70 වැනි නිදහස් සමරුව අදයි | සිළුමිණ

70 වැනි නිදහස් සමරුව අදයි

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ශ්‍රී ලාංකික ජනයා “එකම දැයක්...!” තේමාව යටතේ සමඟිව, එකමුතුව එක මිටට රොද බැඳ අභිමානවත්ව සැමැරුමට සූදානම් වන හැත්තෑවැනි ජාතික නිදහස් දිනය අදයි.

හිරු නොබසින අධිරාජ්‍යයේ කිරීටයෙන් මිදී නිදහස්, නිවහල් ජාතියක් ලෙස ලොව හමුවට පැමිණි අප මාතෘභූමියේ අතීත, වර්තමාන හා අනාගත ගමන්මඟ කදිමට පෙන්නුම් කරන නිදහස් දින සැමැරුම් මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර පිටියේදී අද (04) උදේ පැවැත්වේ.

මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජනගේ විශේෂ නියෝජිතයා ලෙස එතුමියගේ පුත්‍ර එඩ්වඩ් කුමරු සහ සොෆි රයිස් ජෝන්ස් කුමරිය මෙවර ජාතික නිදහස් දින සැමරුමේ රාජකීය ආරාධිත අමුත්තෝ ලෙස සහභාගි වෙති. මීට අමතරව විදේශීය රාජ්‍යයන් 100කට අධික ප්‍රමාණයක නියෝජිතයෝ 70 වැනි ජාතික සැමරුම් උත්සවයට එක්වනු ඇත.

ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැඟීමේදී සිය දිවි දෙවැනි කොට තම මවුබිම වෙනුවෙන් ම ඇප කැපවූ යුද නාවික, ගුවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකායන්වල හා ජාතික ශිෂ්‍ය භට බළකායේ විරුවෝ තම සුරුවිරුකම් විදහාපාන ආචාර පෙළපාළියක් පවත්වති. මීට රණවිරුවෝ 7204ක් දෙනා එක්වෙති.

ඡායාරූපය - විමල් කරුණාතිලක

Comments