
දැයේ දරුවන් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට සුරක්ෂිත සමාජ වටපිටාවක් උරුම කරදීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකම හා වගකීම වේ. 1989 වර්ෂයේදී එළිදක්වන ලද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවද පිළිගෙන ඇති අතර, එය 1991 වර්ෂයේ සිට මෙරට තුළ බලාත්මක කර ඇත. එහි සඳහන් කරුණු අනුව සිය අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් පෞද්ගලිකත්වය රැක ගැනීමට සෑම ළමයකුටම අයිතියක් ඇති අතර, සමාජය විසින් ඒ සඳහා ළමයාට සහය දිය යුතුය.
නමුත් වර්තමානය වන විට කායික, මානසික, ලිංගික හා නොසලකාහැරීම් ආදී වශයෙන් සිදුවන ළමා අපයෝජන සිදුවීම් පිළිබඳ ඇතැම් මාධ්‍යන්ගේ වාර්තාකරණය නින්දා සහගතය. සෑම අවස්ථාවකදීම සෑම ළමයකුගේම ගෞරවයට හා අයිතිවාසිකම් වලට ගරු කළ යුතු සමාජ වපසරියක් තුළ ඇතැම් ජනමාධ්‍ය ආයතන සිය වාණිජ අරමුණු වෙනුවෙන්, අපයෝජනයට පත් වන වින්දිත දරුවන්ගේ අනන්‍යතාවය විකිණීම පිළිබඳව සමාජ විද්‍යාඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු කළ යුතුය.
යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය, කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනය මෙන්ම ආසන්නම සිදුවීම වන හලාවත ඉරණවිල දරුවාගේ ඝාතනය සම්බන්ධ සිදුවීම් ඇතැම් ජනමාධ්‍ය විසින් වාර්තාකරණය කරනු ලැබුවේ සිය ආර්ථික ලාභ අපේක්ෂාවෙනි. සේයා දැරියගේ මව අධිකරණ භූමියේදී සියලු ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ සිය දියණියගේ ඡායාරූප ඉදිරියට ජනමාධ්‍ය තුළ පළ නොකරන ලෙසය. ජනමාධ්‍ය මඟින් සේයා ඝාතනයේ සැකකරුවකු බවට ඇගේ පියා පත් කරමින් මාධ්‍ය වාර්තාකරණයක යෙදුණු අවස්ථාවන්ද අපට තවමත් මතකය. එමෙන්ම පාසල් ශිෂ්‍යයෙකුද එම සිදුවීමට සම්බන්ධ කරමින් මාධ්‍ය වාර්තා පලකරන ලදී.
නමුත් විමර්ශන අවසානයේ ඝාතකයා වෙනකෙකු බවට පත්විය. ඒ වන විට සැකකරුවකු ලෙස පීඩාවට පත් කරන ලද පාසල් ශිෂ්‍යාගේ ජීවිතය ජනමාධ්‍ය මඟින් විනාශ කර හමාරය. යාපනය විද්‍යා දැරිය දූෂණය කර මරා දමන ලද සිදුවීමේදී ඇගේ නිරුවත් ඡායාරූප පවා වෙබ් අඩවි ඇතුළු ජනමාධ්‍යයේ පල විය. ඇගේ පියා මේ වන විට මානසික ආතතියට පත්ව මානසික රෝගියකු බවට පත්ව ඇත.
ආසන්නම සිදුවීම වන ඉරණවිල දරුවාගේ ඝාතනයේදී මෙරට එක් පුවත්පතක් වෙනත් දරුවකුගේ ඡායාරූපයක් විශාල ලෙසින් පලකර, දින දෙකකට පසුව නැවතත් නිවැරදි කර පල කරන ලදී. මිය ගිය දරුවා විකුණා හෝ මඩිය තරකර ගැනීම මාධ්‍ය කලාව නොවිය යුතුය.
මෙවැනි සිදුවීම් වලදී මෙරට ඇතැම් ජනමාධ්‍යන්ට අවශ්‍ය වූයේ නැවත එවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන යාන්ත්‍රණය පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය කිරීම නොවේ. ඔවුනට අවශ්‍ය වූයේ අදාළ සිදුවීම් වල කුණු රසයත්, වින්දිතයාගේ ඡායාරූපත් පමණි. මෙවැනි වාර්තාකරණයන් හරහා සමාජය ඉදිරියේ වින්දිත ළමයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් නොමරා මැරීම සිදුකිරීම කිසි ලෙසකවත් අනුමත කළ නොහැක්කකි.
ළමා වින්දිතයන්ගේ මෙන්ම ළමා සැකකරුවන්ගේ අනන්‍යතාවය හෙළිදරව් වන ආකාරයෙන් ඔවුන්ගේ ඡායාරූප පල කිරීම, වීඩියෝ ප්‍රදර්ශනය කිරීම, පවුල් පසුබිම ඇතුළු සමීප තොරතුරු වාර්තා කිරීම කිසිලෙසකත් ජනමාධ්‍ය වාර්තාකරණයේදී නොකළ යුතු අතර, ගවේෂණාත්මක වාර්තාකරණයක යෙදෙමින් සත්‍ය කරුණු පමණක් වාර්තා කිරීමට ජනමාධ්‍ය වගබලා ගත යුතුය. අනික් පසින් ඇතැම් ජනමාධ්‍ය අධිකරණයේ භූමිකාව ඉටුකිරීමට යාම හාස්‍යයට කරුණකි. යම් සිදුවීමකදී වරදකරුද නිවැරදිකරුද යන්න තීරණය කිරීම අධිකරණයේ කාර්ය භාරයක් වන අතර, වර්තමානයේදී ජනමාධ්‍ය මඟින් පූර්ව විනිශ්චයන් ලබා දීම හරහා එයද ඉටුකරනු දක්නට ලැබේ. සේයා දැරිය ඝාතනයේදී පාසල් දරුවකු වරදකරු බවට පත් කරමින් පූර්ව විනිශ්චයන්ට එළඹ ජනමාධ්‍ය විසින් තොරතුරු වාර්තාකරණය කිරීම මීට හොඳම නිදසුනයි.
මෙවැනි වාර්තාකරණයන් පිළිබඳව මාර්ගෝපදේශයන් මෙන්ම ආචාරධර්ම සංග්‍රහයන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැනි ආයතන මඟින් හඳුන්වා දී තිබුණද ඒවා අනුගමනය නොකිරීමට ඇතැම් ජනමාධ්‍ය කටයුතු කිරීම කණගාටුවට කරුණකි. මෙම කාරණයේදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් ඇත. එනම් සිය ළමයෙකු අපයෝජනයට ලක් වූ අවස්ථාවක මෙවැනි වාර්තාකරණයක යෙදෙන ජනමාධ්‍යවේදීන් මෙපරිද්දෙන්ම කටයුතු කරයි ද යන්නයි. තම දරුවන් සේම අන් දරුවන් පිළිබඳව ද සිතා වාර්තාකරණයක යෙදෙන්නේ නම් කිසිවිටකත් මෙවැනි තත්වයන් උද්ගත නොවේ.
ළමයින් හා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වාර්තාකරණය කිරීමේදී ජනමාධ්‍යන් මීට වඩා සංවේදී සහ ආචාරශීලී විය යුතුය. අපයෝජනයට පත් වූ දරුවන් සමාජය ඉදිරියේ නැවත වරක් පීඩාවට ලක් කිරීමට සිය පෑන මෙහෙය නොවිය යුතුය. ජනමාධ්‍ය මඟින් සිදුකළ යුත්තේ නැවත එවැනි තත්වයන් ඇතිවීම වැළක්වීම සඳහා අවශ්‍ය කරන පසුබිම සාමාජීය වශයෙන් කතිකාවට ලක් කිරිමය. ළමා අපයෝජන වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් සමාජ ගත කිරීමය. ළමයින් මාධ්‍ය මඟින් විකිණීමේ ප්‍රතිපත්තිය පසෙකලා ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් අවශ්‍ය කරන වෙනස්කම් හඳුන්වාදීමය.
තොරතුරු හා මාධ්‍ය නිලධාරී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
එච්.ඩී.ඊ. ගුණසේකර