
පාතාලය මැඬලීමට විශේෂ කාර්ය බළකායේ අතිරේක කණ්ඩායම්ද කොළඹට කැඳවමින් විශේෂ අපරාධ මර්දන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා සිළුමිණට පැවැසීය.
පසුගිය දින කිහිපයේ පාතාල කණ්ඩායම් අතර ගැටුම් උත්සන්න වීමට හේතු වී ඇත්තේ එම කණ්ඩායම් අතර මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා සැරිසරන මුදල් නිසි පරිදි එකිනෙකා අතර බෙදී නොයෑමෙන් හටගත් අභ්‍යන්තර ගැටුමක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කළේය.
ඉකුත් දා පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ විශේෂ මෙහෙයුමකින් ඩුබායිහි වෙසෙන මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝළයන් දෙදෙනකු වූ වැලිගම චින්තක සහ ලසන්ත අත්අඩංගුවට පත්වීමෙන් මොවුන්ගේ අභ්‍යන්තර ජාලය අවුල් වී ඇති බවත් එම නිසාවෙන් මධුෂ් සහ සමයංගේ කල්ලි අතර නැවතත් ගැටුම් මතුවී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා පවසයි.
පසුගිය 19 දා ආමර්වීදියේදී ඝාතනය වූ ඇන්ටනී රාජ් යනු මධුෂ්ගේ කුඩු ජාවාරම මෙරට සිට මෙහෙයවූ අයෙක් බවත් ඔහු විසින් මීට දින කීපයකට කලින් අලුත්කඩේදී ඝාතනය වූ මොහොමඩ් රිස්වාන්ගේ ඝාතනයට කොස්මල්ලි නමැත්තාට ඔත්තු දී ඇති බවටද සැක කරන බවත් එම නිසා මධුෂ්, ඇන්ටනී රාජ් සමඟ බද්ධ වෛරයෙන් සිටි බවටද වාර්තා වේ. එසේම ඇන්ටනී රාජ් බන්ධනාගාරය තුළ සිටිද්දී මෙරට තුළ සිදු කළ කුඩු ජාවාරම්වලට අදාළ මුදල් හරිහැටි ඇන්ටනී රාජ්ගේ බිරිය වන සුරංගිකා විසින් මදුෂ්ට ලබාදී නැති බවටද වාර්තා වේ.