පොලිසිය කෝ | Page 4 | සිළුමිණ

පොලිසිය කෝ

 ‘ඉස්සර හැමෝගෙම හිතේ කොමිෂන් සභාවක් තිබුණා’

’හිතේ කිව්වේ?’

’හිත ඇතුළේ කොමිෂන් සභාවක් තිබුණා’

’හිත ඇතුළේ?’

‘ඔව්, ඉස්සර හැමෝගේ ම හිතේ අධිකරණයක් තිබුණා’

‘හිත ඇතුළේ අධිකරණයක් තිබුණා?’

‘ඔව්, හැම එකකටම අලුත්කඩේට දුවන්න වුණේ නෑ’

‘දැන් හැමෝගෙම හිත තියෙන්නෙ අලුත් කඩේ’

‘ඉස්සර හැමෝගෙම හිතේ පොලිසියක් තිබුණා’

‘එතකොට වරදක් කරන්න කලින් හිත ඇතුළේ තිබුණ පොලිසිය කිව්වා ඕක කරන්න එපා

කියලා’

‘ඔව්, දැන් වගේ හැම එකකටම පොලිසියට දිව්වේ නෑ’

‘ඉස්සර හැමෝගෙම හිතේ ගුරුවරයෙක් හිටියා’

‘ගුරුවරයෙක්?’

‘ඔව්, එයා තමන්ටත් හොඳ නරක ඉගැන්නුවා, අනුන්ටත් හොඳ නරක කියලා දුන්නා’

‘ඉස්සර හැම හිතකම දෙවියෙක් හිටියා’

‘දැන් දේව රූපනම් ඕනෑ තරම් පි‍්‍රන්ට් කරලා තියෙනවා’

‘ඔව්, බොහෝ වෙලාවට දැන් රූපවල විතරයි දෙවියෝ ඉන්නේ’

‘පොලිසියක් තියෙන්නේ ආසනේකටම එකයි නැත්නම් දෙකයි’

‘ඒ පොලිසියටම හැම හොරෙක්ම අල්ලන්න බෑ’

‘ඒත් හැම හිතකම පොලිසියක් තියෙනකොට හැම ගමක් ගානේ ම පොලිසියක් තිබුණේ නෑ

කියලා අඩුවක්වුණේ නෑ’

‘හිත්වල පොලිසියක් නැත්නම් ගමක් ගානේ පොලිසි තිබුණත් වැඩක් වෙන්නේ නෑ’

‘ඒ වගේ දෙයක් තමා රටට තියෙන්නේ’

‘මේ ප්‍රශ්නේ විසඳන්න කොමිෂන් සභාවක් පත්කරමුද?’

‘හිත්වල තිබුණ පොලිසි, අධිකරණ, කොමිෂන් සභා අහෝසි වුණේ කොහොමද කියන ඊට ඉස්සෙල්ලා හොයන්න ඕනැ’

’තමන්ගේ හිත්වල පොලිසියක් නැති රටක හොරු අල්ලන එකත් අමාරුයි’

’කොහොමද රටකට එහෙම වුණේ’

’කොහොමද හැම හිතකම ආයේ පොලිසියක් පිහිටුවන්නේ?’

’කොහොමද හැම හිතකම ආයේ කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ?’

’බැරූරුම් ම ප්‍රශ්නවලට සරල පැහැදිලි උත්තර නෑ’

සිහිනෙන් මා පැටලී ඇත්තේ සිහිනෙන්වත් පිළිතුරු ලබාගැනීමට නොහැකි ගැටළුවක බව

මට කල්පනාවූයේ සිහියෙන් ද අවදියෙන් ද යන්න මට ම සැක සහිතය.

Comments

පිටු