
21 ඉරිදා - සතුන් බලන්න කෝටි 55ක් ගෙවලා
දෙස් විදෙස් සංචාරකයන්ට කවුඩුල්ල ජාතික සහ මින්නේරිය ජාතික උද්‍යානයන් නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරිමෙන් 2017 වර්ෂයේ ආදායම මිලියන 550ක (කෝටි 55) ආදායමක් උපයා ඇති බව එම උද්‍යානවල භාරකරුවෝ පවසති.
කවුඩුල්ල ජාතික උද්‍යානයේ පමණක් 2017 වර්ෂයේ මිලියන 270ක ප්‍රවේශපත්‍ර අලෙවි කර තිබූ අතර මින්නේරිය ජාතික උද්‍යානය මිලියන 280ක ප්‍රවේශපත්‍ර අලෙවි කර තිබුණි.
මෙලෙස විදේශ විනිමය ඉහළ යෑම පසුගිය තෙවසරක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ප්‍රගතිය සලකුණු කරන්නකි.
ෙම් බර කාගෙද?’
“වර්තමාන රජය අද ණය බරයි ණය බරයි කිය කියා කෑ ගැහුවත් මට රට බාර දෙන කොට සියයට 103 ක්ව තිබුණ ණය බර නැවත මම භාර දෙන කොට තිබුණේ සියයට 69 ක 70ක පමණ”. යැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ප්‍රශ්න කළේය.
කතාව සහතික ඇත්තය. මේ බව කල්තියා දැන සිටි රාජපක්ෂ මහතා තම ආකර්ෂණ අන්තයටම පිරිහිය හැකි බව තේරුම් ගෙන සිය ධූරකාලය අවසන් වීමට වසර දෙකක් ඉදිරියට තිබිය දී ජනාධිපති මැතිවරණය කැඳවීය. අද ඔහු ගත් ණය පොලී සමඟ ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවටය.
22 සඳුදා - රට සවාරි
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 27 දෙනකුගේ නම් ලැයිස්තුවකට අනුව තෝරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන වගඋත්තරකරුවකු වී සිටින වාර්තාව මෙතෙක් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු නොකිරීම බරපතළ ගැටලුවක් බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.
මේ පිළිබඳව සකස් කළ කොමිෂන් සභා වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් විසින් පරීක්ෂා කර ඇත. මේ කොමිෂන් සභා වාර්තාව අධිකරණ අමාත්‍යංශය ඇතුළු වගකිවයුත්තන්ට භාර දී වසර දෙකකට අධික කාලයක් ගත වී තිබේ. අදාළ කොමිසමේ සාමාජිකයකු වූ නීතිඥ එස්. කේ. ලියනගේ මහතා පවසන්නේ මේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු බවයි. මේ වනවිට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකාවේ, ලොස් ඇන්ජලීස් නුවරට ගොස් සිටී.
තුර්කියෙන් තල්ලුවක්
කෘෂිකාර්මික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් තුර්කිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ දැනුම, තාක්ෂණය හා ශිල්ප ක්‍රම හුවමාරු කරගැනීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව රජය එම තීරණය ගෙන තිබේ. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදි ඊට අනුමැතිය හිමිව තිබේ.
එකාබද්ධ විපක්ෂය විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් විවේචනය කළද ඉන් රටට අත් වන යහපත පිළිබඳව මුණිවත රකිති.
ඉල්ලන්න අයිතියක් නෑ
2017 වසරේ නොවැම්බර් මාසය දක්වා ජීවන අංකය වැඩිවීමට සාපේක්ෂව රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් රුපියල් 5697කින් වැඩි විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
රාජ්‍ය සේවය කප්පාදු කළ රනිල්, මෛත්‍රි, රාජපක්ෂ කණ්ඩායම්වලට රාජ්‍ය සේවකයන්ගෙන් ඡන්දය ඉල්ලීමේ අයිතියක් නොමැති බව ද ඔහු කියා සිටියේය.
රජ්‍ය සේවකයින්ට එසේ නොකළද මන්ත්‍රිවරුන්ට දීමනා හා වෙනත් වරප්‍රසාද ලබාදීමට රජය කටයුතු කර තිබේ.
23 අඟරුවාදා - ලෝක වාර්ථාව
වයස 19 න් පහළ අන්තර්ජාතික තරගයක දී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට හසිත බෝයගොඩ සමත් විය. නවසීලන්තයේ දී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අද (23 වැනිදා) පැවැති පළඟ අර්ධ අවසන් පූරව තරගයක දී කෙන්යාවට එරෙහිව ලකුණු 191 ක් රැස්කරමින් ඔහු මේ හපන්කම කළේය.
හසිතයේ දැවැන්ත ඉනිම නිසා මෙම තරගයේ දී කෙන්යාව පරදවා ලකුණු 311 ක වාර්තාගත ජයක් අත්කර ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
දකුණතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවා පන්දු 151 කින් ලකුණු 191 ක් ලබාගත් හෙයින් ඕවර 50 ක් ඇතුළත කඩුලු 4 කට ලකුණු 419 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත් විය. පන්දු 39 ක දී අර්ධ ශතකය සම්පූර්ණ කළ මෙම දකුණත් පිතිකරුවා, පන්දු 88 ක දී ශතකය සම්පූර්ණ කළ අතර පන්දු 126 ක දී ලකුණු 150 සීමාවද පසුකර ගියේය.
පිට කුදු වීම
පාසැල් ළමයින්ගේ පොත් මල්ලේ අධික බර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අහිතකර අන්දමින් බලපා ඇත. මේ ලිළිබඳව සැලකිල්ලට ගනිමින් ඊට සුදුසු පියවර ගැනීමට තමා තීන්දු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.
පොත්වල බර නිසා දරුවන් පිට කුදු වීමේ ආබාධයට ලක්වීම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබිණි.
පෙළ පොත් බර හෑල්ලු කිරීම සඳහා ගතහැකි පියවර සම්බන්ධයෙන් තමා අධ්‍යාපන බලධාරීන්ගෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයිද එය ලද වහාම සුදුසු පියවර ගන්නා බව ද ඇමතිවරයා මෙහි දී කියා සිටියේය.
මේ පිළිබඳව අමත්‍යවරයා දක්වන උනන්දුව පිළිබඳව ස්තූතිවන්ත විය යුතුය. මන්ද මේ රටේ බලාපොරොත්තුව වන නිසාය.
තවත් ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම පෙරවරුවේ සිදු කෙරිණි.
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමෙන් පසුව මෙම නිදහස් වෙළෙද ගිවිසුමට අත්සන් තැබීම සිදු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
චීනයේ සහාය
මෙරට පලතුරු බෝග වගා නිෂ්පාදනය සහ කාර්යක්ෂම කෘෂි ව්‍යාපාර අංශයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියකට තාක්ෂණික සහාය ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.
මහජන චීන සමූහාණ්ඩුවේ දකුණු - දකුණු සහයෝගීතා සංවිධානය එලෙස තාක්ෂණික සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
කාර්යක්ෂම ලෙස කෘෂි ව්‍යාපාර අංශය ප්‍රවර්ධනය කිරීම මගින් දේශීය සහ අපනයන වෙළෙඳපොළට ගැලපෙන වෙළෙඳ බෝග වගාව ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
24 බදාදා - ෙවද ගැට
වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වෙන අද (24) වෛද්‍යවරුන් දෙදෙනකු අතර ගැටුමක් ඇතිවී ඇතැයි වෛද්‍ය සභාවේ ආරංචි මාර්ග කියයි. වෛද්‍ය සභාව ඉදිරිපිට දී මෙම ගැටුම ඇති වී තිබේ.
ගාලු සාහිත්‍ය ඇරඹෙයි
වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කීර්තියට පත් ගාලු සාහිත්‍ය උලෙළ 09 වෙනි වරටත් ගාල්ල කොටුව පරිශ්‍රයේ දී ආරම්භ විය. මෙම උත්සව අවස්ථාවට තානාපති අංශ නිලධාරීන් මෙන්ම දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී විය.
මෙම උළෙලේ සමාප්ති උත්සවයට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතය.
ලොකයත් රටත් යා කෙරෙන මෙවැනි අවශ්ථා නිර්මාණය වීම කාලෝචිතය.
රතුපස්වල විමර්ශන අවසන්
රතුපස්වල ජනතාව පිරිසිදු පානිය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේදි සිදු කළ උද්ඝෝෂණයේ දී ඔවුන්ට වෙඩි තබා පහර දී තිදෙනකු ඝාතනය කර තවත් පිරිසකට බරපතල තුවාල සිදු කිරීමේ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (24) අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින යුද හමුදා බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ලලිත් ග්‍රේ සහ කෝප්‍රල් ජේ.එම් තිලකරත්න සහ අනෙකුත් සැකකරුවන් සිව්දෙනා අද අධිකරණයේ පෙනී සිටි අතර එම සැකකරුවන් සිව් දෙනාට මාර්තු 28 වැනි දා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කෙරිණි. වැඩ තහනමට ලක්ව සිටි බ්‍රිගේඩියර්වරයා සහ අනෙකුත් හමුදා සාමාජිකයන් තිදෙනාව නැවත සේවයේ පිහිටුවා ඇති බව ද අධිකරණයේ දී සඳහන් විය.
ලොකු අයට එහෙමයි පොඩි අයට මෙහෙමයි.
සිසුන්6 ක් දැලේ
කිලිනොච්චිය ජයන්තිනගර් හින්දු විද්‍යාලයේ ගුරුවරයකුට පහරදීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේ සිසුන් හයදෙනකු ලබන මස 7 වැනිදා දක්වා යාපනය ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ඒ.ආනන්ද රාජා මහතා අද (24) නියෝග කළේය.
පසුගිය (17) වැනිදා කිලිනොච්චිය ජයන්තිනගර් හි පාසලක සිසුවෙකුට එහි විනය භාර ගුරුවරයා පන්තිය තුළට යන ලෙස අවවාද කොට ඇති අතර පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් උරණවූ සිසුන් පිරිස අදාළ ගුරුවරයා වෙත පහර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කිලිනොච්චිය පොලිසිය පසුගිය (17) වැනිදා සැකකාර සිසුන් හයදෙනා අත්අඩංගුවටගෙන කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යාපනය ළමා රැදවුම් මධ්‍යස්ථානය වෙත භාරදීමට නියෝග කොට ඇත.
පසුගිය කාලයේ සිට මේ දක්වා විවිධ අමාත්‍යවරුන්ගේ හැසීරීම් අනුව දරුවන් මෙවැනි තත්ත්වයට පත් වීම අරුමයක් නොවේ. එනිසා තමන් කුමක් කරනනේද යන්න සිතාබලා කටයුතු කිරීම නුවණට හුරුය.
25 බ්‍රහස්පතින්දා - අස්කර ගනී
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී මහරගම පානදුර, මහියංගනය, අගලවත්ත, තිරප්පනේ, වැලිගම, යන පළාත් පාලන ආයතනයන් සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 6 ක් එම පක්ෂය විසින් ඊයෙ (24) ඉල්ලා අස් කර ගත්තේය.
පොදු ජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් අස් කර ගන්නා ලදී.
වරද කාගෙද
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගය අද (25) පැය 10ක් පුරා කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
සියලු පාර්ශ්වවලින් කරුණු සටහන් කර ගත් අතර තවත් කරුණු ඇත්නම් 30 වැනිදාට පෙර දැනුම් දෙන ලෙස සියලු පාර්ශ්වයන්ට අධිකරණය දැනුම් දෙනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවේද යන්න සියලු දෙනා ඉතා ඕනෑකමින් බලා සිටින අතර, මෙමඟීන් ජාතිවාදී ගිණි දළු ඇවිලීමට ඉඩ නොදීමට නම් වගකිව යුතු පාර්ෂව යුක්තිය අකුරටම ඉටු කළ යුතුය.
26 සිකුරාදා - ප්‍රමිතියට වැඩ
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් සඳහන් ගැසට්ටුව හෙට (27 වැනි දා) නිකුත් කරන බව රජයේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව සයිටම් ආයතනය අහෝසි කර මීට පෙර රජයේ යෝජනා කළ ආයතන එම ප්‍රමිතින්ට අනුකුල වන ලෙස ස්ථාපිත කරන බවට එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම යෝජනාවේ ගැටලු ඇත්නම් අදාළ අමාත්‍යවරු සමඟ සාකච්ඡා කළ හැකි බව එම ආරංචි මාර්ග පවසයි.
තහනම්
සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන ඊයේ(25) කොල්ලුපිටිය මංසන්ධියේ දී ආරම්භ කෙරුණු අතර, පොලිසිය කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර එය විසුරුවා හැරියේය.
සිසුන් පොලිස් මාර්ග බාධක පෙරළා අරලියගහ මන්දිරයට ගමන් කිරිමට උත්සහ කිරිමේ දී එය වළක්වා ලීමට පොලිසිය ඔවුන් වෙත ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණි.
මේ හේතුවෙන් ගාලු පාර කොල්ලුපිටිය මන්සංධියෙන් වසා දැමීමට සිදු වූ අතර අන්තර් විශ්වවිද්‍යාල ශෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ද සිද්ධියේ දී තුවාල ලබා ඇත.
නිලධාරිණිය මාරු
තම නෑනාට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ බව කියන සමෘද්ධි සංවර්ධන නිලධාරිණියක වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදුන් බව පුත්තලම දිසා ලේකම් සහ තේරීම් බාර නිලධාරී එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පවසයි.
එම නිලධාරිණියගේ සහෝදරයාගේ බිරිය ආණමඩුව ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂිකාවක වන අතර තමා වෙනුවෙන් නෑනා ජයග්‍රහණය කර දෙන ලෙස එම නිලධාරිණිය මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ප්‍රදේශය පුරා අලවා අලවා ඇත. මීට අමතරව අත් පත්‍රිකා ද බෙදා හැර තිබේ.
මේ සම්බන්ධයෙන් ගම්වාසීන් පල්ලම ප්‍රාදේශීය ලේකම්වරියට සහ පල්ලම පොලීසියට පැමිණිළි කර තිබුණේය. මැතිවරණයේ දී පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම තහනම් බැවින් ඒ සම්බන්ධයෙන්ද මැතිවරණ දෙපාර්තමේන්තුව වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.
27 සෙනසුරාදා - තවත් දින 2ක්
පෙබරවාරි මස 10 වෙනිදා පැවත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ හා නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට සිය තැපැල් ඡන්දය ප්‍රකාශක කිරීමට පෙබරවාරි මස 1 සහ 2 යන දෙදින පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට තිබූ 22, 25 හා 26 යන තෙදින තුළ ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි ඡන්ද දායකයින්ට මෙම අමතර දෙදින ලබා දී තිබේ.
විසඳුම් කෝ
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට විසඳුම් ලබා නොදීම වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටළුවලට විසඳුම් නොලැබීම යන කරුණු මුල් කරගනිමින් මේ මස 30 වැනි දින දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
කාලයක සිට පවතින ගැටළුවලට විසඳුම් ඉල්ලා අවස්ථා ගණනාවක දීම විවිධ ක්‍රියාමාර්ග ගත්තද සෞඛ්‍ය බලධාරීන් තවමත් ඊට නිසි ප්‍රතිචාර දක්වා නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසිය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභා නිලවරණයේ ප්‍රතිළුලය සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ක්‍රියාකලාපයට නිසි පිළිතුරක් ලබා දී තිබෙන බව ද රටපුරා වෛද්‍යවරුන්ගෙන් බහුතරය සයිටම් විරෝධී සටනට සහය පළ කර ඇතැයි ද ඔහු කීය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ද වන මෙම වෛද්‍ය වරුන් පුද්ගලික වෛද්‍ය ආයතනවල චැනලින් සේවා පවත්වාගෙන යන්නේ ඇයිද යන්න විමතිය දනවන්නකි.
ඇයි බයද?
“එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර හැකි නම් එක් දිනක් හෝ මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා සහ බරපතළ වංචා දූෂණ විමර්ශන යන වාර්තා ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්නැයි” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සියලු දේශපාලන පක්ෂවල නායකයන්ට අභියෝග කළේය.
ජනාධිපතිවරයා මේ අභියෝගය කළේ පසුගියදා (25දා) පස්වරුවේ පානදුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.
“මහ බැංකු මංකොල්ලය සිදුකරමින් සහ බරපතළ වංචා දූෂණ සිදුකරමින් මේ රටේ රාජ්‍ය සම්පත් සහ මහජන මුදල් කොල්ලකෑවේ කවුදැයි ජනතාව හොඳින් දන්නා බව” පැවැසූ ජනාධිපතිවරයා “ජනතාවට කිසිදා සත්‍ය වසන් කළ නොහැකි බව”ද පැවසීය.
ජනතාව රැවටීම හෝ මුළා කිරීමට කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාවක් නොමැති අතර, නීතිය ඉදිරියේ ඒකාන්තයෙන්ම වංචා දූෂණ සිදුකළ සියලු දෙනා වැරැදිකරුවන් බවට පත්වන බව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.
සත්‍යකි. තමන් නිවැරදි නම් බියවන්නේ කුමකටද? සිය නිවැරදිභාවය පෙන්වීමට මෙය මහඟු අවස්ථාවකි. එසේම ජනාධිපතිවරයාද තමන් සමඟ සිටින දේශපාලඥයින් ගැන අවදානය යොමු කළ යුතුය. නැතිනම් වීදුරු ගෙදරක සිට කරන ක්‍රියාවකට වැඩි යමක් ජනතාවට දැකගැනීමට නොහැකිවනු ඇත.
රසික කොටුදුරගේ