
හසිත බෝයගොඩ පිහිටවූයේ ලෝක වාර්තාවකි. ඒ ලකුණු 191ක් රැස්කරමිනි. ඒ යොවුන් ලෝක කුසලානයේ ඉහළම ඉනිම ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවවටද පත්වෙමින්ය. නමුත් අවාසනාවකට ශ්‍රී ලංකා කණ්ඩායමනම් වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවී ගියේය. නව වැනි ස්ථානයට පත්වීම සඳහා වන තරගයකට අද ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගිවීමට සූදානම් වද්දී අපි හසිත බෝයගොඩ සම්බන්ධයෙන් තොරතුරු සොයා ගියෙමු. මේ ඒ පිළිබඳ ලියැවෙන සටහනකි.
හසිත බෝයගොඩ නම් ළාබාල ක්‍රිකට් ක්‍රීඩකයාගේ පාසල මහනුවර ත්‍රිත්ව විද්‍යාලය. එම පාසල ශ්‍රී ලංකාව බිහිකළ සුවිශේෂී ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාරගේද පාසලය. ඉඳහිට වුවද විශිෂ්ටත්වයට පත්විය හැකි ක්‍රීඩකයන් බිහිකිරීමට පාසලක් සමත් වන්නේනම් එය ගෞරවණීයය. අප ත්‍රිත්ව විද්‍යාලය සම්බන්ධයෙන් කතාකරන්නට කැමැත්තේ එවන් තැනක සිටය. අප කුමාර් සංගක්කාර හා හසිත බෝයගොඩ නම් ළාබාල ක්‍රීඩකයා සමාන කරන්නට උත්සහ නොගන්නේ එය හසිතගෙ පාර්ශ්වයෙන් බර වැඩි කතාවක් හෙයිනි. යන මග පැහැදිලි වූ කල්හි ගමන යන්නට ඉඩදෙනු විනා ඔහුගේ සැහැල්ලුවට අතිරේක හා අනවශ්‍ය බර යොදා ගමන අඩාල කිරීම මාධ්‍ය යේ වගකීම නොවේ. එහෙයින් අප කුමාර් සංගක්කාර හා හසිත බෝයගොඩ දකින්නේ එක පාසලකින් බිහිවූ අපූරු මල් දෙකක් ලෙසය. එහෙත් හසිතගේ ජීවිතයේ විවිධ සිදුවීම් ප්‍රතාපවත් පෞරුෂයක් නිර්මාණයවීමට හේතු පාදක වී ඇතිබව සඳහන් කළ යුතුය.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ හසිත වැඩිමලාය. හසිතට බාල සොහොයුරියක් සහ සොහොයුරෙක් සිටිති.
හසිතගේ පියා සංජය බෝයගොඩ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි. මේ වන විට මාවනැල්ල රෝහලේ සේවය කරන වෛද්‍ය සංජය බෝයගොඩ මහනුවර ධර්මරාජ විද්‍යාලීය ක්‍රිකට් පිල නියෝජනය කර ඇති ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 17 න් පහළ දක්වා ධර්මරාජ විද්‍යාල ක්‍රිකට් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායමට ද ක්‍රීඩා කර ඇත. ඒ අනුව බලන කල හසිත බෝයගොඩ යනු පිය උරුමය අනුව ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙකි. ක්‍රිකට් පිටියේදී ඔහු දස්කම් දක්වන්නේ එවැනි පසුබිමක් මත පිහිටාය.
‘‘හසිත ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්නේ වයස අවුරුදු හයේ දි, ඒ හැරල්ඩ් රණසිංහ මහතා යටතේ.’’ හසිත ගේ මව වෛද්‍ය සුපිපි බෝයගොඩ මහත්මිය සිළුමිණට පැවසූයේ ඔහුගේ අතීතය සම්බන්ධයෙන් අපකළ විමසුමට පිළිතුරු ලෙසය. ඒ අනුව හසිතට ක්‍රිකට් පිත්ත යනු ඉතා හුරු පුරුදු මෙවලමක් වූයේ එලෙසින්ය
ඒ අනුව හැරල්ඩ් රණසිංහ මහතාගේ පුහුණු උපදෙස් මත පාසලෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ මුලකුරු කියවන හසිත මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් අනතුරුව ද ක්‍රිකට් ඔහුගේ ජීවිතයේ කොටසක් වී තිබුණේ එසේය. තුන්වන ශ්‍රේණියට සමත් වීමත් සමගම වසර දෙකක කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමට අවස්ථාව උදාවිම පුංචි හසිතගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි. ඕස්ට්‍රේලියාවේ යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම තාක්ෂණයක් ඇති රටකි. ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් හි ක්‍රිකට් ඇකඩමියට ඔහු ඇතුළත් වන්නේ ඒ අනුවය. වසර දෙදකක කාලය තුළ ඉහළම තාක්ෂණික උපදෙස් හා පහසුකම් යටතේ ක්‍රිකට් පුහුණුව ලබන හසිත වසර දෙකකට පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේය.
හසිතගේ ක්‍රිකට් ජීවිතයේ දෙවන කාලපරිච්ඡේදය දිග හැරෙන්නේ ඉන් පසුවය. ත්‍රිත්ව විද්‍යාලීය පාසල් ක්‍රිකට් කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙකු බවට පත්වන හසිත පාසලේ වයස අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන සියලූම වයස් කාණ්ඩවල ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කිරීමට සමත්වේ. එතැනින් නොනවතින හසිත එම සියලූම කණ්ඩායම්වල නායකත්වය දැරීමටද සමත් වෙයි. එය හසිතගේ දස්කම්වලට පාසලෙන් ලැබෙන තිළිණයන්ය.
දිගින් දිගටම ක්‍රිකට් පිටියේ දක්වන දක්ෂතා නිසා ත්‍රිත්ව විද්‍යාලීය පාසල් ක්‍රිකට් කණ්ඩායම පමණක් නොව මධ්‍යම පළාත් පාසල් ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කිරීමෙ අවස්ථාව හසිතට හිමිවේ. එය ප‍්‍රථම වතාවට ඔහුගේ දක්ෂතා පාසලින් ඔබ්බටද ගෙනයාමට ලැබෙන මහගු අවස්ථාවකි. එහි ප්‍රතිඵල නෙළා ගැනීමද ඔහුට කිසිදු අපහසුවක් වූයේ නැත. අවසානයේ දී මධ්‍යම පළාත් පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයටද ඔහු හිමිකම් කීවේ මේ අයුරෙනි. ඒ අනුව 2103 වසරේදී වයස අවුරුදු 15 න් පහල අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී මධ්‍යම පළාත් කණ්ඩායමට නායකත්වය ලබා දෙන හසිත 2016 වසරේ දී වයස අවුරුදු 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී ද මධ්‍යම පළාත් කණ්ඩායමට නායකත්වය ලබා දීමට සමත්විය.
2014 වසරේ දී ත්‍රිත්ව විද්‍යාලය වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ සමස්ත ලංකා අනු ශූරතාව ලබා ගන්නා විට වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරින් අනු ශූරතාව දිනා ගැනීමට ද ඔහුට හැකිවිය.
ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීම නිසා ක්‍රමයෙන් එහි ඉහළට යාමට හසිත සමත් වුවත් ඔහුගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමට ඉඩ නොතැබීම ද විශේෂත්වයකි. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත යන්නෙන් කියැවෙන්නේ එක දෙයකට පමණක් ලොවෙන් කිසියම් පුද්ගලයකු සමත් වන්නේ නොව එක් දෙයකට හෝ අවම වශයෙන් සමත් වන්නේය යන්න සනාථ කරන්නට ඔහු සමත්වුණේ එසේය. ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නවයටම ඒ සමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස එය සමත්වීම දෙමාපියන්ගේ මෙන්ම පාසලේ සියලූම ගුරුවරුන්ගේ ද බලාපොරොත්තු මල්පල ගැන්වීමකැයි පැවසිය හැකිය. ඉන් අනතුරුව හසිත උසස් පෙළ හැදැරීම කරන්නේ ද ක්‍රිකට් පිත්ත අත නොහැරිමය. අපොස සාමාන්‍ය පෙළ ඉතා ඉහළින් සමත් වීමෙන් නොනවතින හසිත පසුගිය වසරේ වාණිජ අංශයෙන් අපොස උසස් පෙළ විගාගයට පෙනී සිට ඉංග්‍රීසි විෂය ද ඇතුළුව විෂයන් 4 ට ම විශිෂ්ට සම්මාන (ඒ) ලබා ගැනීමට සමත් වේ.
‘‘පුතා තමයි උසස් පෙළ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්කයෙ දෙවනි ස්ථානයෙ ඉන්නෙ. ශ්‍රී ලංකාවෙන්ම හැට දෙවනි ස්ථානයෙ.....’’
වෛද්‍ය සුපිපි බෝයගොඩගේ පවසන්නේ හැම ක්ෂේත්‍රයකින්ම සාර්ථක වූ තම පුතු පිළිබඳව ඇති අනූපමේය සෙනෙහසකින් සහ උතුරා ගිය සතුටකිනි.
‘‘එයාට බල කරන්න ඕන නැහැ. හසිත හොඳ දරුවෙක් හැමදාම පාසලේ අධ්‍යාපන කටයුතුවලට ඉහළම දක්ෂතා දැක්වුව’’ හසිතගේ මව පවසන්නේ ඉතා සතුටිනි. ඒ හසිත ගේ දක්ෂතා පිළිබඳව ඔවුන් තුල තිබූ විශ්වාසය හසිත විසින් කිසි දින බිඳ නොදැමූ බැවිණි. කවදාවත්, ඒ කියන්නේ පොඩි කාලෙදිවත් හසිත ගැන කාගෙන්වත් පැමිණිලි ලැබිල නැහැ.... එයා සාමාන්‍ය ළමයෙක් වගේ තමයි තාමත් ඉන්නෙ.... එයා මල්ලියි නංගියි එක්කත් බෙහොම එකතුයි....’’ ඔහුගේ මව සිළුමිණට පැවසූවාය.
හසිතගේ සොහොයුරිය සචිනි බෝයගොඩ, මහනුවර උසස් බාලිකා විදුහලේ උසස්පෙළ හදාරන අතර බාල සොහොයුරු අනුජ බෝයගොඩ ද හසිත මෙන්ම ත්‍රිත්ව විද්‍යාලයේ ඉලෙනුම ලබයි. ඔහු තවමත් අට වන ශ්‍රේණියේ ය.
‘‘ක්‍රිකට්වලදි පුතාගෙ පිටිපස්සෙන්ම ඉන්නෙ එයාගෙ තාත්ත තමයි. හැම තරගයක්ම වගේ බලන්න යනව. එයත් ක්‍රිකට් ක්‍රීඩා කරල තියෙන නිසා වෙන්න ඇති. මම තරග බලන්න යන්නෙ බොහෝ වෙලාවට නුවර අවට තරග තියෙන අවස්ථාවල විතරයි. ඒකත් රාජකාරි වැඩ වලින් විවේක තිබුණොත් තමයි....’’ හසිතගේ මව සුපිපි බෝයගොඩ මහත්මිය පවසන්නීය.
හසිත කරන දේ හරියට කරන ක්‍රීඩකයෙකි. පාසල් සිසුවෙකි. ‘‘කාලයක් පාපන්දු ක්‍රීඩා කරන්නත් උනන්දුවක් තිබුණ.... පුහුණුවීම් වලටත් සහභාගී වුණා.... එත් ඔක්කොම එකට කරන්න අපහසු වෙන නිසා පාපන්දු නැවැත්තුව....
පුතා කොහොමත් ගොඩක් කථා කරන කෙනෙක් නෙමෙයි..... නමුත් නිශ්ශබ්දත් නැහැ..... එයාට යාලූවො ඉන්නව..... ඒත් යාළුවො හිටියට ආශ්‍රය කරන්න වෙලාවක් හොයා ගන්න තමයි අමාරුයි... පුතා ගොඩක් මියුසික්වලට කැමතියි.... ගෙදර ඉන්න වෙලාවට සින්දු අහනව.... වැඩියෙන් අහන්නෙ ඉංග්‍රීසි ගීත.. ඒත් ගෝෂාකාරී සංගීතයට නම් කැමති නැහැ..... ගෙදර ඉන්නකොට එයාගෙ විනෝදාංශවලින් අනිත් අයට හිරිහැරයක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ...’’
නවසීලන්තයේ පැවති පළමු තරගයෙන් ලකුණු නොලබා දැවී යන හසිතව ඊළඟ තරග දෙකින් ඉවත් කරන අතර ඒ සම්බන්ධව ඇතැම් මාධ්‍ය සහ විචාරකියින් අදහස් දක්වා තිබුණි. බොහෝ විට ඒ හසිතගේ දක්ෂතාවයන් ගේ අඩුවක් බව දක්වමිණි.
‘‘ඒ ගැන අහන්න ලැබුණම නම් පොඩි කනගාටුවක් ඇති වුණා. පුතා ඒ ගැන වැඩිය කථා කළේ නැහැ.... නැවත අවස්ථාවක් ආවම හොඳට ගහනව කිව්ව....’’ සුපිපි බෝයගොඩ මහත්මිය ප්‍රකාශ කළාය. වැඩිය කතාබස් නොකරන අවශ්‍ය දේ පමණක් කථා කරන හසිත එය පවසන්නට ඇත්තේ ස්ථිර අධිෂ්ඨානයකින් වන්නට ඇත. ඒ අනුව ඔහු ප්‍රකාශ කළ අන්දමටම ඔහුගේ පිත්ත කථා කළ අතර ඒ කථාව නැවතුණේ ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි.
‘‘නමුත් අවසානයට ක්‍රීඩා කළ තරගයෙදි ලකුණු 191 ලබා ගත්තම විශාල සතුටක් දැනුණා....’’ හසිතගේ මව පවසයි.
‘‘පුතා ආර්ථික විද්‍යාව විෂයට කැමතියි...... කළමණාකරන අංශයෙන් තමයි ඉදිරියට යන්න බලාපොරොත්තුව එයාගෙ....’’
පසුගිය වසරේ ත්‍රිත්ව ශාන්ත අන්තෝනි සිය වැනි මහා ක්‍රිකට් ගැටුමේ දී තරගයේ වීරයා වූ හසිත ඒ සමගම ශාන්ත අන්තෝනි විද්‍යාලය සමග පැවති එක් දින තරගයේ දී ද තරගයේ වීරයා සම්මානය ලැබීය.
ඔහු මෙම වසරේ ත්‍රිත්ව විද්‍යාලයේ වයස අවුරුදු 19 න් පහළ පිලේ නායකයාය. මෙවර ත්‍රිත්ව-ශාන්ත අන්තෝනි මහ ක්‍රිකට් ගැටුමට ද නායකත්වය දෙන්නේ ද ඔහුමය. ඔහුගේ පාසල මෙන්ම පවුලේ සියලු දෙනා ද එම තරගය දෙස බලා සිටින්නේ නැවත සුපිරි දස්කම් දැක බලා ගැනීමටය. හසිත නිසාම මෙවර ත්‍රිත්ව-ශාන්ත අන්තෝනි ක්‍රිකට් ගැටුම පෙරට වඩා බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙන්ම අධ්‍යාපනයෙන් සහ විනයෙන්ද ඉදිරියෙන් සිටින හසිත බෝයගොඩ වැනි ක්‍රීඩකයින් අත්‍යාවශ්‍යම යුගයක් අපි පසු කරමින් සිටින්නෙමු. එවන් පරිසරයක අවශ්‍ය දේට කතාකරන අවශ්‍යතාව අනුව හැසිරෙන විශිෂ්ට ක්‍රීඩකයකු වන පෙරමඟ ලකුණු පෙන්වන හසිත බෝයගොඩ වැනි ක්‍රීඩකයන්ගේ අනාගතයට සුබ පැතිය යුතුය. හැකියාව පමණක් නොව පැවැත්ම සඳහා බුද්ධියද අවශ්‍යය. කුමාර් සංගක්කාර වැනි ක්‍රීඩකයන්ගෙන් අප දකින්නේ මෙම හැකියාව, බුද්ධිය සමග සංකලනය වූ අපූරු හැසිරීමක අවසන් ප්‍රතිඵලයකි. ඒ අනුව හසිත බෝයගොඩලා අයත්වන්නේ සංගක්කරාලාගේ මොඩලයටය. එය තවමත් ලොකු වැඩි නමුත් හසිත තම රූපය ඇද ගත යුත්තේ සංගක්කාරලාගේ සිතුවම මතිනි. එහෙයින් ජීවිතයේ ඉඳ හිට පැමිණෙන අවස්ථාවකදී වුවද සාර්ථකත්වයම නෙළා ගනිමින් ජයග්‍රාහීව තමන්ගේ සමාජීය යුතුකම ඉටුකිරීමට ඔහුට අවස්ථාව උදාවන්නැයි සිළුමිණ ක්‍රීඩාවේ මුල් පිටුව වෙනුවෙන් අපි ඔහුට සුබ පැතුම් එක් කරන්නෙමු.
ඩබ්. ආර්. කුමාර