුරාධා - මාපිය සෙනෙහස මැදින් ගලා ගිය ගී මිහිර
ඉන්ද්‍රචාපගේ සමීප රූපාවලිය ඇඳෙන්නේ මාර්තු 11 දා හවස නෙළුම් පොකුණෙදි. ගායක ගායිකා අම්මා කෙනෙක් හා තාත්තා කෙනෙක්. ඒ දෙන්නා මැද දුවක්. ඉන්ද්‍රචාප මේ තුන්දෙනා අඳුනගන්නවා. තාත්තා සංගීත් නිපුණ්, විශාරද, සනත් නන්දසිරි. අම්මා මල්කාන්ති පීරිස්. දියණිය අනුරාධා නන්දසිරි. මොකක්ද මේ අසිරිමත් කලා මංගල්ලය. ඉන්ද්‍රචාප සංගීත ලෝකයේ, විශිෂ්ටයන්ගෙ මුහුණු පිරිලා නෙළුම් පොකුණ රඟහල ප්‍රේක්ෂකාගාරයේ. අම්මත් තාත්තත් ඉදිරියෙ, නෑ විශාල රසික ප්‍රේක්ෂාගාරයක් හමුවෙ ගායිකාවක් විදියට අභිෂේක ලබන අනුරාධා නන්දසිරි ගායිකාව ඉන්ද්‍රචාපගෙ සමීප රූපාවලිය අතරෙ අතීත මතක රූපාවලියක් ඇඳෙනවා. කාලය නවසිය හැටගණන්වල අග භාගය කිට්ටුව. ගුවන්විදුලි සරල ගීත අතරට එකතුවුණු වෙනස්, නැවුම් ම කටහඬ? ඇවිළුණු ගිනිදැල් නිවි නිවි යද්දී, සිහිල් සුළං රැල්ලක් පාවී ගිය සැටි. සමීපරූපයේ සනත් නන්දසිරි සමඟ වික්ටර් රත්නායක. සිංහල සංගීතයේ පෙරළිකරුවන් දෙන්නෙක්. එදා ඉඳල අද වෙන තෙක් ම දෙන්නගෙ ම ගායනා ඉන්ද්‍රචාප වගෙම තවත් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක රසික ජනයා ගෙ සිත් සතන්, සවන් වසඟයට පත් කරමින් ගලා යන අරුමය ඉන්ද්‍රචාපට මතක් වෙනවා.
එදා සංගීත ගුරුවරයා. අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙ කුලපතිවරයා. දශක පහකට වැඩි කාලයක් තිස්සෙ ගායනයෙන්, සංගීත දැනුම ඥානය, දහස් සංඛ්‍යාත පාසල් දූ පුතුන්ට, විශ්වවිද්‍යාල මාණවක මාණවිකාවන්ට බෙදා දෙමින්, සරල ගීතය, ශාස්ත්‍රීය ගීතය, වාදනය, චිත්‍රපට පසුබිම් ගීතය, සංගීත අධ්‍යක්ෂණය, ගී තනු නිර්මාණය, ගේය පද රචනය ආදී ක්ෂේත්‍ර රාශියකම අනන්‍ය ලකුණ සටහන් කළ, මහා සංගීත ඇදුරා සනත් නන්දසිරි. ඉන්ද්‍රචාප දකිනවා ප්‍රේක්ෂකාගාරයෙ උණුසුම් අත් පොළසන් හඬ මැදින් හෙමින් හෙමින් පා නගමින්, වේදිකාව මැද අසුන් ගන්නා මහා ගාන්ධර්වයා. මොහොතකින් ඔහුගෙ ගැඹුරු කට හඬ ඉන්ද්‍රචාපගෙ සමීපරූප ශ්‍රව්‍ය පටයෙ. නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්. නොනවතින ප්‍රේක්ෂක ආචාරය. විදුර ඩයස් අභය ගුණවර්ධන, තරුණ පූරකයා, වේදිකාවට කැඳවන්නේ සනත් නන්දසිරි නම් වූ මහා ගායන පෞරුෂය පිටුපසින් ජීවන සෙවනැල්ල වෙසින් ඉන්නා මල්කාන්ති නන්දසිරි. ඇගේ ගායනාවත් සනත් ගේ ගී හඬට එකතු වෙනවා. මතකද සිරි දළදා වැන්දා, සහසක් පැතුමන් සමඟ මල්කාන්ති ගේ පැරැණි ගීයක මිහිර ගලා යද්දී ගීත රචිකාවිය, දයා අල්විස්ගෙ මුහුණත් ඉන්ද්‍රචාපගෙ සමීප රූපයෙ.
දූ අනුරාධා සංගීත ප්‍රසංගය පිටුපස්සෙ ඉන්න තරුණයන් දෙන්නකුගෙ මුහුණත් ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර. විදුර ඩයස් අභය ගුණවර්ධන සමඟ සහන් කසීර වික්‍රමසිංහ. දෙන්න ම අන්තර්ජාලයෙ මුහුණු පොත (Face Book) ජනප්‍රිය චරිත. ඔවුන් දෙන්නට තිබිල තියෙන්නෙ දැවැන්ත අභියෝගයක් කියල ඉන්ද්‍රචාප දකිනවා. එක අතකින් මහා හාස්කමක් වගේ කටයුත්තක්. සනත් නන්දසිරි වගේ සංගීත ක්ෂේත්‍රයෙ විශිෂ්ටයකුට, රජය මැදිහත් වෙලා කළ යුතු උපහාරාත්මක සංගීත ප්‍රසංගයක් නෙළුම් පොකුණ රඟහලට ගේන්න තරම් බය නැතුව ඉදිරිපත් වුණු විදුර ඩයස් වගේ ම සහන් කසීරත් සංගීතය ප්‍රිය කරන ශ්‍රාවකයන්ගෙ ගෞරවයට පාත්‍ර වෙනවා. ඉන්ද්‍රචාප නම් හිතන්නෙ නෑ ඔවුන් දෙන්නා ඇතුළු කණ්ඩායමට සත අලුක්කාලක ලාබයක් ලැබුණා කියලා පාඩුවක් මිසක්. මුදල් හදල් අතින් විතරක් නෙවි මුහුණු පොතේ සමහර විද්වත් සාමාජික සාමාජිකාවන්ගෙ කෝචොක් කතාත් විදුරත් සහනුත් පාස්කරල තිබුණා. ඒව මොනවා වුණත් සනත් නන්දසිරිගෙ ගායනා අතර කේමදාස සනත් සුසංයෝගයෙන් බිහිවුණු චිත්‍රපට ගීතයක, එහෙමත් නැත්නම් මුල් කාලයෙ සරල ගීතයක සුවඳ මැකෙන්නෙ නෑ, මිහිර කියල නිම කරන්න බෑ, ඉරාඅඳුරු පට, දුලීඛා, අනන්තවූ දෙරණ සරා, මේ නිහඬ නිල් තලයේ වගේ චිත්‍රපට සිංදුත්, දිනෙන් දින ඔබ මාවෙතින්, සොවින් පිරි මගේ හදවත වගේ හිතින් ඈත් වෙන්නෙම නැති සින්දු ඉන්ද්‍රචාපගෙ සමීප රූප ඕඩියෝ ට්‍රැක් එකේ.
තාත්තගෙත් අම්මගෙත් පැරැණි ගීත මතක මාවතට දූ අනුරාධා එකතු වෙන්නෙ, අලුත් ගායනා සමඟ. දූ අනුරාධා, සහානන්ද ඉසියුම් නිතින් ගැයුණු අලුත් ගීතය අපූරුයි. නදීක ගුරුගේගෙ සංගීත නිර්මාණය වගේ ම විදුර ඩයස්ගෙ පදත් දූ අනුරාධා යුග ගායනාව වර්ණවත් කළා කියල ඉන්ද්‍රචාපට හිතුණෙ. සනත්නන්දසිරිගෙ ගායනාවේ විශිෂ්ට ගුණය තමයි, අදත් ඔහු සජීවීව Live කියන එක. දැන් කාලෙ කීයෙන් කී දෙනාද එහෙම කරන්නෙ? දූ අනුරාධා ගීතාවලිය තෝරා ගැනීම ගැන ඉන්ද්‍රචාප සතුටු නෑ. කොහොම වුණත් පරම්පරාවෙන් පරම්පරාවට තාත්තා අම්මගෙන් පස්සෙ අනුරාධා දුවගෙ ගායනා දිගට ම අහන්න ලැබෙන එක නම් සතුටට කාරණාවක්.