ශ්‍රී ලංකාව නැගිටුවන්නට හතුරුගෙන් රහස් එන්නතක් | සිළුමිණ

ශ්‍රී ලංකාව නැගිටුවන්නට හතුරුගෙන් රහස් එන්නතක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැගිටුවිය යුතු වසරක් ගෙවී ගියේය. පැවැති බොහෝ තරග වලින් අපට හිමිවුණේ අසාර්ථකභාවයය. පිතිකරුවන් වැලේ වැල් නැතිව දැවී ගියේය. ඉඳහිට රිදී රේඛා අඳුරු වලාවන්ගෙන් මතුනොවුණේ යැයි පවසන්නේ නම් එය සදොස්ය. එහෙත් ඒ රිදී රේඛා නිකිණි කොටන්නාක් මෙන් ඇතිවී නැතිවී ගියේය. එහෙයින් ඒවායෙන් සැනසීමකට කිසිදු පුද්ගලයකුට හැකියාවක් ලැබුණේ නැත. වේදනාකාරී පරාජයේ කටුකත්වය වැළඳ ගැනීමට අපට සිදුවූයේ ඒ අයුරිනි. එහි පළමු වෙඩිල්ල ආවේ තේරීම් කමිටුවටය. ඉන් ඔවුන් අසරණවිය. තෝරන්නේ කවුද? තේරුවේ ඇයි? ප්‍රශ්න ගලා එන්නට විය. තේරීම් කමිටුව කළේ රට තුළ සිටින සියලු ක්‍රීඩකයින් අත්හදා බැලීමේ විසඳුමට පිවිසීමය. එයද සාර්ථක වුණේ නැත. එහි අවසන් ප්‍රතිඵලය ඔවුන් පීඩනය දරාගත නොහැකිව සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමය. ඒ අනුව පසුගිය වසරේ අසාර්ථකත්වයේ පළමු බිල්ල සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුවයි. ක්‍රිකට් ලොක්කෝ එම තීරණය සමග එකග වෙමින් නව තේරීම් කමිටුවක් පත්කර දැන්වත් දිනන කණ්ඩායමක් නිර්මාණය වන්නේදැයි ඇඟිලි ගැන්නෝය. එමගින් ඔවුනට එල්ලවන පීඩනයේ වස්දොස් මකා දැමීමට උත්සහ ගත්තේය. එහෙත් තාවකාලික සහනයක් හිමිවුණද ස්ථිර සාර විසඳුමක් නම් ලැබුණේ නැත.මේ අතර ක්‍රිකට් ලොක්කන්ට වැරදි කියා ඔවුන් එළවා දැමීමේ ව්‍යාපාරයක් රට තුළ නිර්මාණය වෙමින් තිබිණි. තත්ත්වය එන්න එන්නම හොඳ නැතිවිය. එකම ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරු වහසි බස් කියාගන්නා තැනට පත්වූහ. ජනතාව ප්‍රකෝපවී ඇතිබවක් පළවිණි. ක්‍රීඩා ඇමැති විවේචනය වන්නටවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය දරණ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා දැඩි දෝෂාරෝපණයට ලක්විය. එය තවත් තිරය පිටුපස තීරණ රුසක් ගැනීමට ඉවහල් වුණේය.

අගමැතිත්, ජනපතිත් යන මුල් පුරවැසියන් දෙදෙනාම ක්‍රිකට් ගැන සංවේදී වූහ. අගමැතිවරයා පාසල් ක්‍රිකට් ගොඩනැංවීම සඳහා වැඩපිළිවෙලක් හදන්නැයි කීවේය. ජනපති චන්දික හතුරුසිංහට ශ්‍රී ලංකාව බාරගන්නැයි ජනාධිපතිතුමා ඉල්ලීය. මෙම සිදුවීම් දෙක තිරය පිටුපස ක්‍රියාත්මක වන කළ පුරවැසි අප්‍රසාදය ක්‍රීඩකයන් දෙසට එල්ල වන්නට විය. කිසිදා සිදුනොවූ ආකාරයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ක්‍රීඩකයන්ට එරෙහි වන ලකුණු පළ කරමින් සිටියහ. ශ්‍රී ලංකාව තුළ තිබූ ක්‍රීඩාවේ ජීව ගුණය ක්‍රීඩා ලෝලීන් තුළින් ගිලිහී යන සලකුණු පහළ වූයේ අපේක්ෂා භංගත්වයට පත්වීමේ උපරිම අගයට ළඟාවීමත් සමගිනි. නායකයා වශයෙන් සිටි ඇන්ජලෝ මැතිව්ස් ඉන් ඉවත්ව නායකයන් කප්පරක් නිර්මාණය කර හිසරදයට කොට්ටය මාරු කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙය ගැටලුවක්ව තිබිණි. කරන්නේ කුමක්දැයි සිතමින් සිටියදී අගමැති දුන් උපදෙස් අසුව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පත්කළ කමිටුව වන මහේල ප්‍රමුඛ කමිටුව වාර්තාවක් ඉදිරිපත් කළේය. ක්‍රීඩා අමාත්‍යවරයාද හේමක අමරසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල කමිටු වාර්තාව ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් ලබාගත්තේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම සහිතව පුහුණුකාර ධූරය චන්දික හතුරුසිංහ මහතාට බාරදුන්නේය.

එහි ප්‍රතිඵලය වූයේ වෙනස්වීම් සීඝ්‍රවීමය. ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ අර්බුද ඇත්තේ නම් ඒවා සොයා බලා දීර්ඝ කාලීන විසඳුම් දිය යුතුය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් නිර්මාණය වන ක්‍රමවේද සකස් කළ යුතුය. ඒ සඳහා දීර්ඝ කාලීන සැලසුම් අවශ්‍ය බවද අපි විශ්වාස කරමු. කෙසේ වෙතත් මෙම ලිපිය ලියන්නේ එවැනි පසුබිමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවේ. හතුරුසිංහගේ ගුරුහරුකම් මත අපේ ක්‍රීඩකයන්ගේ විශ්වාසය වර්ධනය වන ලකුණු ප්‍රකට වීම සම්බන්ධයෙන් හතුරුසිංහට මල් මිටක් පිරිනැමීමටය. සෙනසුරාදා පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට කණ්ඩායම රැගෙන ඒමම ජයග්‍රහණයකි. එහි ප්‍රතිඵලය විශ්ලේෂණය කරන්නට අප මෙම ලිපියෙන් උත්සුක නොවන්නේ එය සිදුකළ නොහැකි හෙයිනි. එහෙත් අවසන් මහා තරගයට එන්නට කණ්ඩායම සමත් වුණේ හතුරු සිදුකළ මූලික එන්නත් බලයෙන් බව අපට විශ්වාසය. ඔහු මේ කාන්දු කළේ මහා බලයක් නොව කණ්ඩායම තුළ විශ්වාසයේ බලයය. ලොකුම වෙනස කළේ එමගිනි. එම බලය මාර්ග කීපයක් ඔස්සේ වැටී තිබිණි. එක විනයය. දෙක යෝග්‍යතාවය. තුන අධිෂ්ඨානයය. හතර විශ්වාසය. පහ තමන් කවුරුන්දැයි නිවැරදිව හඳුනා ගැනීමය. සමගිය බලය වේ යන පණිවුඩය නව පුහුණුකරුවා ඇතිකළේය. පුහුණු උපදෙස් තමන්ගේ හද භාෂාව වන මව් භාෂාවෙන් කියා දීමෙන් තවත් ප්‍රතිඵල උදා කරගත්තේය.

අවසන් වශයෙන් අප මෙම සංසිද්ධියෙන් තේරුම්ගත යුතු දෙයක් ඇත. රටක් වශයෙන් අධිෂ්ඨාන ප්‍රතිබද්ධව කටයුතු කළ හොත් ජයගත හැකි බවය. එය සිදුකළේ ඕස්ට්‍රේලියාවේදී පුහුණුව ලැබූ පුංචි මිනිසා හතුරුසිංහය. එහෙයින් හතුරුසිංහයන්ට අප සැවොම ගෞරව කළ යුතුය. හතුරුකළ වික්‍රමය ක්‍රීඩකයන් තුළම සැඟව තිබූ විභවතාවන් සොයාගැනීමය. සැඟවී තිබූ ජයග්‍රහණයේ පුරුද්ද යළි ඉස්මතු කිරීමය. ‘විනින්ග් ඊස් හැබිට්’ නැතහොත් ජයග්‍රහණය යනු පුරුද්දකැයි ඒත්තු ගැන්වීමය. අපි පුරවැසියන් වශයෙන් අවසන් තරගය දිනුවද පැරදුණද හතුරුගේ මෙම මිතුරු එන්නත ගැන ස්තුති කළ යුතුය. එය සිදුකිරීමට කල් නොගත යුත්තේ ඔහුට ස්තුති කරනවිට තවත් ප්‍රතිඵලය සුබ වන බව නිසැක හෙයින්ය. ඒ මන්දයත් ඇගයීමක් යනු මිනිසාට කළ හැකි හොඳම ප්‍රතිචාර දැක්වීම ලෙස සැලකිය හැකි නිසා ය.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments