සිංගප්පූරු හා ඉන්දුනීසියා නායකයන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් | සිළුමිණ

සිංගප්පූරු හා ඉන්දුනීසියා නායකයන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක්

 දකුණු ආසියාවේ ශක්තිමත් රාජ්‍ය දෙකක අගමැතිවරයෙක් හා ජනාධිපතිවරයෙක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට සැපත් වූහ. ඒ අනුව සිංගප්ප‍ූරු අගමැති ලී ෂියෑන් ලුන් මහතා 23 වැනිදා අප රටට ළඟා වූ අතර ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා 24 වැනිදාත් ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඔවුහු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ කටයුතු ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට (23) අත්සන් තැබිණි.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කැර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අගමැති ලී ෂියෑන් ලුන් මහතා එහිදී පැවසීය.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අගමැතිවරයා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේ ය. දෙරට අතර ආර්ථික, වෙළඳ සහ ආයෝජන සහයෝගිතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. එමෙන් ම දෙරට අතර වෙළෙඳ කටයුතු ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමට නායක දේපොළ ඉදිරියේ අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධනය උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට වෙළෙඳ හා කර්මාන්ත ඇමැති එස්. ඊෂ්වරන් මහතා ඊට අත්සන් තැබූහ. මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරු අගමැතිවරයා ප්‍රකාශ කළේ දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම මඟින් වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර තුළ දෙරටටම ප්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

24 වැනිදා ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ එම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදුවිය.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03 කටද ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, තිලක් මාරපන, මලික් සමරවික්‍රම, මහින්ද අමරවීර, සාගල රත්නායක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments