ජයග්‍රහණය ලැබීම විශ්වාසනීයයි | සිළුමිණ

ජයග්‍රහණය ලැබීම විශ්වාසනීයයි

 ආධුනික ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පසුගිය වර ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති අපේක්ෂකයා යැයි සැලකුණේය. එකල ප්‍රතිවාදී කණ්ඩායම සිටියේ එවකට අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සභාපති කරවීමේ සටනේය. එම වර නිලවරණය නොපැවැත්විණි. එය මෙවර පැවැත්වෙද්දී ඩිලාන් පෙරේරා මහතාගේ ස්ථානය හිමිවී ඇත්තේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව අපේක්ෂක රොහාන් ප්‍රනාන්දු මහතාටය. අපි ඔහුගේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළෙමු.

නිලවරණය ගැන මොකද හිතන්නෙ?

ජයග්‍රහණය කරනවා.

ඔබට ඒක විශ්වාසද?

හුඟක් විශ්වාසයි.

ඉන්න කණ්ඩායම ගැන?

ඇත්තෙන්ම හොඳ කණ්ඩායමක් ඉන්නෙ. ඒ ගැන මට ගැටලුවක් නෑ.

අනෙත් පාර්ශ්වය චෝදනා කරනවා දූෂිතයෝ ඉන්න කණ්ඩායමක් කියලා?

කියන්න පුළුවන්. නම් වශයෙන් හෙළිකරන්න කියන්න. එතකොට මම උත්තර දෙන්නම්.

ඇත්තටම කලක් ඔබයි වත්මන් පරිපාලනයේ සභාපතිධූර අපේක්ෂකයා. දැන් විරුද්ධ පාර්ශ්වයේ අපේක්ෂකයා. මොකක්ද මේ විරසකය?

කිසිම විරසකයක් නෑ. මම 1996 ඉඳලා ඔලිම්පික් කමිටුවේ ඉන්නවා. හරියට කවුරුහරි වැඩකරනවා නම් මම ඔවුන් එක්ක වැඩකරනවා. එහෙම නැත්නම් එතැනින් ඉවත් වෙනවා.

ඒ කියන්නේ වත්මන් පරිපාලනය හරියට වැඩකරන්නෙ නෑ කියලද?

මෙහෙමයි 2013 සිට 2016 දක්වා කාලයේ වැඩගැන මම සෑහීමකට පත්වෙන්නේ නෑ.

ඇයි ඒ?

විධායක කමිටුවක් නොමැතිව දෙතුන් දෙනකුගේ හිතුමනාපටය සිද්ධ වුණු වැඩක් එතැන තිබුණේ.

ඒ වුණාට දැන් විගණකාධිපති වාර්තාව ලැබිලා තියෙනවානෙ?

ඒක සැක සහිතයි. විගණකාධිපතිතුමාටත් ඔය අවුරුදු ගණනක වාර්තාවක් හරියට අධීක්ෂණය කරන්න පුළුවන්ද? මම කියන්නෙ ඔය ගැන වෝහාරික පරීක්ෂණයකට යන්න අවශ්‍යයි කියලා.

ක්‍රීඩා ඇමැතිවරයා කිව්වා වෝහාරික පරීක්ෂණ අවශ්‍ය නෑ කියල. අවශ්‍ය නම් ඕනෑ කෙනෙකුට එවැනි දෙයක් දෙන්නත් පුළුවන් කියලා?

අපි ඒ ගැන මහ සභාවක් විදිහට තීරණයක් ගන්නවා. අනෙක ඔලිම්පික් කමිටුව දෙන ඕනෑම වාර්තාවක් සම්මත කරන්න අපේ සූදානමක් නෑ.

ඒ කියන්නේ මේ ගමන නිලවරණයට විගණන වාර්තා සම්මත වෙන්නේ නෑ?

ඔව්.

ඒක නිලවරණයට බලපෑමක් නොවෙයිද?

ඔලිම්පික් කමිටු නීතියට අනුව ඒක ගැටලුවක් නොවෙයි. අනෙක ජාත්‍යන්තර සම්මේලනය ලිපියක් යොමුකරමින් කිව්වා කොහොම හරි නිලවරණය පවත්වන්න කියලා. ගිනුම් පස්සේ විගණනය කරන්න කියලයි ඔවුන් යෝජනා කළේ.

දැන් විගණකාධිපති විගණනය කළ දේවල් එතකොට ඔබලා සම්මත කරන්නෙ නෑ?

නෑ. ඒ ගැන මොකද හිතන්නෙ,

කනස්සල්ලක් තියෙනවා.

මස් රාත්තලම ඉල්ලනවා නේද?

අපි මස් රාත්තල ඉල්ලන්නෙ නෑ. එහෙත් සත්‍ය, සාධාරණත්වය, විනිවිදභාවය ඉල්ලලා ඒක නැති ගිනුමක් සම්මත කරන්න අපිට බෑ. ඒක ෂයිලොක් වීමක් නොවෙයි.

බලයට ආවොත් ඔබ මොනවද කරන්නෙ?

පළමු දේ හොරකම් නොකිරීම.

ඒ කියන්නේ දැන් ඉන්න අය හොරකම් කරනවා කියලද?

මම එහෙම කියන්නෙ නෑ. මට එහෙම චෝදනා කරන්න බෑ. විගණන වාර්තා අනුව බලන්න.

ඒක විතරද ඔබ කරන්නෙ?

නෑ. මම ඔලිම්පික් සංකල්පය වැඩිදියුණු කරන්න ගොඩක් දේවල් කරනවා. විශේෂයෙන්ම අනුබද්ධ සංගම් හා ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යංශය ඒකාබද්ධ කරන වැඩ ගොඩක් කරන්න සූදානම්. දැන් බලන්න ක්‍රීඩා අමාත්‍යංශයට රජයෙන් වාර්ෂිකව ලැබෙන මුදල් ප්‍රමාණයෙන් සියයට හතළිහක් විතර ආපහු මහා භාණ්ඩාගාරයට යනවා. රටේ ක්‍රීඩාව දියුණු කරන්න මගේ ළඟ යෝජනා තිබෙනවා.

ඔබ මේ ක්‍රීඩාවට දේශපාලනය ගේනවා කිව්වොත්?

නෑ. මම කියන්නේ ක්‍රීඩාවට දේශපාලනය අවශ්‍ය නෑ කියලා. ඩිලාන් පෙරේරා මහතා වෙනුවට මම එන්නෙත් ඒ වගේ හේතුවක් නිසයි. ඔහු දේශපාලකයකු වීම හා ක්‍රීඩාවේ පූර්ණ වශයෙන් නිමග්න නොවීම තමයි ඒකට හේතුව.

ඒ වුණාට ඔබේ කණ්ඩායම හැමවෙලාවෙම ක්‍රීඩා ඇමැතිගෙ ඇඳුම අස්සේ හැංගෙනවා. හැම ගැටලුවකටම විසඳුම් සොයන්නේ ඒ විදිහටයි කියලයි පෙනෙන්නෙ?

කවුද කියන්නෙ. අපි කැමැති නෑ ක්‍රීඩාව දේශපාලනීකරණය කරන්න. අපි කියන්නේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් දීපු මුදල් විගණනය විය යුතුයි කියලයි. ජාත්‍යන්තරයෙන් ලැබෙන මුදල් හරියට ගෙන්නාගන්න, ඒවා යොදවන්න, ක්‍රීඩාව නගා සිටුවන්න අපි කටයුතු කළ යුතුයි. මම ඒකට නායකත්වය දෙනවා.

අවසන් වශයෙන් ඔබේ බලය පිළිබඳ කෑදරකමක් නිර්මාණය කළා කියලා කවුරුහරි චෝදනා කළොත් මොකද කියන්නෙ?

පැහැදිලි නෑ.

නිකං හිටපු කෙනකුට ඔලිම්පික් සභාපතිකම පෙන්නලා කෑදරකමක් ඇති කළා කිව්වොත්?

කිසිසේත්ම නෑ. මේකට මම ආවෙ වැඩිදෙනෙකුගේ ඉල්ලීමට. නැතිව මගේ වුවමනාවටම නොවෙයි. මම කැමතියි මගේ ක්‍රීඩාව දියුණු කරගෙන ඉන්න. මම මේ තනතුරට ආවොත් ඒක කිසිසේත්ම මගේ ආර්ථිකයට, සමාජ ජීවිතයට ආභරණයක් නොවෙයි. ඒ නිසා මම මේ එන්නේ ස්වේච්ඡා සේවාවක් කරන්න. එච්චරයි.

ඩබ්. ආර්. කුමාර

Comments