ආණ්ඩුවේ බල ව්‍යූහයේ ප්‍රතිසංස්කරණ | සිළුමිණ

ආණ්ඩුවේ බල ව්‍යූහයේ ප්‍රතිසංස්කරණ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ඇල්පිටියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ප්‍රකාශ කළේ මහබැංකු වංචාව ඇතුළු සිදුව ඇති සියලු වංචාවලින් කොල්ලා කා ඇති ධනය යළි අය කරගැනීමට නීති සකස් කරන බවයි. ඔහු එම අවස්ථාවේ දැඩිව ප්‍රකාශ කළේ එදින උදේ රජයේ ඉහළම නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා එම ධනය යළි අය කරගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

අතීතයට බලපවත්වන නීති සම්පාදනය කිරීම කෙතරම් ප්‍රායෝගිකදැයි කිව නොහැකිය. එහෙත් එවැනි ශක්තිමත් නීති සම්පාදනය කරන්නේ නම් අවම වශයෙන් අනාගතයේ හෝ යහපත් ප්‍රතිලාභ සමාජයට ලැබෙන බව ස්ථිරය. ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට ආවේනික දුර්වලතා නිසා රාජ්‍ය දේපළ කොල්ලකන හොරුන්ට එරෙහිව ක්‍රියා කිරීම දුෂ්කර කාර්යයකි. එනිසා එම නීති ව්‍යූහය ශක්තිමත් කිරීම කුමන අර්ථයෙන් බැලුවත් වැඩදායි ක්‍රියාවකි.

ඊටත් වඩා වැඩදායි වන්නේ ජනාධිපතිවරයා එමගින් රටට දුන් දේශපාලන පණිවුඩයයි. රටේ ධන සම්පත් කොල්ලකෑම සාමාන්‍ය ක්‍රියාවක් බවට පත් කරගෙන ඇති යුගයක එසේ කොල්ලකන ධනය යළි අය කරගැනීමට සාකච්ඡාවක් ඇති කරගැනීම පවා සමාජයට දෙන්නේ යහපත් හැඟවීමකි. ඒ නිසා සොරුන් දෙවරක් සිතා බලන බව අනිවාර්ය කරුණකි.

සොරකම, වංචාව හා දූෂණය පුද්ගලයන්ගේ වරදක් නොව, ක්‍රමයට ආවේණික ලක්ෂණයකි. නව ලිබරල්වාදය අධිපති දේශපාලන මතය වී ඇති වත්මන් ලෝකයේ සොරකම, වංචාව හා දූෂණය පවත්නා ක්‍රමයේම නෛසර්ගික ලක්ෂණයක් බවට පත්ව තිබේ. වත්මන් ධනේශ්වර ක්‍රමය පවතින්නේම සොරකම, වංචාව හා දූෂණය නිසාය. එමගින් තොර ක්‍රමයේ පැවැත්මක් නැත. එනිසා සොරකම, වංචාව හා දූෂණය මුළු එකක් ලෙස ගෙන සමාජයෙන් දුරු කරන්නට වෑයම් කිරීම පෙරළා පවතින ක්‍රමයටම එරෙහිව යෑමකි. ඒ අර්ථයෙන් එය ලෙහෙසි-පහසු කාර්යයක් නොවේ.

එහෙත් සොරකම, වංචාව හා දූෂණය වළක්වාගැනීම සදහා රාජ්‍ය අභ්‍යන්තරයෙන් තිරිංග යෙදීම ධනාත්මක ලක්ෂණයකි. එය පෙරළා රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට හේතු වේ. එනිසා ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් සොරකම, වංචාව හා දූෂණය වළක්වාගැනීම සඳහා තෙරපුමක් ඇති වීම ප්‍රශස්ත ය.

තනි පක්ෂ ආණ්ඩුවක් පැවතුණා නම් මේ අන්දමේ ස්වයං තිරිංග යොදාගැනීමක් කිසිදා සාකච්ඡාවට ලක් වන්නේ හෝ නැත. මෙවැනි සංවාදමය ප්‍රවනතාවක් හෝ මතු වූයේ පක්ෂ කිහිපයක හවුලෙන් පවතින සම්මුතික දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එකගතාව හා නො එකගතාව මත සංවාදය ශක්තිමත් වී එකිනෙක ගැටී නිර්මාණය වන්නේ යහපත් දේශපාලන පරිසරයකි. ඒ පරිසරය සමාජයට අතිශයින් වැදගත් වූ අවකාශයක් නිර්මාණය කරයි.

එහෙත් කිසිම පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවීමට පසුගිය මහා මැතිවරණයේදී ජනවරමක් ලැබී නොමැත. පාර්ලිමේන්තුවේ තනි පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට වැඩිම ආසන සංඛ්‍යාව ලැබී ඇතැයි කීව ද ඒ ආසන සංඛ්‍යාව ද තනි එක්සත් ජාතික පක්ෂයට අයිති නැති හවුල් පක්ෂ ආසන සංඛ්‍යාවකි. එක්සත් ජාතික පක්ෂය වේවා එක්සත් ජනතා නිදහස් සංධානය වේවා තනි ආණ්ඩු පිහිටුවන්නට ගිය ද නැවතත් වටයකින් ඔවුන්ට පිහිටුවන්නට සිදුවන්නේ සම්මුතික ආණ්ඩුවකි. ඒ නිසා ලබා දී ඇති ජනවරමට එරෙහිවන්නට කිසිවකුට නොහැකිය.

නමුත් ලබන මස 10 වැනිදා පවත්වන්නට නියමිත පළාත් පාලන මැතිවරණය ලංකාවේ සයලු දේශපාලන පක්ෂයන්ට නැවතත් වටයකින් තීරණාත්මක වේ. විශේෂයෙන් පාලක සම්මුතික ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් අතිශයින් තීරණාත්මක ය. පාලක පක්ෂ දෙකට කෙතරම් තීරණාත්මක වුවද ආණ්ඩුව බිඳ වැටෙන්නේ නැත. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයේ දී ලැබෙන ඡන්ද සංඛ්‍යාව මත එහි ඉරණම තීරණය වේ.

රාජපක්ෂ කණ්ඩායමේ නායකත්වය මහින්ද රාජපක්ෂගෙන් ගැලවෙනවාට ඔහු කැමැත්තක් නොදක්වයි. එම කණ්ඩායමේ න්‍යායවාදීන් ආදේශකයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ගෙන්වා ගැනීමට උත්සාහ කළ ද ඒ සඳහා මහින්ද රාජපක්ෂගෙන් ලැබුනේ රතු එළියකි. ශ්‍රී ලංකා පොදුජන පක්ෂය හරහා ගිලිහී ගිය බලය යළි එක් රැස් කිරීමට බැසිල් රාජපක්ෂ උත්සාහ කළ ද ඊට ද මහින්ද රාජපක්ෂගෙන් ලැබුනේ රතු එළියකි. මහින්ද රාජපක්ෂට මේ මොහොත තුළ ආණ්ඩුව බිඳීමට අවශ්‍ය නැත. ඔහු තම දේශපාලන අවකාශය උණුසුම්ව තබා ගනිමින් උත්සාහ ගන්නේ තම වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂ මෝරන තුරු කල් බැලීමටය.

මහින්ද රාජපක්ෂගේ අභිලාශය කුමක් වුවත් එහි දේශපාලන අභ්‍යන්තරය මෙතෙක් පුපුරා නොගියේ ඔවුන්ගේ දේශපාලනයට පවතින සමාජ වලංගුතාව නොදන්නා නිසාය. යම්හෙයකින් පළාත් පාලන මැතිවරණයේදී කැපී පෙනෙන ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපොහොසත් වුවහොත් රාජපක්ෂ කණ්ඩායම ඇද වැටෙන්නේ පතුළක් නොපෙනෙන අගාධයකට ය. එවිට බැසිල් රාජපක්ෂ මෙන්ම ගෝටාභය රාජපක්ෂ ද තවදුරටත් මුවින් නොබැන ඉවසා නොසිටිනු ඇත.

රාජපක්ෂ වටා ගොනු වී සිටින දේශපාලන න්‍යායචාරීහු මෙන්ම මත නිෂ්පාදකයෝ ද තවදුරටත් මහින්ද රාජපක්ෂ අලෙවි කරමින් දේශපාලනිකව ඉදිරියට යන්නට නොහැකි බව දනිති. එනිසා ඔවුන් උත්සාහ ගන්නේ ගෝටාභය රාජපක්ෂව ඉදිරියට ගනිමින් අලුත් දේශපාලන පෙරමුණක් තනන්නට ය. එසේම රාජපක්ෂ ආණ්ඩුව වටා සිටි ව්‍යාපාරිකයන් උත්සාහ ගන්නේ බැසිල් රාජපක්ෂ නායකත්වයට ගන්නට ය. එහෙත් මේ කිසිවකුටවත් රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය යළි නැගිටවීමට නොහැකිය.

පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂ පාර්ශ්වයට යම්කිසි සැලකිය යුතු ජයග්‍රහණයක් ලැබුණහොත් ජනාධිපතිවරයාට එමගින් නව ගැම්මක් ලැබෙන බව ස්ථිර ය. එවිට ඔහුට ලැබී ඇති විධායක ජනාධිපති බලය යටතේ සම්මුතික ආණ්ඩුවේ ආධිපත්‍යයික බලයක් ගොඩනගා ගන්නට පහසුවෙන්ම හැකි වන්නේ ය. එවිට ගොඩනැගෙන ජනමතය අනුව ඔහු තව තවත් ජයග්‍රාහීව තම පාර්ශ්වයේ දේශපාලන අභිලාශයන් කරා යනු ඇත.

එහෙත් පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ශක්තිමත් ජයගහණයක් ලැබුනහොත් ජනාධිපතිවරයා නොතකමින් එම පක්ෂයේ දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇත. එවිට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය මුළුමනින්ම නිෂ්ක්‍රීය වන අතර අග්රාතමාත්‍යවරයාට විශාල බලයක් නිර්මාණය කර ගැනීමට පහසුවෙන්ම හැකි වන්නේ ය. ආණ්ඩුවේ දේශපාලන බලවේග දෙකම උත්සාහ ගන්නේ තනියෙන් නැගී සිටීමට ය. ඔවුන් සිහින දකින්නේ පළාත් පාලන මැතිවරණයේ දී ලබා ගන්නා ජයග්‍රහණය මත ඒ සිහින සැබෑ කර ගන්නට ය. එහෙත් කුමන පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවත් එය සම්මුතික දේශපාලන මූල ධර්මයෙන් ගිලිහී යන්නේ නැත. නමුත් මැතිවරණ ජයග්‍රහණයේ ආශ්වාදයෙන් ආධිපත්‍ය බලයක් ඒ ආණ්ඩුව තුළ නිර්මාණය කර ගැනීමට ජයග්‍රකහකයාට පහසුවෙන්ම හැකි වන්නේ ය.

අවසානයේ සිදුවන්නේ බල කේන්ද්‍රයන් එකක් පමණක් පවතින ආණ්ඩුවක් පිහිටුවා ගැනීම නම් එය මහජනතාවට බලපාන්නේ ඝෘණාත්මකව ය. ඊට හේතුව වන්නේ පාලක ප්‍රභූ තන්ත්‍රයේ දේශපාලන සංස්කෘතිය අනුව ඒ සමගම ඒකාධිපති බල ව්‍යුහයක් ගොඩනැගෙන නිසා ය. මේ ඒකාධිපති බල ව්‍යුහහය පෙරලා ගමන් ගන්නේ රාජපක්ෂ සංස්කෘතිය රටෙහි ස්ථාපිත කිරීමට ය. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේ දී වලංගු පිළිගැනීමක් තිබූ මහජන අභිලාශයන් නිෂ්ක්‍රීය හා අවලංගු කාරණාවන් වන්නේ ය.

ආණ්ඩුවේ බල තුලනය එක් පුද්ගලයකු වටා කේන්ද්‍ර ගත නොවීම විධායක ජනාධිපති ක්‍රමය අවලංගු කිරීමේ එක් ප්‍රබල ලක්ෂණයකි. විධායක ජනාධිපති බලතල අඩු කිරීම පවා බල කේන්ද්‍රයේ ස්ථාන ගත වීම වෙනස් කිරීමට බල පා තිබේ. එමෙන්ම පක්ෂ දෙකක සම්මුතියෙන් ව්‍යවස්ථාදයකය හා විධායකය පාලනය කිරීම ද බල කේන්ද්‍රයට බහුවිධ ස්ථාන ලැබීමට හේතු විය. එනිසා බැලූ බැල්මට රාජ්‍යයේ ඒකමිතිකභාවයක් නැති බව පෙනී ගිය ද රාජ්‍යයේ ගමන කැළෑ වදින්නේ නැත. නමුත් එහි ජවය හා ප්‍රවේගය යළි පිරික්සා බැලීමක් අනිවාර්යෙන් සිදු වේ. එය ලිබරල් අර්ථයෙන් මෙන්ම විමුක්තිවාදී අර්ථයෙන් ද දේශපාලන ගැඹුරක් සහිත ක්‍රියාවලියකි.

ආණ්ඩු කරගෙන යෑමේ දී විධායක ජනාධිපතිවරයාට අවශ්‍ය දේ හෝ ව්‍යවස්ථාදායක අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය දේ හෝ හිතුවක්කාරී ලෙස හා අත්තනෝමතික ලෙස කරන්නට නොහැකිවීම මෙහි සමාජයට ඇති වැදගත්කමයි. එනිසා සමාජය නිරත්තරයෙන් දේශපාලන රැකවල්කරණයකට ලක් වන අතර එය ධනාත්මක ය. ආණ්ඩුව සමහර අවස්ථාවන්හි ගන්නා වූ පුංචි පුංචි තීන්දු තීරණ ජනාධිපතිවරයා දැන ගන්නේ මාධ්‍යවලින් යැයි ද ඔහු ගන්නා සමහර තීන්දු තීරණ අග්‍රාමාත්‍යවරයා තිගැස්මකට ලක් කරන්නේ යැයි ද වාර්තා වන්නේ මේ තත්ත්වය නිසා ය. එය රාජ්‍යයේ ගමනට කකුල් මාට්ටු යෙදීමක් යැයි නව ලිබරල්වාදී අර්ථයෙන් කිව හැකි වුවද ඇත්තෙන්ම එවැනි කකුල් මාට්ටු සමාජයට ප්‍රගතිශීලීය: ප්‍රශස්තය.

සම්මුතික දේශපාලන සංස්කෘතියේ සමාජ වැදගත්කම වන්නේ බල ව්‍යුහය නැවත සකස් කිරීමකට (Power Reshuffle) යොමු කිරීමයි. ඒ සකස් කිරීම සමාජයේ බොහෝ දෙනාට තේරුම් ගැනීමට අපහසුය. එහෙත් එමගින් සමාජයට ලැබෙන ප්‍රතිලාභය මිල කළ නොහැකිය. කුමන දේශපාලන පක්ෂ මහජන වරම ලබා ගත්තත් රාජ්‍ය මෙහේයවීම සඳහා වූ ආණ්ඩුවේ ව්‍යූහය සම්මුතික සංස්කෘතියක් තුළ නිර්මාණයවීම සමාජයට වැදගත් වන්නේ එබැවිනි.

 

 කේ.ජී. පිලිප් ශාන්ත
shan.info1978@gmail.com

Comments