දුම්රියේ හොරෙන් ගිහින් කෝටි දෙක හමාරක දඩ ගෙවති | සිළුමිණ

දුම්රියේ හොරෙන් ගිහින් කෝටි දෙක හමාරක දඩ ගෙවති

දුම්රියේ ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් ගත් මඟීන් 16341 කගෙන් රුපියල් දෙකෝටි පනස් එක් ලක්ෂ තිස් හයදහස් අටසිය අසූවක (25136880.00) දඩ මුදලක් අය කරගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි‍. දුම්රිය වාණිජ අධිකාරිවරයා යට‍තේ ඇති සංචාරක ප්‍රවේශ පත්‍ර හදිසි වැටලීම් අංශය මඟින් කරන ලද පරීක්ෂාවන්ගෙන් ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් ගත් මඟීන් හා 3 වන පංතියේ ප්‍රවේශ පත්‍ර මිල දී ගෙන 2 වන පංතියේ ගමන් ගත් මඟීන් 14809කගෙන් රුපියල් 20374822.00ක් අය කරගෙන ඇතැයි දුම්රිය වාණිජ අධිකාරි ජී.ඩබ්ලිව්. සිසිර කුමාර මහතා සිළුමිණට කීය.

ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේ කලාප තුනෙන් වැඩිම පිරිසක් ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් කර ඇත්තේ කොළඹ කලාපයෙන් වන අතර අනුරාධපුර කලාපය දෙවන තැනට පත්ව ඇති අතර තුන්වන තැනට පත්ව ඇත්තේ අනුරාධපුර කලාපයයි. එසේම ආරක්ෂක සේවා අධිකාරි අනුර ප්‍රේමරත්න පවසන්නේ තමා යටතේ ඇති ආරක්ෂක අංශ මඟින් ප්‍රවේශපත්‍ර රහිතව හා 3 වන පංතියේ ප්‍රවේශපත්‍ර ගෙන 2 වන පංතියේ ගමන් ගත් මඟීන් 1532ක් අත් අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් රුපියල් 4762058.00ක් දඩමුදල් ලෙස අය කරගත් බවයි. දඩ මුදල් ගෙවීමට අපොහොසත් වන මඟීන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බවද ඔහු කීය.

Comments