ආර්ථික වර්ධනය 5.5% ඉක්මවා යයි | සිළුමිණ

ආර්ථික වර්ධනය 5.5% ඉක්මවා යයි

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සියයට 5.5 ඉක්මවා යනු ඇතැයි ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වා දෙනු ලබන ආකාරයට මෙරට ආර්ථික වර්ධනය වේගවත් වී ඇති අතර එය මේ වසර අවසාන වීමට පෙර 5.5% ඉක්මවා යනු ඇත.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට තදින් බලපෑ නියඟය ඇතුළු ස්වාභාවික විපත් හේතුකොට ගෙන මෙරට ආර්ථිකයට දැඩි පසුබෑමක් ඇති වූ නමුත් 2017 වසරේදී පවා 4.5%කට ආසන්න වර්ධන වේගයක් පවත්වා ගැනීමට සමත්ව ඇති බැව් ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතන තුනෙහිම පොදු නිරීක්ෂණය වී තිබෙන අතර මේ වසරේදී රටේ ආර්ථික වර්ධන වේගය ඉතා යහපත් ලෙස සවිමත් වනු ඇතැයි ද එකී ආයතන ත්‍රිත්වය විසින් ම පුරෝකතනය කැර තිබේ.

ආයෝජන ඉහළ යෑම සහ පරිභෝජන දර්ශකය ඉහළ අගයක් ගැනීම මෙරට ආර්ථික වර්ධන වේගය කෙරෙහි ඉතා යහපත් බලපෑමක් සිදුකර ඇති බවත් මෙකී මූල්‍ය වාර්තාවන්හි සඳහන් වෙයි. එසේම උද්ධමනය පහත වැටීම විදේශ සංචිත වර්ධනය සහ මෙරට දේශීය නිෂ්පාදන සඳහා අන්තර්ජාතික වෙළෙඳපොළේ ඉතා හිතකර වාතාවරණයක් නිර්මාණයවීම ආදී හේතු ගණනාවක් අනුව ශ්‍රී ලංකා ආර්ථිකය මේ ප්‍රගතිදායක සහ වේගවත් වර්ධනයට මුල පුරා ඇති බවත් ජාතික සහ අන්තර්ජාතික ආර්ථික සමීක්ෂණවලින් හෙළි වී තිබේ.

Comments