
මිනිස් ශරීරයේ සිදුවන සියලු සවිඥානක හා අවිඥානික ක්‍රියාවලීන් පාලනය කරන වැදගත් ඉන්ද්‍රිය ලෙස මොළය හදුන්වා දිය හැකි ය. එදිනෙදා සිදුකරනු ලබන සියලු ක්‍රියාකාරකම්වල දී අප හිසට සිදුවන අනතුරු වළක්වා ගැනීම අතිශය වැදගත් වේ. අනෙකුත් ක්‍රියාකාරකම් මෙන්ම , ක්‍රිඩාවල යෙදෙන අතරතුර දී ද මේ තත්ත්වය අප වටහා ගත යුතුය.මොළයට සිදුවන ක්‍රීඩා අනතුරු වශයෙන් හදුන්වන්නේ මොනවා ද?,මොළයට සිදු වන ක්‍රීඩා අනතුරු මොනවා ද? එමගින් සිදු වන බලපෑම සහ පුද්ගලයෙකුගේ මොළයට ක්‍රීඩා අනතුරක් සිදු වු විගස කළ යුත්තේ කුමක් ද? යන කරුණු පිළිබඳ කොළඔ ජාතික රෝහලේ ක්‍රීඩා වෛද්‍ය පද්මලාල් පතිරගේ මහතා දැක්වු අදහස් මෙසේ ය.
වෛද්‍යතුමනි, මොළයට සිදුවන ක්‍රීඩා අනතුරු වශයෙන් හඳුන්වන්නේ මොනවා ද?
හිස් කබලේ ඉහළ කොටසේ අස්ථි රැසක් එකිනෙක බද්ධ වී සැදුණ කපාල කුටීරයක මිනිස් මොළය තැන්පත් වී තිබේ. සාමාන්‍යයෙන් වැඩිහිටි මිනිස් මොළයක් රාත්තල් 3 ක් පමණ වේ. මෙය මස්තිෂ්ක අර්ධ ගෝල නමින් හැඳින්වෙන ප්‍රධාන කොටස් 2 කින් , හා ඊට පහළින් පිහිටි අනුමස්තිෂ්කයෙන් හා සුෂුම්නා ශිර්ෂයකින් සමන්විත වේ. මස්තිෂ්ක අර්ධ ගෝල දෙක ඉතිරි පහළ කොටස් හා සම්බන්ධ වන්නේ මොළ දණ්ඩ ( Brain Stem) නමින් හඳුන්වන කොටසකින් ය.
සුෂුම්නා ශිර්ෂකයෙන් පසු හිස් කබල තුළින් පහළට ගමන් කරන කොටස හදුන්වන්නේ සුෂුම්නාව ලෙසිනි. එය අපේ කොඳුඇටපෙළ තුළින් පහළට ගමන් කරයි. මොළය හා සුෂුම්නාව යන කොටස් දෙකේ එකතුව හඳුන්වන්නේ සියලුම මිනිස් ක්‍රියාකාරකම් පාලනය කරන මධ්‍ය ස්නායු පද්ධතිය වශයෙනි. හිස් කබල තුළ පිහිටි මොළය ප්‍රධාන වශයෙන් අස්ථිමය කපාලයට අමතරව සිවි තුනකින් ආරක්ෂා වේ. හිස් කබලට සමීපයෙන් ම තද තන්තුමය ස්වභාවයකින් යුතු වාරාශිකාව ( Dura Mater ) පිහිටයි.
ජාලාංශුකාව ( Arachnoid Mater ) ඒ හම යටින් පිහිටන තුනී දෙවන සිවිය වේ. මස්තිෂ්ක අර්ධගෝලය ආවරණය කරමින් එයටම ඇලුණු තුනී සිවියක් ආකාරයට පිහිටන පටලය හඳුන්වන්නේ චීනාංශුකාව ( Pia Mater) වශයෙන් ය. ජාලාංශුකාව හා චීනාංශුකාව අතර ඇති අවකාශය Subarachnoid Space යනුවෙන් හඳුන්වයි. එහි තිබෙන මෂ්තිෂ්ක- සුෂුම්නා තරලයේ මොළය පාවෙමින් තිබේ. මේ ආවරණ තුනට හා මොළයට ක්‍රීඩාවක් අතරතුර දී සිදුවන අනතුරු මොළයට සිදුවන ක්‍රීඩා අනතුරු වශයෙන් හැඳින්විය හැකි ය.
මොළයට සිදු වන ක්‍රීඩා අනතුරු මගින් සිදු වන බලපෑම විස්තර කරන්න
බැලූ බැල්මට මොළයට හානි වීමට නම් හිස් කබලට මුලින් ම හානිවීම අත්‍යවශ්‍ය යැයි යමෙකුට සිතෙන්නට පුළුවන. නමුත් එසේ හිස් කබලට හානි නොවී,එනම් අස්ථි භග්නයක් නොවී මොළයට හානි වීමට පුළුවන.එයට හේතුව සමහර ක්‍රීඩා වල දී සිදු වන හිසේ දැඩි කම්පන තත්ත්වයන් නිසා මොළය කපාලය තුළට දැඩි ලෙස ඉදිරියට පසුපසට හා පැත්තට චලනයක් වීමට පුළුවන. එසේ වීමට හේතුව මොළය හිස්කබල තුළ මස්තිෂ්ක සුෂුම්නා තරලය තුළ පාවෙමින් තිබෙන අවයවයක් වීම ය.මොළය ආවරණය වන පිටතින් පිහිටන වාරාශිකාව , ජාලාංශුකාව හා චීනාංශුකාව අතර ඇති අවකාශයේ පවතියි.මේ මස්තිෂ්ක-සුෂුම්නා තරලය ( CSF- Cerebral Spinal Fluid) පවතින්නේ හිසේ චලනයන් හිදී මොළයට ඇතිවන කම්පනයක් පාලනය කිරීමට ස්වභාවධර්මයෙන් ම නිර්මාණය වුවක් ලෙසිනි.
අධික ප්‍රවේගශිලී ක්‍රීඩාවලදී හිස්කබල තුළ මොළය අධික ලෙස කම්පනයට පත් වී චලනය වීම නිසා මොළයට සිදුවන හානිකර තත්ත්වයක් වශයෙන් Concussion හඳුන්වනු ලැබේ.මෙය ක්‍රීඩකයාගේ මොළයට සුළු තාවකාලික හානිකර තත්ත්වයේ සිට කල්පවතින හානි කර තත්ත්වයක් දක්වා වුව ද වර්ධනය විය හැකි ය.රගර්,පාපන්දු,බොක්සිං වැනි ප්‍රවේගශීලී ගැටීම් බහුල ක්‍රීඩාවල දී මෙය බහුලව පැවතිය හැකි තත්ත්වයකි.බාහිරින් කිසිදු තුවාලයක් හෝ හිස් කබලේ අස්ථි බිඳීමකින් තොරව මොළයට සිදුවන අනතුරක් ලෙස මෙය හැඳින්විය හැකි ය.
ක්‍රීඩාවක දී මොළයට ඇති විය හැකි අනිත් හානිකර තත්ත්වය ලෙස හිස්කබලට හානි වීමත් සමඟ ඇතිවන තත්ත්වය සැළකිය හැකි ය.මිනිස් හිස්කබල අස්ථි සමන්විත වන්නේ තුනී අස්ථි 2 ක් අතර තිබෙන , ඇටමිදුළු ස්ථරයක් සහිත පැතලි අස්ථි ආකාරයට ය.මේ අස්ථි අතරින් අපගේ කන්පෙතිවලට සමීපව ඉහළින් ඇති හිස් කබලේ අස්ථි හිස්කබලේ අනිත් ප්‍රදේශවල අස්ථි වලට වඩා ඝනකමින් අඩු ය.ඒවාගේ ම තුනීයට පිහිටනු ලබයි.එයට තදබල පහරක් වැදුණොත් පිපිරීම සිදු වේ. එසේ සිදු වන්නේ හිස්කබලේ අනික් ප්‍රදේශවලට සාපේක්ෂව වැඩි වශයෙන් ය.
එසේ ම මොළය වටා ඇති සිවි වලට රුධිරය සපයන ධමනි පිහිටා තිබෙන්නේ මෙම අස්ථි වලට යටිනි.ඒ නිසා හිස් කබලට යටින් මොළය ආවරණය කරන පටල අතර රුධිරය එකතු වීමට පුළුවන.මොළයේ කුමන පටල අතර එම රුධිරය එක් වීද යන්න මත මොළයට වන හානිය වෙනස් වේ.හිස් කබලේ ඇතුල් අස්ථිය හා මොළයට පිටතින් ඇති සිවිය එනම් වාරාශිකාව ( Dura Mater) අතර රුධිරය එක් වීම Extra Dural Haemorrhage - EDH ලෙස හැඳින්වේ.මෙසේ හිස්කබලට හානි වී ඇතුළට රුධිර වහනයක් වීම වේගවත් වී ,රුධිර කැටියක් සෑදීම නිසා එම පීඩනයෙන් එම පැත්තේ මස්තිෂ්ක අර්ධ ගෝලය මත තෙරපුමක් ඇති කෙරේ.මෙයින් මොළයේ ක්‍රියාකාරීත්වයට බාධාවක් හා හිස්කබළ තුළ පීඩනය වැඩි වීමක් සිදු වේ.මෙම තත්ත්වය වටහා නොගෙන ඉක්මන් ප්‍රතිකාරවලට යොමු නෙවුණහොත් මෙයින් ක්‍රීඩකයාගේ ජීවිතයට පවා හානි වීමක් සිදු විය හැකි ය.
මොළයේ වාරාශිකාව හා ජාලාංශුකාව අතර අවකාශය හදුන්වන්නේ Subdural Space ලෙසිනි.මෙම අවකාශයේ රුධිරය එකතු වීම Sub durl Haemorrhage (SDH) වශයෙන් හැඳින්වේ. මෙය ද මොළයට පීඩනය ඇති කරන තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි ය.
මොළයේ ජලාංශුකාව හා මොළය ආස්ථරනය වී ඇති චීනාංශුකාව අතර රුධිරය එකතු වීමෙන් ඇති වන තත්ත්වය Sub Arachnoid Haemorrhage ( SAH) ලෙස සැළකිය හැකි ය. මෙහිදී ද මොළයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වේ.මෙය ද ඉක්මනින් ම රෝග විනිශ්චය කර කඩිනමින් ප්‍රතිකාරවලට යොමු කළ යුතු තත්ත්වයකි. පළපුරුදු වෛද්‍යවරයෙකුට මෙම තත්ත්වයන් රෝගියා පරීක්ෂා කිරීමෙන් සායනිකව හඳුනා ගැනීමට පුළුවන.
කැඩුණු හිස් කබලේ කොටස්වලින් හෝ හානි වු රුධිර නාල වලින් වහනය වන රුධිරය නිසා මොළයේ සෑම ස්නායු පටකවලට හානියක් සිදු විය හැකි ය.Intra Cerebral Haemorrhage ( ICH ) යනුවෙන් හැඳින්වෙන්නේ මේ තත්ත්වයයි. ශරීරයේ සවිඥානික හා අවිඥානික පාලනය සිදු වන මොළයේ ඒ ඒ ප්‍රදේශවලට සිදු වන හානි අනුව මෙම තත්ත්වයේ හානිය භයානක විය හැකි ය. විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ මැදිහත් වීම මේ සියලු අනතුරුවලට ප්‍රතිකාර කිරීමේ දී අත්‍යවශ්‍ය වේ. ශරීරයේ අනෙකුත් පටක මෙන් නොව ස්නායු පටකය විනාශ වුවහොත් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් නොවන බව වටහා ගත යුතු ය.
පුද්ගලයෙකුගේ මොළයට ක්‍රීඩා අනතුරක් සිදු වු විගස කළ යුත්තේ කුමක් ද?
ක්‍රීඩාවක් අතරතුර දී, හිසට එල්ලවන යම් අනතුරක දී ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩා වෛද්‍යවරයාට විශාල වගකීමක් දැරීමට සිදු වේ. හිසට සුළු ඝට්ටනයක් සිදු වන අවස්ථාවක සිට දැඩි ඝට්ටනයක් ඇති වන අවස්ථාවක් දක්වා එය සිදු වන ආකාරය( mode of action )හොඳින් නිරීක්ෂණය කිරීමට සිදු වේ. උදාහරණ වශයෙන් දැඩි ප්‍රවේගකාරී ආවේගශීලී ක්‍රීඩාවල දී ක්‍රීඩාවක් පැවැත්වෙන අතරතුර ක්‍රීඩා වෛද්‍යවරයා අනිවාර්යයෙන් ම විමසිල්ලෙන් සිටිය යුතු වේ. රගර්,පාපන්දු, බොක්සිං, හා මයිකොන්ඩෝ වැනි ක්‍රීඩා මෙවැනි ගැටීම් වැඩි වශයෙන් සිදු වන ක්‍රීඩා ලෙස හැඳින්විය හැකි ය.
හිසට දැඩි ප්‍රහාරයක් එල්ල වුණ අවස්ථාවක දී එම ක්‍රීඩකයාගේ හැසිරීම හා පෙන්වන රෝග ලක්ෂණ අනුව ඔහු හෝ ඇය වහාම ක්‍රීඩා පිටියෙන් ඉවතට ගෙන දැඩි නිරීක්ෂණයට ලක් කිරීම ක්‍රීඩා වෛද්‍යවරයෙකුගේ සුවිශේෂී කාර්යයභාර්යයකි.
දැඩි අනතුරකට පත් වූවකු ඉතා ආරක්ෂාකාරීව (සුදුසු ගිලන් මැසි , සුදුසු ප්‍රවාහන ක්‍රම- ගිලන් රථ, අවශ්‍ය නම් ගුවනින් ප්‍රවාහනය) ස්නායු ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ පහසුකම් සහිත හදිසි අනතුරු රෝහලකට ගෙන යාම එම ක්‍රීඩකයාගේ දිවි ගලවා ගැනීමට හා ඇති වී තිබෙන තත්ත්වය තවදුරටත් හානිදායක තත්ත්වයට පත් වීම වැළැක්වීමට හේතු වේ.
මොළයට ක්‍රීඩා අනතුරක් සිදු වු විගසම එම පුද්ගලයාව රැගෙන යාමේ දී පිළිපැදිය යුතු උපදෙස් මොනවා ද?
සිහිය ඇති හෝ නැති හිසට හා මොළයට අනතුරක් වු පුද්ගලයෙකු අනිවාර්යයෙන් ම ගිලන් මැස්සක ( Stretcher) තබා ප්‍රවේශමෙන් , ඉක්මනින් ම සුදුසු රෝහලකට රැගෙන යාම වැදගත් වේ. ජීවිතාරක්ෂක උපකරණවලින් සමන්විත රථයක පුහුණුවක් සහිත වෛද්‍යවරයෙකු හා සුවසේවා කාර්යය මණ්ඩලයක සහභාගීත්වය ද වැදගත් වේ.
මොළයට සිදු වු අනතුරක් මඟින් ශරීරයේ අනෙකුත් අවයවයන්ට හානි වීමක් සිදු වනවා ද?
මොළයේ ක්‍රියාකාරීත්වය සැබැවින්ම අපගේ සිරුර පවත්වා ගෙන යෑමට වැදගත් වේ. මොළයේ එක් අර්ධ ගෝලයකට හානි සිදු වුවහොත් එම කොටසින් පාලනය වන ශරීරයේ සියලු ක්‍රියාකාරීත්වයට බාධා ඇති වේ. අතපය සෙලවීම, කථනය, දෘෂ්ටිය පමණක් නොව සිහිකල්පනාව හා මතකය ආදී සියලුම ක්‍රියාවන්ට මෙමගින් බලපෑමක් සිදු වේ. මොළයේ දකුණු අර්ධ ගෝලයට හානි සිදු වුවහොත්, ශරීරයේ වම් පසටත් , වම් අර්ධ ගෝලයට හානි සිදු වුවහොත් ශරීරයේ දකුණු පස ක්‍රියාකාරීත්වයටත් බාධා පැමිණේ. අනුමස්තිෂ්කයට (Cerebellum) හානි වුවහොත් ශරීරයේ සමබරතාව පවත්වා ගැනීමට ද සුෂුම්නා ශිර්ෂයට හානි සිදු වුවහොත් ශරීරය පවත්වා ගැනීමට වැදගත් වන ශ්වසන හා හෘද ස්පන්දනය වැනි ප්‍රධාන ක්‍රියාවලිවලටත් බාධා පැමිණීම සිදු වේ. අවසානයේ දී මොළය මිය යාම ( Brain Death ) පවා සිදු විය හැකි ය. ප්‍රවේගකාරී ක්‍රීඩා අතරතුර දී (මෝටර් සයිකල් ධාවන තරඟ, බොක්සිං තරඟ) සිදු වුණු මෙවැනි හදිසි අනතුරුවලින් මොළයට සිදු වන හානි දැනටමත් පුවත්පත් හා ප්‍රවෘත්ති නිවේදනවලින් අසා දැක ඇත.
ක්‍රීඩාවන් සිදු කරන අතරතුර දී මොළයට හානි වීම අවම කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක් ද?
අවදානම් සහිත ක්‍රීඩාවලට සහභාගී වීමේ දී පෙර සුදානමක් වශයෙන් හිස් ආවරණ ( Head Gears) පැළදීමෙන් මෙම තත්ත්වය සෑහෙන දුරට වළක්වා ගත හැකි ය. ක්‍රිකට් ක්‍රීඩාවලදී, මෝටර් රථ ධාවන වලදී හා රගර් වැනි ක්‍රීඩාවලදී විශේෂ හිස් ආවරණ පැළදීම, උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. හිස් ආවරණ පැළඳ සිටිය ද සමහර විට මොළයට සිදු වන හානිය වළක්වා ගැනීමට නොහැකි වන සමහර අවස්ථා අපට දක්නට ලැබේ.
බොක්සිං ක්‍රීඩාවේ දී කාලයක් තිස්සේ නිරතුරුවම හිසට එල්ල වන දැඩි මුෂ්ටි ප්‍රහාර මෙයට උදාහරණ වේ. කාලයක් තිස්සේ බොක්සිං ක්‍රීඩාව කළ මොහොමඩ් අලී ලෝක පුජිත බොක්සිං ක්‍රීඩකයා අවසනයේ මිය ගියේ මොළයට බලපෑ එවන් තත්ත්වයක් වු පාකින්සන් රෝග තත්ත්වය නිසා ය. ( Parkinsonism ) මෙහි දී මොළයේ අභ්‍යන්තර කොටස්වලට ( Basal Ganglia ) කාලයක් තිස්සේ පැවති දැඩි කම්පන තත්ත්වය බලපා ඇත.
මොළයට ක්‍රීඩා අනතුරක් මඟින් බලපැමක් සිදු වී ඇති බවට පරීක්ෂා කිරීම සඳහා වර්තමානයේ නවීන තාක්ෂණික උපකරණ හා පරීක්ෂණ විධි තිබෙනවාද?
ප්‍රථමයෙන් සෑම දෙනාටම හුරු පුරුදු X - කිරණ පරීක්ෂණවලින් හිස්කබලට හානි වී ඇත්දැයි සොයා ගැනීමට හැකියාව ලැබේ. මීට අමතරව විශේෂිත CT පරික්ෂණ හා MRI පරීක්ෂණවලින් මොළයේ මෘදු පටක හා මොළය ආරක්ෂා කරන සිවි වලට සිදු වී ඇති හානිය සවිස්තරාත්මකව සොයා ගත හැක. ඒ අනුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත රෝගියා යොමු කෙරේ.
ක්‍රීඩාවන් සිදු කරන අතරතුරේදී මොළයට වන අනතුරු මඟින් පුද්ගලයෙකුට දීර්ඝ කාලීන බලපෑමක් සිදු වීමට පුළුවන් ද?
ක්ෂණිකව සිදු වන මොළය හෙල්ලීම ( Concussion ) වැනි තත්ත්වලදී සමහර විට තාවකාලිකව ක්‍රීඩකයාට බලපෑමක් සිදු වේ. සිහිමද ගතිය, සිදු වු සියල්ල අමතක වීම( Amnesia) හා වමනය වැනි දෑ සිදු විය හැකි ය. එසේ ම ඉන් ඔබ්බට මොළයට සිදු වන දරුණු ලේ ගැලීම් සහ හිස් කබලේ අස්ථි බිදීමේන් මොළය තුළට කිඳා බැසීම වැනි තත්ත්වලදී ක්‍රීඩකයාගේ සාමාන්‍ය දිවි පැවැත්මට දීර්ඝ කාලීන බලපෑම් ඇති කෙරේ.
යම් පුද්ගලයෙකුට සිදු වූ ක්‍රීඩා අනතුරක් මගින් එම පුද්ගලයා මරණයට පත් විය හැකි ද? ඒ කෙසේ ද?
ක්‍රීඩා අනතුරක් මඟින් දරුණු ලෙස මොළයට බලපෑමක් සිදු වුවහොත් ක්‍රීඩකයාගේ මරණය ද එමඟින් සිදු විය හැකි ය. ඒ සඳහා ලෝකයේ අනිත් රටවල් වලින් මෙන් ම ( මෑතකදී සිදු වුණු ඔස්ට්‍රේලියානු ක්‍රීකට් ක්‍රීඩකයාගේ මිය යෑම ) අප රටෙන් ද උදාහරණ රැසක් මතකයට නැගේ. වසර ගණනාවකට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිය සිටිය දී හිසට වැදුණු තදබල පන්දු පහරක් නිසා මොළයට සිදු වුණු රුධිර වහනයෙන් මිය ගිය දක්ෂ පාසල් ක්‍රීකට් ක්‍රීඩකයා පිළිබඳවත් , මෑතක දී මිය ගිය අපගේ දක්ෂ මෝටර් සයිකල් ධාවන ශූරයා පිළිබඳවත් සඳහන් කළ හැක.
මොළයට ඇතිවන ක්‍රීඩා අනතුරු පිළිබඳව වර්තමානයේ පවතින මිත්‍යා මතවාදයන් ගැන ඔබට කිව හැක්කේ කුමක් ද?
විශේෂයෙන් ම අවේගශීලී ක්‍රීඩාවලදී ( Contact Sports ) හිසට සිදු වන තදබල ප්‍රහාරවලදී එහි බැරෑරුම්කම ගැන සමහර ක්‍රීඩකයන් හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට දැනුමක් නැත. විශේෂයෙන් රගර් වැනි ක්‍රීඩා වලදී අප මෙය අත් දැක තිබේ. හිසට සිදු වන ඝට්ටන ගැන වැඩිදුර තැකීමක් නොමැතිව දිගටම ක්‍රීඩාව පවත්වා ගෙන යාමට ක්‍රීඩකයන් හා ඔවුන් දිරිමත් කරන ක්‍රීඩා ලෝලීන් හා පුහුණුකරුවන් අප කොතෙකුත් දැක ඇත. ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩා වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපැදීම ඔවුන් සිදු කළ යුතු ය. එය දීර්ඝ කාලීනව ආබාධයකින් තොරව ක්‍රීඩාවේ යෙදීමට ඔවුන්ට කරන උපකාරයක් බව ඔවුන් වටහා ගත යුතු ය.
කුඩා දරුවන්ගේ මොළයට ඇති විය හැකි ක්‍රීඩා අනතුරු මගින් බේරීම සඳහා පිළිපැඳිය යුතු කරුණු මොනවා ද?
ලොකු කුඩා භේදයකින් තොරව අවදානම් සහිත ක්‍රීඩාවල යෙදෙන සියලු දෙනාම හිස ආරක්ෂා කරන හිස් වැසුම් පැළදිය යුතු ය. හදිසි අනතුරු කුමන අවස්ථාවක සිදු වෙතැයි ද කිව නොහැකි ය.එම නිසා හිසට සිදු වන සුළු ඝට්ටනයක දී වුවත් විශේෂයෙන් මුල් පැය 24ක කාලය තුළ වෛද්‍ය නිරීක්ෂණයට භාජනය වීම වැදගත් වේ. ඉන් ඔබ්බට කාලය වැදගත් නොවනවා නොවේ. මුල් පැය 24 තුළ දී හිස් කබලට හානියක් වී හෝ නොවී මොළයට සිදු වන අභ්‍යන්තර ලේ ගැලීම් තත්ත්වය මත රෝගියාගේ සායනික තත්ත්වය වෙනස් වේ. එය පළපුරුදු වෛද්‍යවරයෙකුට නිරීක්ෂණය කිරීමට හා රෝග විනිශ්චයක් ලබා දීමට උපකාරී වේ. අවශ්‍ය වුවහොත් ඉක්මනින් ශල්‍ය ප්‍රතිකාරවලට යොමු කර ක්‍රීඩකයා බොහෝ අවස්ථාවලදී සම්පූර්ණයෙන් ම ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට අපට හැකි වේ.
ඇතැම් පුද්ගලයන් මොළයට සිදු වන විවිධ ක්‍රීඩා අනතුරු මගින් අංශභාගය තත්ත්වයට පත් වෙනවා. ඒ ඇයි?
මස්තිෂ්ක අර්ධ ගෝලවලට සිදුවන හානිය අනුව ශරීරයේ එක් අර්ධයක් හෝ දෙපැත්තම ක්‍රීයාකාරීත්වය අඩපණ වීම හෝ නැති වීම සිදු විය හැකි ය. මෙවැනි තත්ත්වයක් තාවකාලිකව හෝ සදාකාලිකව සිදු විය හැකි ය. මොළයට සිදු කරන ශල්‍ය කර්ම මඟින් එකතු වුණු රුධිර කැටි හා බාහිර ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් සමහර අංශභාග රෝග තත්ත්ව සුවපත් කිරීම හෝ පාලනය කිරීමට හැකි වේ.
වර්තමානයේ දැක ගත හැකි ක්‍රීඩා අනතුරු පිළිබඳව හා එම අනතුරු මගින් වැඩිහිටියන්ට හා දරුවන්ට වන හානිය වළක්වා ගැනීම සඳහා ඔබ දෙන උපදේශය කුමක් ද?
හිසට සිදු වන අනතුරු ගැන පැවසිය හැක්කේ ඒවා නොසළකා සිටීම නොකළ යුතු බව ය.කුඩා දරුවන්ගේ විශේෂයෙන් කුමන හෝ ඝට්ටනයක් හිසට සිදු වුවහොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පෙන්වා අවම වශයෙන් පැය 24ක කාලයක් වත් වෛද්‍ය නිරීක්ෂණය යටතේ තිබීම සුදුසු ය. දීර්ඝ කාලීනව සිදු වන බොහෝ ගැටලු මෙමගින් විසඳාගත හැකි ය. සුළු වුවත් හිසට සිදුවන අනතුරකට පසු එම පුද්ගලයා පිළිබඳව විමසිල්ලෙන් සිටීම වැදගත් වේ.රෝගියාගේ සිහිය වෙනස් වේ නම් , දැඩි නිදිමත ගතියට පත් වේ නම් , හිසරුදාව, වමනය, ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇති වේ. එලෙස රෝග ලක්ෂණ ඇති වුවහොත් පමා නොවී සුදුසු ප්‍රතිකාර සහිත (ස්නායු ශල්‍ය වෛද්‍ය පහසුකම් සහිත ) රෝහලකට රෝගියා යොමු කිරීම වැදගත් වේ.එමගින් රෝගියාගේ මොළයට සිදු වන හානිය හා එමගින් ජීවිතයට සිදු වන තර්ජනය බොහෝ දුරට වළක්වා ගත හැකි වේ.
මදාරා මුදලිගේ