වගකීම් අතපසු කළ නිසා නිදහසේ අගය ගිලිහුණා | සිළුමිණ

වගකීම් අතපසු කළ නිසා නිදහසේ අගය ගිලිහුණා

ශ්‍රී ලංකාව මහත් අභිමානයකින් යුතුව 70 වන නිදහස් සැමරුමට සූදානම්ව සිටින මේ අවස්ථාවේ දී අප නිදහස අර්ථපූර්ණ කරගෙන තිබේද යන්න සලකා බැලීම ඉතා වැදගත් ය. 1948 වසරේ දී අප බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් නිදහස ලබාගත්තේ සියවස් 04ක ට වඩා වැඩි කාලයක් පරාධීන ජාතියක් ලෙස කල්ගෙවීමෙන් පසුවය. ඕනෑම රටකට හෝ ජාතියකට පරාධීනත්වය තරම් උරුම වියහැකි අවමානයක් නොමැත. ඒ අනුව රටක් ලෙස අප 1948 වසරේ දී ලබාගත් නිදහස අතිශයින්ම සැමරුම් කටයුතුය.

එහෙත් ඒ සමගම නිදහස් ජාතියක් හා රටක් ලෙස අප ගැඹුරින්ම විමසා බැලිය යුතු කරුණක් ද තිබේ. එනම් පූර්ව යටත්විජිත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකීමේ දී අද අප අපේක්ෂා කරන නිදහස කොතරම් දුරට තහවුරු වී තිබුණේ ද යන්නය. අපේ ඇතැම් අතීතකාමීන් වර්ණනා කරන ලාංකේය ඉතිහාසය තුළ ජීවත් වෙමින් නිදහස් රටක අපේක්ෂා මල්පල ගැන්විය හැකිද යන්නය. වෙනත් ආකාරයකින් සලකා බලන්නේ නම් නිදහස් ශ්‍රී ලංකාව තුළ අප ගොඩනැගූ ජාතික රාජ්‍යයෙහි නිදහස් ජාතියක් ලෙස සපුරා ගත යුතු වූ කොන්දේසි හා අවශ්‍යතා සපුරා ගැනීමට අප සමත් වී ඇත්ද යන්නය. එනම් නිදහස් ලංකාව එහි ජීවත් වන පුරවැසියන්ට අවශ්‍ය ආරක්ෂාව හා නිදහස සම්පූර්ණ කිරීම මගින් ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස කටයුතු කර තිබේද යන්නය. ඒ සඳහා අවශ්‍ය වන වහල්භාවයෙන් තොර මානසිකත්වයකින් යුත් ජාතියක් ගොඩනැගීම සඳහා අවම වශයෙන් ගතවූ 70 වසරක කාලය තුළ ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකර තිබේද යන්නය.

යටත් විජිතභාවය

මෙහි දී ප්‍රථමයෙන්ම අවධානය යොමු කළ යුතු පූර්ව යටත්විජිත යුගයට අදාළ එනම් ස්වාධීන ලංකා පුරාණයට අයත් යුගය ශතවර්ෂ නොව, සහස්‍රක තුනකට තරම් විශාල කාල පරාසයකි. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි සටහනකින් ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් කිසිසේත්ම යොමුකළ නොහැකිය. ඒ අනුව අප ආසන්න වශයෙන් හෝ තේරුම් ගැනීමට උත්සාහ කළ යුත්තේ ලංකාව යුරෝපා අධිරාජ්‍යවාදීන්ට නතු වූ සමය තුළ ලංකාව එදා පැවැති තත්ත්වයයි.

විශේෂයෙන්ම 1815 දී අප රට බ්‍රිතාන්‍යයන් විසින් සම්පූර්ණයෙන්ම යටත් කරගන්නා විට පැවැති තත්ත්වයයි. එහි දී ඉතා පැහැදිලි ලෙසම අවබෝධ කරගත හැකි කරුණක් වන්නේ පුරාණ ලංකා රාජ්‍යයේ විකාශය සලකා බැලීමේ දී එක් කිරුළක් යටතේ රාජ්‍ය පාලනය වී ඇති අවස්ථා සීමිත බවයි. පෘතුගිසීන් ලංකාවේ මුහුදු බඩ පළාත් අත්පත් කරගන්නා විට දී ප්‍රධාන වශයෙන් කෝට්ටේ මහනුවර සහ යාපනය වශයෙන් රාජ්‍ය තුනකට ලංකාව බෙදී පැවතිණි. ඊට අමතරව මහනුවර රාජධානියේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ බෞද්ධයකු ලෙස සැලකිය හැකි වුවත් සිංහලයකු ද නොවීය. ඒ සමගම සිංහල රජ දවස මෙරට තහවුරු වී පැවැති සමාජ ආර්ථික හා දේශපාලන තත්ත්වය සලකා බැලීමේ දී ලෝකයේ අන් සෑම රටකටම අදාළව පොදු වී ඇති ආකාරයට වැඩවසම් පාලන ක්‍රමයක් තුළ අප රට ද පාලනය වී තිබේ.

රාජාධි රාජසිංහ රජුගෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වීම සඳහා රජපවුලේ ඇතුළත කවයේ කිසිදු සුදුස්සෙකු නොවීම තුළ පරිවාර කුමරියකගේ පුත්‍රයකු වූ කන්නසාමිට රජකම ලබා දී ඇත්තේ ද ඒ අනුවය. එමෙන්ම රාජධානියට අයත් සියලූ ප්‍රදේශවල රජුගේ නීතිය පමණක් බලාත්මක වූ අතර ඒ ඒ ප්‍රදේශ දිසාවේවරුන් වැනි රදළ නායකයින් යටතේ පාලනය කරවා තිබේ. එම පාලනය තුළ රජුට හා රජ පවුලේ සාමාජිකයන්ට හා රදළවරුන්ට ලැබී ඇති බලය හා නිදහස සැලකීමේ දී පැරණි රාජාණ්ඩු ක්‍රමයක තිබිය හැකි සියලු පසුගාමී හා අත්තනෝමතික ලක්ෂණ සියල්ලන්ගෙන්ම පරිපූර්ණ වී ඇති අතර එබඳු සමයක ලංකාව බටහිර ජාතීන්ට යටත්වී ඇති බව ද අප තේරුම්ගත යුතුය. ඒ අනුව එදා අපට ඒ තුළ ප්‍රධාන වශයෙන්ම අහිමි වී ඇත්තේ ජාතියක් ලෙස අප සතුව පැවැති ස්වාධිපත්‍යය පමණක් වේ යැයි සඳහන් කළහොත් එහි කිසිදු වරදක් තිබිය නොහැකිය.

සාඩම්බර නිදහස

ඒ අනුව සැලකීමේ දී නූතන නිදහස පිළිබඳ සංකල්පයට අදාළව මෙන්ම අද රටක් ලෙස අප අපේක්ෂා කරන මහත් සාඩම්බරයෙන් සමරනු ලබන නිදහස කරා පැමිණි තීරණාත්මක ගමනට අදාළ සංක්‍රාන්ති සමය ලෙස ලංකාවේ යටත් විජිත පාලන සමය හැඳින්විය හැකිය. නූතන අධ්‍යාපන ක්‍රියාවලිය රටට හඳුන්වා දෙමින් ශිෂ්ට සම්පන්න හා යුක්තිය හා සාධාරණත්වයට වඩා සමීප නීති පද්ධතියක් රටට හඳුන්වා දීම වැනි සාධනීය පියවරයන් ඒ තුළ අන්තර්ගත වනවිට නූතන පුරවැසි නිදහසට අදාළව බ්‍රිතාන්‍ය පාලනය විසින් ගෙන ඇති වැදගත්ම පියවර ලෙස සඳහන් කළ හැක්කේ රාජකාරී ක්‍රමය අවලංගු කරමින් රටවැසියා රදළ වැඩවසම්වාදී ඒකක සමඟ බැඳ දමා තිබූ වහල් භාවයෙන් නිදහස් කිරීමය.

රජු හා වැඩවසම් බලාධිකාරින් සමඟ බැඳ දමා පැවැති ප්‍රවේණිදාසත්වයෙන් රටවැසියා මුදවා ගැනීම සඳහා ගෙන ආ පියවරයන්ගෙන් පසු වැවිලි ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙමින් ඒ සඳහා අත්‍යවශ්‍යයෙන්ම සපුරාලිය යුතු වාණිජ ආර්ථික ක්‍රමයක් හඳුන්වාදී ඒ සඳහා සපුරාලිය යුතු යටිතල පහසුකම්වලට අදාළ දියුණු මාර්ග පද්ධතියක් ද නිර්මාණය කිරීම පසුකලෙක මේ රටේ නූතනත්වයට තැබූ පළමු පාදම ලෙස සැලකිය හැකිය.

යටත්විජිත පාලන සමයට අදාළ ඉතිහාසය විමසා බැලීමේ දී ඉතා පැහැදිලිවම දැකගත හැකි මුඛ්‍ය ලක්ෂණයක් වන්නේ ජාතියේ ස්වාධීනත්වයට අතිශයින්ම අදාළ ස්වෛරීත්වය හැරුණු විට නූතන නිදහස් ජාතියකට අයත් බොහෝ කරුණු කාරණා සම්පූර්ණ කර ගැනීම සඳහා එම යුගය අපට අතිශයින්ම වැදගත් වී ඇති බවය. ආර්ථික ප්‍රතිසංස්කරණ හා එකිනෙකාට බැඳී පැවැති දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය එහි දී බෙහෙවින්ම තීරණාත්මක විය. ඒ අනුව අතිශයින්ම ස්වාභාවික හා යුක්ති සහගත ද වන බාහිර පාලනයකට එරෙහිව මතු වන නුරුස්නා බව හා ඒ තුළ ගොඩනැගෙන වෛරය හා ඇතිවූ සමාජ පීඩනය මත 1818 හා 1848 යන කාලවකවානුවල දී ඇති වූ කැරළි දෙකක් හැරෙන්නට ඉංග්‍රීසි පාලනයට එරෙහිව තීරණාත්මක සංවිධිත සටන්කාමී ව්‍යාපාරයක් ලංකාව තුළ නිර්මාණය වී නැති බව විමසා බැලිය යුතු වැදගත් කරුණකි. ඒ සමඟ 1948 පෙබරවාරියේ දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ලංකාව ඉන් නිදහස ලැබූව ද එම නිදහස ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය වූ ශක්තිමත් ජාතික ඒකාග්‍රතාවක් ගොඩනගා ගැනීමට නොහැකි වූ හේතුන් ද ඒ තුළ හඳුනාගත හැකිය.

අසමත්භාවය

නියතවශයෙන්ම නූතන ශ්‍රී ලාංකිකයා ගැඹුරින්ම තේරුම්ගත යුතු, එසේ තේරුම්ගෙන විසඳුම් සොයා යා යුතු බරපතළම හා ගැඹුරුතම ප්‍රශ්නය එයයි. අද පවා මේ රට වන්දි ගෙවමින් සිටින බොහෝ ප්‍රශ්නවලට මූල බීජය සපයා ඇත්තේ ඒ තුළයි. පරිවර්තනීය සමාජ ක්‍රමයකට බාහිර වශයෙන් පිවිස ඇති ජාතියකට අභ්‍යන්තරිකව සිදුකළ යුතු වෙනස්කම් හා නිවැරදි කළයුතු ගැටලූ ඒ තුළ මගහැරී යාම හේතුවෙන් අද පවා මේ රටේ ඇතැම් පිරිස් බොහෝ ප්‍රශ්නවලට විසදුම් සොයමින් වැඩවසම්වාදී ආකෘති තුළට කොටුවීමට උත්සාහ දරන්නේ ද ඒනිසාය. රජ මානසිකත්වයකට සමාජයේ ඇතැම් කොටස් ගොදුරු වීමේ මානසික රෝගීත්වයක් මෙන්ම, වැඩවසම් ආකෘතීන් උත්කර්ෂවත් කිරීම හා වන්දනාමාන කරමින්, ඒ තුළ බලය පවත්වාගෙන යෑමට මහින්ද රාජපක්ෂ වැනි රාජ්‍ය පාලකයන් නිර්මාණය වීමට ද ප්‍රමුඛතම පසුතලය සකසා ඇත්තේ ජාතියක් ලෙස අප අමතක කර දැමූ එම වගකීම සාර්ථක ලෙස අවසන් කිරීමට අපට නොහැකි වූ නිසාය. නිදහස ලබා අද වනවිට අවුරුදු 70 ක කාලයක් ඉක්ම වී ඇතත් ශක්තිමත් ජාතික ඒකාග්‍රතාවක් ඇතිකර ගැනීම අප ඉදිරියේ ඇති ප්‍රමුඛතම වගකීම වී ඇත්තේ ද ඒ අනුවය.

සත්‍යවශයෙන්ම යටත්විජිත පාලන සමය තුළ දී දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා සහ ආර්ථික බලය සඳහා ඉදිරිපත් වූ ප්‍රභූ කණ්ඩායම් පැරණි වැඩවසම්වාදී රාජ්‍ය උරුමයකට නෑකම් කියූවන් නොවීය. යටත් විජිත සමයේ රටට හඳුන්වා දුන් වැවිලි ආර්ථිකයක් සමඟ යටිතල පහසුකම් සපයන්නන් ලෙස හා සේවා සපයන්නන් ලෙස ගොඩනැගෙමින්, ලබාගත් ඉඩ ප්‍රස්තා ප්‍රයෝජනයට ගෙන යටත් විජිත පාලකයන්ගේ හොඳ හිත හා විශ්වාසය මත විවිධාකාරයෙන් පාලනයට සම්බන්ධ වී ඇති, ඔවුන් ඒ හරහා හිමිකරගත් නම්බුකාරත්වය හා ආර්ථික සමෘද්ධිය තුළ පසුකාලයේ දී රටේ පාලනයට ද යම් යම් ආකාරයට සම්බන්ධ වී තිබේ. සත්‍යවශයෙන්ම ලංකාවට නිදහස දිනාගැනීම සඳහා ක්‍රියාකළ ලංකා ජාතික සංගමය පවා ප්‍රථමයෙන්ම ආරම්භ වන්නේ එකී අරමුණ ඉලක්ක කරගනිමින් නොවේ. 1915 සිංහල මුස්ලිම් කෝලහලය හේතුවක් කරගනිමින් බ්‍රිතාන්‍ය පාලනය දියත් කළ මර්දනය තුළ සිංහල ජන නායකයින් අතර ඇතිවන අතෘප්තිය මුල්කරගෙනය.

ගැටුමේ ආරම්භය

ඒ අනුව පසුකාලයේ දී බ්‍රිතාන්‍ය පාලනය මගින් හඳුන්වා දෙන ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී ජාතික වශයෙන් වූ පොදු මතයකට එළැඹීමට සිංහල දෙමළ මෙන්ම අනෙකුත් ජනවර්ග නියෝජනය කළ නායකයන්ට නොහැකි වූ අතර, එම තත්ත්වය (ලංකා ජාතික සංගමය) නියෝජනය කළ දෙමළ පිරිස් 1921 දී එම සංගමය අතහැර යාමට ද හේතුවක් කරගත්තේ ය. එමෙන්ම ලංකා ජාතික සංගමය පහතරට, සිංහලයන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් පමණක් ක්‍රියාකරන සංවිධානයක් ලෙස චෝදනා කරමින් පසුව උඩරට සිංහල නියෝජිතයන් ද එම සංගමය හැර ගියහ.

ප්‍රමුඛ පෙළේ ජාතික නායකයින් යැයි කියාගන්නා බොහෝ පිරිස් (පොන්නම්බලම් අරුනාචලම්, ඩී.එස් සේනානායක හා එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක වැනි) මේ රටේ ජනතාවට සර්වජන ඡන්ද බලය ලබාදීමට එරෙහි වීම මගින් ද ජාතිවාදී නියෝජන ක්‍රමය අහෝසි කළ ඩොනමොර් ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට පක්ෂව ඡන්ද 19 ක් ලැබෙන විට සුළු ජාතීන් බහුතරයකින් සමන්විත ඡන්ද 17 ක් ඊට එරෙහිව ලැබීම වැනි කරුණු කාරණා සලකා බැලීමේ දී නිදහස උදෙසා පෙළගැසුණ ලාංකේය ජාතික නායකත්වයේ චින්තනයේ දුගීභාවය හා ඒ තුළ ජාතික ප්‍රතිපත්තියක් දක්නට නොලැබීමේ හේතු තේරුම්ගත හැකිය.

අවසානයේ ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීම සඳහා පදනම සැපයූ සොල්බරි ව්‍යවස්ථාවට බහුතර එකඟතාවය ලබා දී තිබුණ ද එම ව්‍යවස්ථාව යටතේ නිර්මාණය වූ දේශපාලන ක්‍රමයට සුළු ජාතිකයන්ගේ එකඟත්වයක් හෝ ගෞරවයක් හිමි නොවීම ද ඉහත තත්ත්වයන් තුළ තේරුම්ගත හැකිය. ඒ සමඟ සිංහල ජන සමාජයේ සාමාන්‍ය ස්තරය තුළ ඊට අදාළ කිසිදු සංවාදයක් හෝ අවබෝධයක් ගොඩනැගීමට උත්සාහ නොකිරීම හේතුවෙන් අවසානයේ අප ලබාගත් නිදහස පොදුවේ සියලූ ජනතාව අතර ආස්වාදයක් ඇති කිරීමට හේතු වූවා වියහැකි වුවත් නිර්මාණය කරගත් ජාතික රාජ්‍ය කෙරෙහි එකඟත්වයක් ඒ තුළ ඇතිකරගැනීමට නොහැකි විය. නිදහසින් පසු විවිධ ජනවර්ග අතර ඇතිවූ ජාතිවාදී ගැටුම් ගණනාවක් ද අවසානයේ බිහිසුණු යුද්ධයකට ද දකුණේ සිංහල ජනසමාජය අතර ආයුධ සන්නද්ධ කැරලි දෙකකට ද නිදහසින් පසුව අප මුහුණ දී ඇත්තේ ඒ අනුවය.

සැබෑ නිදහස කරා

නිදහසින් පසු ගෙවුණ වසර 70ක කාලයෙන් අඩකටත් වැඩි කාලයක් බරපතළ අභ්‍යන්තර යුද ගැටුමකට ද, තවත් විශාල කාල පරිච්ඡේදයක් හදිසි නීතිය මත පදනම් වූ පාලනයකට ද, ඒ අතරතුර තරුණ කැරලි දෙකකටද මැදිවීම හේතුවෙන් අතිවිශාල ලේ ගංගාවන් නිර්මාණය කළ රටක අද පවා අප සිටින්නේ පුළුල් ජාතික ඒකාග්‍රතාවක් ඇතිකරගැනීමට අපොහොසත් වූ පරිසරයක ය. ඒ සඳහා පටු ජාතිවාදය, වැඩවසම් මානසිකත්වයෙන් යුත් පාලනයක් ඉල්ලා සිටින හා ලබාදීමට සූදානම් ජනතාවක් මෙන්ම දේශපාලනඥයින් ද බහුල රටක වඩා යහපත් අනාගතයක් පිළිබඳව විශ්වාස කිරීමට නම් රටක් ලෙස තීරණාත්මක පියවර කිහිපයකට යොමුවිය යුතුමය.

ඉන් පළමුවැන්න ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පුරවැසියන් තුළ පවත්නා විශ්වාසය ගැඹුරින් තහවුරු කිරීමය. ඒ සඳහා පිරිසුදු හා සැබෑ මහජන ව්‍යාපාරයක් ශක්තිමත් කරමින් දූෂණයෙන් තොර සමාජ පරිසරයක් නිර්මාණය කරගැනීම එහි දී අත්‍යවශයෙන්ම කළයුතුව තිබේ. එහි දී අදට මෙන්ම අනාගතයට ඉතා වැදගත් විවරණයක් ”ශ්‍රී ලංකාව නිදහස කරා ගමන්මග, Ceylon – The Path to Independence යන කෘතිය මගින් ශ්‍රීමත් චාල්ස් ජෙපසන් විසින් සිදුකර තිබේ.

එහිදි ඔහු සඳහන් කරන්නේ සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා මිනිස් මොළයෙන් තනාගෙන ඇති විධිවිධාන සියල්ල සොල්බරි ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබූ බවයි. ඒ කෙසේ වුවත් බොහෝ රටවල මෙන් මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන වගන්ති ව්‍යවස්ථාගත නොකිරීම තුළ සොල්බරි කොමිසම වැරැද්දක් කර ඇති බව පෙන්වා දෙන අතරම ලංකාවට අදාළව ද ඉතා වැදගත් විවරණයක් සිදුකර තිබේ.

එනම් ”යම්කිසි කලෙක ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට භාජනය කරන්නේ නම් මූලික මිනිස් අයිතිවාසිකම් විශේෂයෙන්ම ෙපෟද්ගලික නිදහස පිළිබඳ අයිතිවාසිකම් තහවුරු කළයුතුය. ඒ කෙසේවෙතත් සිංහල හා ද්‍රවිඩ ජාතිකයන් අතර ඇතිවිය යුතු සමගිය රඳා පවතින්නේ ව්‍යවස්ථානුකූල ආරක්ෂක සංවිධාන මත නොවේ. රට කරවන ආණ්ඩුවේත් ඒ ආණ්ඩුව තෝරාපත් කරන ජනතාවගේ හොඳ හිත, බුද්ධිය හා මානුෂික හැඟීම් යන ඒවා මතය.”

ඒ අනුව ශ්‍රී ලංකාවේ සැබෑ නිදහස යථාවත් වනු ඇත්තේ ඉදිරිගාමී දැක්මක් සහිත දූෂණයට එරෙහි බලකාමයෙන් වියරු නොවන දේශපාලකයන්ගෙන් හා ආණ්ඩු තෝරාපත් කරගනු ලබන ජනතාවගේ හොඳ හිත මානුෂික හැඟීම් සහ බුද්ධිය මතය. වැඩවසම් වහල් මානසිකත්වයකින් යුත් ජනතාවකගෙන් නොවේ. ඒ සමගම ජාතියක් ලෙස අප මැනවින් තේරුම්ගත යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ අද නිදහස ලෙස අප තේරුම්ගත යුතුව ඇත්තේ 1948 දී අපේක්ෂා කරන ලද නිදහස තුළ සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වූ කරුණ පමණක්ම නොවන බවය. ජාතියේ අනාගතය රඳා පැවැත්ම කෙරෙහි බෙහෙවින්ම ඉවහල් කරගත යුතු මූලික කරුණු කාරණා කිහිපයක්ම නූතන ලාංකිකයා හමුවේ විසඳුම් අපේක්ෂාවෙන් පවතී. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය තුළ ශක්තිමත් පාලන සම්ප්‍රදායක් ගොඩනැගීමට ද ඒ තුළ වැඩවසම් ආකල්ප මත ගොඩනැගෙන පසුගාමී දේශපාලන නායකත්වයන්ට මෙන්ම අන්තවාදී බලවේගයන්ට ද ඉඩක් නොදෙමින් රටේ සමස්ත ඉතිහාසය පුරා නායකත්වය දුරස් කර පැවැති මේ රටේ සාමාන්‍ය පන්තියට රටේ පාලන බලය උරගා බැලිය යුතු සමාජ ක්‍රමයක් නිර්මාණය කරලීම ඒ තුළ ඇති ප්‍රමුඛ වගකීමකි.

 සුනිල් ජයසේකර

Comments