රත්නපුරට නාවික හමුදාවෙන් ආරක්ෂක ජාලයක් | සිළුමිණ

රත්නපුරට නාවික හමුදාවෙන් ආරක්ෂක ජාලයක්

සෑම වර්ෂා කාලයකම ගංවතුර තර්ජනයට හා විවිධ ස්වාභාවික ආපදාවන්ට ගොදුරු වන රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්ව පෙර දැනුම් දීමේ හා සහන සැලසීමේ ක්‍රමවේදයක් සහිත පද්ධතියක් ස්ථාපිත කර ඇතැයි නාවික හමුදාව පවසයි.

රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමියගේ ඉල්ලීම පරිදි එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම සහන සැලසීමේ පද්ධතිය හඳුන්වාදීම සිදු කර ඇති අතර, GPS යන්ත්‍ර භාවිතය සහ Google Earth මෘදුකාංගය භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීම මේ වන විට සිදු කර තිබේ.

නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

නාවික හමුදා භූ‍ගෝලීය තොරතුරු පද්ධති අංශය විසින් දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදු විය හැකි ගංවතුර ආපදා තත්ත්වයකදී නාවික හමුදාව සතු කාර්යභාර්ය මෙන්ම අනෙකුත් ආයතනයන් සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරන ආකාරය ඇතුළත් වැඩමුළුවක් පවත්වා ඇති අතර, එහිදී ආපදා තත්ත්ව පෙර දැනුම් දීමේ හා සහන සැලසීමේ ක්‍රමවේදය සහිත පද්ධතියක් ස්ථාපිත කරන ලදි.

පසුගිය වසරේ මැයි මස රත්නපුර දිස්ත්‍රික්කයට ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳ නාවික හමුදාව විසින් අධ්‍යයනයක් සිදු කර ඇති අතර, එවැනි ආපදා තත්ත්වයක් මත නාවික හමුදා කාර්යභාර්ය හා සහන සැලසීමේ ක්‍රමවේදය පිළිබඳ කරුණු එක්රැස් කරගෙන, ඒ ඔස්සේ මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කොට ඇත.

Comments