
පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ නව මන්ත්‍රීවරුන් 8000ක් දෙනා හට සුබාශිංසන පතන බවත් ඔවුන් රටේ සුබසාධනය උදෙසා නිවැරැදි මාවත තෝරාගෙන කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සිළුමිණට ප්‍රකාශ කළහ.
ආහාරය ඇසුරින් උදාහරණයක් ගෙන නව මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට කැමති බව දැක්වූ උන්වහන්සේ එයට හොඳම නිදසුන සිංගප්පූරුවෙන් ලබා ගත හැකි බවද පැවසූහ.
“කෑම අනිවාර්යයෙන්ම කවුරුත් කළ යුතු දෙයක්. කෑම නැතිව ජීවත් වෙන්න බෑ, වැඩ කරන්නත් බෑ. ඒත් කෑම කන ක්‍රම කීපයක් තිබෙනවා. එකක් හිඳගෙන කන එක, අනෙක ඉහගෙන කන එක. ඊට අමතරව සූරාගෙන කන්නත් පුළුවන්. වවාගෙන කන්නත් පුළුවන්. හැබැයි මම යෝජනා කරනවා මේ අලුත් මන්ත්‍රී පිරිසට වවාගෙන කන්න කියලා. එයින් තමනුත් හැදෙනවා රටත් හැදෙනවා. සිංගප්පූරුව වැනි පුංචි රටක් එහි දේශපාලනඥයන් දැවැන්ත රටක් බවට පත් කරලා ලෝකේ ඉහළම ප්‍රතිලාභ සේවකයන්ට ලැබෙන රටක් බවට පත් කළා.
ඒත් අපේ රටේ මෑතක දේශපාලනය කළ අය කෑවේ අනෙක් විධිවලට. ඒ නිසා ඔවුන් ගුරු කොට ආදර්ශයට නොගෙන තම තමන් අදහන ආගම දහමට අනුව දුර දිග දක්නා නුවණින් යුතුව වැඩ කළොත් තමනුත් එගොඩ වී රටත් වැටී ඇති තැනින් ගොඩ ගැනීමට හැකියි. එහෙම කළොත් ඊළඟ ඡන්දයේදීත් තමන්ට ජයග්‍රහණය ලැබේවි. ඒ ගැන සිතා රටට වැඩදායී වන වගා කරගෙන කෑමට පුරුදු වන්න කියා මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.“