මුදල් සොයන්න මිථ්‍යාව විකුණන්නේ නෑ | සිළුමිණ

මුදල් සොයන්න මිථ්‍යාව විකුණන්නේ නෑ

 ජාතික රූපවාහිනි සභාපති නීතිඥ රවී ජයවර්ධන

• මිනිසකුගේ ආයු කාලය හා සැසඳුවොත් වසර තිස් හයක් කියන්නේ මැදි වයසට එලඹෙන කාලය?

ඔව්. අපි ඒ වයසෙදි විවිධ අරමුණු ඉටුු කර ගන්නවා. ඇතැම් ඉලක්කයන් සපුරාලනවා. ඒ වගේ ජාතික රූපවාහිනියත් මේ වන විට ආයතනයක් ලෙස තමන්ගේ ඉලක්ක සපුරාගනිමින් මුහුකුරා ගිය ජාතික මෙහෙවරක යෙදෙනවා. අප සෑම සංවත්සරයක් වගේම ඉතා අභිමානයෙන් සමරනවා. තිස්පස්වැනි සංවත්සරයත් අපි දින පහක් සැමරුවා. මේ සංවත්සරය අතිශයින් වැදගත් නිසයි රූපවාහිනී ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අයුරින් දින දහයක් පුරා සමරන්න අප තීරණය කළේ.

• ඒ තරම් සැමරුමක් සඳහා ළඟා කරගත් ඉලක්ක මොනවාද?

ජාතික රූපවාහිනියට දැනට තිබෙන්නෙ නාළිකා දෙකයි. රූපවාහිනී සහ නේත්‍රා සමඟ අයි පොදු නාළිකාව. සංවත්සරයට සමගාමීව අපට අලුත් නාළිකාවක් ලැබෙනවා. 2000 වසරේ පමණ ස්ථාපනය කළ අයි නාළිකාව ඉංග්‍රීසි සහ දෙමළ වැඩසටහන් සඳහා පොදුවේ භාවිත වුණා. ඒ පොදු නාළිකාව වෙනුවට නේත්‍රා 'සංහිඳියාවේ නාළිකාව' ලෙස වෙනස් වෙනවා. එය අපේ දෙමළ ජනතාවට පූර්ණ කාලීනව නැරඹිය හැකි නාළිකාවක් බවට පත් වෙනවා. මොකද ජාතික නාළිකාවක් ලෙස දෙමළ ජනතාවටම නාළිකාවක් නොතිබීම අඩුපාඩුවක්. මේ නිසා ඔවුන් වෙනම සංස්කෘතියක් ඇති දකුණු ඉන්දියානු නාළිකා නැරඹීමට පුරුදු වෙලා. දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කතා කරන, සංහිඳියාව ගැන කතා කරන අපි මේ ගැන මෙතෙක් අවධානය යොමු කළේ නෑ. ඒ නිසයි මිලියන 180ක වියදමින් මෙය කළේ. අයි නාළිකාව ක්‍රීඩා මූලික කරගත් එකක් බවට පෙරැළෙනවා. අපිනේ ක්‍රිකට් තරග සියල්ල පෙන්වන්නේ...ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වගේම මෝටර් රේස්, බයිසිකල් තරග පෙන්වන්නේ අපි. ඉතින් 'eye' අකුරු තුනෙන් නියෝජනය වන අධ්‍යාපනය, තාරුණ්‍යය සහ විනෝදාස්වාදය සමඟ ක්‍රීඩාව ඉලක්ක කරගත් නාළිකාවක් බවට එය පත් වනවා. එවිට අපේ නාළිකා ගණන තුනක්. ඊළඟට අපි අවරුදු තිස් තුනකට පස්සේ ජාතික රූපවාහිනිය තුළ අලුතින් ප්‍රවෘත්ති මැදිරියක් ස්ථාපනය කළා. ජපන් රජයෙන් අපට බාරදුන් පසු කිසිම මැදිරියක් අප මෙතෙක් තනා තිබුණේ නෑ. ඒත් මෙය සමඟ මැදිරි ගණන හතරයි. ඒවගේම රූපවාහිනී නාළිකාවක් තමන්ගේ ප්‍රධාන කාර්යාලයෙන් පිටත ඉදි කරන පළමුවැනි මැදිරි සංකීර්ණය බවට අපේ යාපනයේ සංකීර්ණය පත් වෙනවා.

•දින දහයක් විශේෂයෙන් රටට ලබා දෙන පණිවිඩ මොනවාද?

ජාතික රූපවාහිනිය විදිහට ආයතනයක් සපුරා ගත යුතු විශාල ඉලක්ක යථාර්ථයන් බවට පත් වුණු වසරක් නිසා පෙබරවාරි 13 වැනිදා සියලු ආගමික ස්ථාන වෙත ගොස් සර්වාගමික වැඩසටහනක් පවත්වනවා. ඉන් පසු 14 වැනිදා රූපවාහිනියේ උපන්දිනයේදී සංස්ථාව ආරම්භයේ සිට සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වා පසු දින හීල් දානය සූදානම් කරනවා. එදාම දවල් ජනමාධ්‍ය ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මා කියූ නව ප්‍රවෘත්ති මැදිරිය විවෘත කෙරෙනවා. අප ජාතික රූපවාහිනිය ලෙස සෑම වසරකම රටේ සංස්කෘතික වටිනාකම් ඇති අංගයන් ඉදිරිපත් කළා. මෙවරත් 16 වැනිදා ඒ අපෙන් ඈත් වී යන සංස්කෘතිකාංගයන් සංරක්ෂණය වෙනුවෙන් 'සොකරි' තෝරාගෙන එය අප පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කරනවා. සියලු නාළිකා වාණිජවාදී රැල්ලක යද්දි අප මේවා අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගත යුතුයි කියන අරමුණේ ඉන්නවා.

17 වැනිදා අපේ කාන්තාවන් වෙනුවෙන් නුගසෙවණ ඉදිරිපත් කරන ඉවුම් පිහුම්, රූපලාවණ්‍ය, මෝස්තර ශිල්පය ආදිය ගමට ගෙන යෑම සඳහා පඬුවස් නුවර සිට කෙරෙන වැඩ මුළුවක් සංවිධානය කළා. එදා රාත්‍රියේ සංගීත ප්‍රසංගයකුත් එහිදීම පැවැත්වෙනවා. අපි අපේ සංස්ථාව හරිත මාධ්‍ය නාළිකාවක් බවට පත් කිරීම දැනටමත් ආරම්භ කර තිබෙන්නේ. අපේ විදුලිබලය සූර්ය කෝෂවලින් ගන්න කටයුතු කරගෙන යනවා. අපේ ගෙවත්ත සැලසුම් කර තිබෙනවා. කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතියක් කරගෙන යනවා. මේ ආයතන පරිශ්‍රය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත් කර තිබෙනවා. මේ දේවල් සමඟ සොබා දහමට ආදරය කරන ආයතනයක් ලෙස පරිසරය රැක ගන්නා හොඳ පුරුදු මොනවාද කියා පෙන්වා දෙන 'ග්‍රීන් ශ්‍රී ලංකා' පරිසර ව්‍යාපෘතිය 18 වැනිදා ඉරිදා දියත් කරනවා.

අපේ රටේ දිනකට මාර්ග අණතුරුවලින් ජීවිත 8 ක් අහිමි වනවා. මේ තත්ත්වය වළක්වන්න 2016 සිට අප ගත් මාර්ග ආරක්ෂණ පියවර තමයි 'පරෙස්සමින් ගිහින් එන්න' ව්‍යාපෘතිය. ජනතාවගේ ගෞරවාදරයට පත් වූ එයට සමගාමී විශේෂාංගයක් කුලියාපිටියේදී පැවැත්වීමට 19 වැනිදා යොදාගෙන තිබෙනවා.

20 වැනිදා අපට වැදගත් වන්නේ ජනාධිපතිතුමන් අතින් සංහිඳියාවේ නාළිකාව නේත්‍රා දියත් කෙරෙන නිසයි. පසුදා අපේ සේවක සේවිකාවන්ගේ සුහදතාව වර්ධනය කෙරෙන සුහද හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 22වැනිදා 'දරුවන් පණ මෙන් සුරකිමු' අපේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2015 වසරේ පැය දොළහක වැඩසටහනක් සමඟ ආරම්භ කළ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කර තිබෙන්නේ. ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කාර්ය සාධක බලකායකුත් ඇති කළා. එහි දෙවැනි අදියර ලෙස අපි 'ඇප්-එකක්' හඳුන්වා දෙනවා. අද බොහෝ දරුවන් විවිධ හේතු මත සිය දිවි නසා ගැනිම වැනි පියවරවලට යොමු වෙනවා. මේ ඇප් එක බාගත කරගන්න කියා අප ඉල්ලා සිටිනවා. දරුවකුට යම් ගැටලුවක් ඇති වුණු අවස්ථාවක එය ළමා ආරක්ෂණ අධිකාරිය සමඟ සන්නිවේදනය කර ගත හැකි වන ආකාරයට නිර්මාණය කර තිබෙන නිසා එයින් යහපත් ප්‍රතිඵලයක් ඇති කිරීමයි අපේ අරමුණ.

23වැනිදා දෙමළ සංස්කෘතික අංගයකින් අපේ සැමරුම අවසන් කරන්න බලාපොරොත්තු වනවා.

• තවත් අවධානය යොමු වූ අංශ තිබෙනවාද?

ඔව්. මාර්තු පළමුවැනිදා අපි සිරිපාද ගමන ඉතා බැති සිතින් යුතුව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම උදා වන අලුත් අවුරුදු උලෙළ අති උත්කර්ෂවත් අන්දමින් සමරමින් විකාශය කිරීමටත් ඉන් පසු එලැඹෙන වෙසක් මංගල්‍යය බුද්ධගයාවේ සිට ඉදිරිපත් කිරීමටත් අප සැලසුම් කර තිබෙන්නේ. මේ අයුරින් අපේ ප්‍රේක්ෂකයන් අතරට ගොස් ඉතා සක්‍රීයව ඔවුන් සමඟ සම්බන්ධ වී ඉදිරිපත් කරන වැඩසටහන් රාශියක් මේ වසරේ අප සූදානම් කර තිබෙනවා.

• අද රූපවාහිනී ක්ෂේත්‍රයේ බහුලව විකාශය වන ටෙලි නාට්‍ය හා රියැලිටි වැඩසටහන් සම්බන්ධව ඔබගේ අදහස?

අද තිබෙන වාණිජවාදී සමාජයත් සමඟ මේ රටේ නාළිකා බොහොමයක් ඒ රැල්ලට ඇදිලා යනවා. ඒත් අපට එහෙම යන්න අවශ්‍ය නෑ. ඉන්දියාවේ දූර්දර්ශන්, ජපානයේ එන්එච්කේ, පකිස්තානයේ පීටීවී වැනි වෙනස් කාර්යයක් තමයි අපට පැවරී තිබෙන්නේ. ඒ නිසා තමයි අපි රාත්‍රී 7-8 ගුවන් කාලය වෙනත් නාළිකා සම්පූර්ණයෙන් බාල බොලඳ වැඩසටහන් සඳහා වෙන් කරද්දී ඊට හාත්පසින් වෙනස් වූ අන්තර්ජාතික වාර්තා වැඩසටහන්, හිත ළඟ හත, මහෝගය ආදී පැයේ වැඩසටහන් සඳහා යොදවන්නේ. ඒ අපේ උඩුගං බලා යාමේ එක අංගයක්. අපට අවශ්‍ය මුදල් ඉපයීමම නෙවෙයි. ජනතාවට හොඳ දෙයක් දීමයි අපේ රාජකාරිය.

අප පැරැණි ටෙලිනාට්‍ය යළි විකාශය කළා. ඒවාට හොඳ ප්‍රතිචාරත් ලැබුණා. වර්තමානයේ බාල ටෙලි නාට්‍ය නිසා හෙම්බත් වී සිටින ජනතාවට සහනයක් සලසන්නත් අපට තිබුණු හොඳ ටෙලිනාට්‍ය සම්ප්‍රදාය පිළිබඳ ඒ කර්මාන්තයේ නියැලෙන්නන්ට මතක් කර දීමත් තමයි එහි අරමුණ වුණේ.

අනෙක, සමහර නාළිකා හක්ගෙඩි, නූල් බෝල කරකවමින් සල්ලි හොයද්දි අපි යථාරූප මඟින් මේ මිථ්‍යාවන්ට එරෙහිව පාඨක අවබෝධය ඇති කරනවා. කිසිම නක්ෂත්‍රකාරයකුට, කිසිම හක්ගෙඩිකාරයකුට, කිසිම නූල්කරකවන්නෙකුට මේ පරිශ්‍රයට එන්න බෑ. පට්ටපල් බොරු කියන ජ්‍යෝතිෂ කාරයින් ගෙන්වාගෙන අපි මුදල් හම්බ කරන්නේ නෑ. මොකද මේ ව්‍යසනයෙන් ජනතාව එළියට ගන්න ඕනා.

• එතකොට 'රෙටිංස්'වලට මොකද වෙන්නේ?

රේටිංස් දිහා බලාගෙන වැඩසටහන් කළ යුතු නෑ කියන එකයි අපේ විශ්වාසය. මොකද ඔය වගේ වැඩසටහන්වලින් රේටිංස් හදලා මේ රටට සත පහකවත් වැඩක් වෙයි කියලා අප හිතන්නේ නෑ. ඇත්තම කතාව දැන් රේටිංස් වුණත් තමන්ට ඕන විදිහට වෙනස් කරලා මුදල් හම්බ කරන ව්‍යාපෘතියක් බවට පත් කරලයි තිබෙන්නේ. දැන් සමහර නාළිකා එයින් ඈත් වීගෙන යන්නේ එහි වලංගුබවක් නැති නිසායි.

• අපට පරණ ටෙලි නාට්‍ය හැමදාම පෙන්වන්න බෑ. ක්ෂේත්‍රයේ දියුණුවක් තිබිය යුතුයි?

අපි ඇත්තෙන්ම ප්‍රමිතියකින් යුතු නාට්‍ය අලුතෙන් හදන්න පටන් ගත්තා. තුනක් වැඩ අවසන් තව එකක් පටන්ගෙන තිබෙනවා. ඒත් අපම එය කරගෙන යෑම සාධාරණ නෑ. එළියේ තිබෙන කර්මාන්තයටත් අප අත දිය යුතුයි. එහෙත් අප නාට්‍ය මිල දී ගන්නේ නැරඹුම් මණ්ඩලයක් මඟින් අනුමත කළ පසුවයි. ඉස්සර වගේ ගස් යට ගල් යට ගණන් කතා කරලා නාට්‍ය ගන්න ක්‍රමයක් දැන් නෑ. අපි දැන් ඒ කටයුතු කරන්නේ යම් විධිමත් ක්‍රමවේදයකට අනුවයි. ඒ වුණත් ටෙලි නාට්‍ය මතම යැපෙන්නත් අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ. විශේෂයෙන් මෙගා නාට්‍ය, පිටරටින් ගෙන්වන ටෙලි නාට්‍ය අප බාර ගන්නෙම නෑ. අපේ සංස්කෘතියට ගැළපෙන ඒවා විතරයි අප විකාශය කරන්නේ.

• ඕනෑම වැඩසටහනක වෙළෙඳ දැන්වීම් නිසා ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනයට සිදුවන බාධාව පිළිබඳ ඔබේ නාළිකාවෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වනවාද?

අද කාලේ වෙළෙඳ දැන්වීම් නැතිව නාළිකාවක් පවත්වාගෙන යෑම ලේසි නැති නිසා ඒ සම්බන්ධව ලොකු බලපෑමක් කිරීමට අපටත් අපහසුයි. ඒත් හොඳ ගීතයක්, කතාවක් මැද්දෙන් බාධා වන ආකාරයට ඔරලෝසුවක් දාන එක වළක්වන්න අප කටයුතු කරගෙන යනවා. මොකද මම මේ සංස්ථාවේ සභාපතිධුරයට අමතරව ලංකාවේ සියලු රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය නියෝජනය වන 'විද්‍යුත් මාධ්‍ය නාළිකා හිමියන්ගේ සංසදයේ'ත් සභාපතිවරයා වශයෙන් තෝරා පත් කරගෙන තිබෙනවා. ග්‍රාහක ජනතාවගේ රසවින්දනයට බාධාවන මේ වේලාව දැක්වීම නවත්වන්න ඒ සංසදයෙන් උත්සාහ කරනවා.

• පසුගිය කාලයේ රූපවාහිනිය පාඩු ලබන බවට කතා පැතිරුණා?

ඔව්. ඒ 2014 වන විට තිබුණු තත්ත්වය. ඒ වෙද්දි රූපවාහිනිය තනි පාරක ගිහින් ජනතාවගෙන් ඈත් වෙලයි තිබුණේ. පළමුවැනි වතාවට තමයි ඒ කාලේ රූපවාහිනිය පාඩු ලැබුවේ. දැන් අප ඒ පාඩුව අවම කරලා ජූනි මාසය වන විට ලාභ ලබන්න පුළුවන් මට්ටමට ගෙනත් තිබෙනවා.

• මොකක්ද තනිපාරක ගියා කියන්නේ?

ජනතාව රූපවාහිනියෙන් ඈත් වුණේ ඒක පාර්ශ්විකව පුවත් ප්‍රචාරය කිරීම නිසා. ඒත් දැන් සියලු දෙනාට මේ නාළිකාවේ දොරටු විවෘතව තිබෙනවා. 'ඇත්ත නැත්ත' වැඩසටහන උදාහරණයක් ලෙස ගත්තොත් පක්ෂ හතරටම අවස්ථාව දී තිබෙනවා. එහෙම දෙයක් කලින් තිබුණෙ නෑ.

• ඔබට තිබෙන අභියෝග ලෙස දකින්නේ?

රූපවාහිනී ක්ෂේත්‍රයටම බලපාන දෙයක් තමයි ඉදිරි කාලේ තිරයෙන් පමණක් දකින දේවල්වලින් මුදල් හම්බ කරන්න බෑ. අප වෙනත් ක්ෂේත්‍ර වෙත යොමු විය යුතු වනවා. ඩිජිටල් මාකටින් යුනිට් එකක් වෙනමත් ඉවෙන්ට් මැනේජ්මන්ට් යුනිට් එකක් සහ අන්තර්ජාතික ඒකකයක් ආයතනය තුළ පිහිටෙව්වේ එ් ඉදිරි අභියොගවලට මුහුණ දීමේ අරමුණින්. සමහර විට අනාගතයේ තව තවත් නාළිකා වැඩි වන්න පුළුවන්. විදේශ නාළිකා එන්නත් පුළුවන්. එවිට අප තිරය මතම නොයැපෙමින්, මුල්‍ය වශයෙන් ස්ථාවර වෙමින් වඩාත් හොඳ මට්ටමක පිහිටන්න නම් ඒ සූදානම තිබිය යුතුයි.

• දේශපාලනික වශයෙන් ඔබට ඇති බලපෑම කෙබඳුද?

දේශපාලනික බලපෑම අවම සභාපතිවරයා මම වෙන්න ඇති මොකද ඉස්සර නම් ජනාධිපති කාර්යාලයෙන් හෝ අගමැති කාර්යාලයෙන් එදිනට නියමිත ප්‍රවෘත්ති එව්වාට අද එහෙම දෙයක් වෙන්නේ නෑ. අපට අවශ්‍ය නිදහස තිබෙන නිසා තමයි පසුගියදා රාත්‍රී ප්‍රවෘත්තිවලත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඔහුගේ පුතාත් දකින්න ලැබුණේ. ඒ වෙනස අපි කළා එය තමයි ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව. අප ආවේ යහ පාලනයක් ගැන කතා කරමින්. ඒ යටතේ පැවතුණු දූෂිත තත්ත්වයන් සහ කළමනාකරණයේ අක්‍රමිකතා ඉවත් කරලා ජනතාවගේ ජාතික වස්තුවක් වන ජාතික රූපවාහිනිය ආරක්ෂා කරන්න අඩිතාලම අප යොදා තිබෙනවා.

අරුණි මුතුමලී

Comments