පළාත් කිහිපයකම දැඩි නියඟයක් එන ලකුණු | සිළුමිණ

පළාත් කිහිපයකම දැඩි නියඟයක් එන ලකුණු

උතුරුමැද, වයඹ, උතුර, නැගෙනහිර, පළාත්වලට දැඩි ජල හිඟයක් සහිත නියඟයක් එන ලකුණු පහළ වෙමින් පවතින බවද, ඒ අනුව ඉදිරි යල කන්නයේ කෙත් වතු අස්වැද්දීම් අපහසු වනු ඇතැයිද මෙරට වාරි විශේෂඥයෝ හා කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

දැනටමත් අපේ රටේ පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව හා වවුනියාව යන ප්‍රදේශවල දැඩි නියඟ තත්ත්වයක් ඇති බවත් ඉන් පුද්ගලයන් ලක්ෂ 3ක් පමණ පීඩාවට පත්ව සිටින බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වගා කන්න 4ක් පමණ වැස්ස හරිහැටි නොතිබීම නිසා මෙන් ම වැව්වල ජල සංරක්ෂණයට නිසි කළමනාකරණ ක්‍රමවේදයක් ‍ක්‍රියාත්මක නොවීම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලාංකික උපදේශක (ජල කළමනාකරණ) ආචාර්ය පී.බී. ධර්මසේන මහතා පවසයි. වත්මන් කාලගුණ තත්ත්වය අනුව වැස්ස ලැබුණත් වියළි කලාපයේ කුඩා වැව් මධ්‍යම වැව් හා මහ ජලාශ සම්පූර්ණ ලෙස පිරීමට නම් සැප්තැම්බර් මස වන තෙක් සිටීමට සිදු වනු ඇතැයි ධර්මසේන මහතා කියයි. මේ අනුව ඉදිරි යල කන්නයට ජලය හිඟවන බවත් ආංශික රොන්මඩ හරණ සංකල්පය යන වැඩපිළිවෙළ මත හා කුඩා හා මධ්‍යම පරිමාණ වැව්වල ඇති රොන්මඩ ඉවත් නොකිරීම ජල හිඟයට ප්‍රධාන හේතුව බවත් ආචාර්ය ධර්මසේන පෙන්වා දෙයි. මේ වැඩපිළිවෙළ මීට වසර ගණනාවකට පෙර ධර්මසේන මහතා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට හඳුන්වා දී තිබේ. පෙබරවාරි 23 වැනිදා වනවිට විදුලි බල ජලාශවල ජල මට්ටම ඉතා අඩුවී ඇතැයිද මේ නිසා ජල විදුලි නිෂ්පාදනය අඩුවී ඇති බවද විදුලිබල මණ්ඩලයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. ජලය මඟින් විදුලිය නිපදවීම සිකුරාදා වනවිට 15 දක්වා පහළ බැස තිබූ බවද ඔහු කීය.

23 වැනිදා වන විට කොත්මලේ ජලාශයේ තිබුණේ තිබිය යුතු ධාරිතාව මෙන් සියයට 31 ක් පමණි. රන්ටැඹේ ජලාශයේ විදුලිය නිපදවීමට තරම් අවශ්‍ය ජලය නොතිබිණි.

රන්දෙනිගල ජලාශයේ තිබුණේ සියයට 48 කි. සමනලවැව සියයට 39 කි. ඊට අමතරව කවුඩුල්ල ජලාශයේ තිබුණේ ජල ප්‍රමාණයෙන් සියයට 13 ක් පමණි. කන්තලේ සියයට 23 කි. තිසාවැවේ සියයට 19 කි. නුවරවැවේ සියයට 22 ක් දක්වා අඩුවී තිබුණු අතර හුරුලුවැවේ ජල මට්ටමින් සියයට 20 දක්වා අඩුවී තිබිණි. මෙරට විශාලතම ජලාශය වූ සේනානායක සමුද්‍රයේ ජල මට්ටම මේ දිනවල සියයට 18 ක් දක්වා අඩුවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

 

Comments