
බුදුමඟ දිවිමඟ කර ගනිමින් දිවි හිමියෙන් ම බුදුමගෙහි ම ගමන් කරන භික්ෂුවට අත්‍යුදාර සැනසිල්ලක් නිරන්තරයෙන් හිමි වන බව නොකිව මනාය. සැදැහැති ජනතාවගෙන් ලැබෙන ප්‍රත්‍ය පහසුකම් හුදු තම පෞද්ගලික අපේක්ෂාවන් සඳහා පමණක් කැප නොකොට ඒවා සමස්ත ජනතාවගේ සුව පහසුව සඳහා යොදවමින් වැඩ වෙසෙන සංඝ පිතෘෘන් වහන්සේ නමකි.
ඇමෙරිකාවේ ශ්‍රී ලාංකේය බෞද්ධ විහාර සම්ප්‍රදායට මංපෙත් විවර කර දෙමින් උදාර ධර්මදූත මෙහෙවරක නිරත අත්තනගල්ල රජ මහා විහාරය, ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරය ඇතුළු එම විහාර ගනයේ අධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ සීනාදී සිව් කෝරලයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන‍්සේ.
මහ සඟ ගුණ සිය පැවිදි දිවියෙන් ප්‍රකට කරන පන්නිල ආනන්ද නායක හාමුදුරුවෝ නිරහංකාරත්වයෙන් දිවිමග සරසා ගන්නේ දුටුවන් පහදවන වාසනා ගුණයෙන් ද යුක්ත වන්නාහ.
උන්වහන්සේගෙන් සිදුවන උදාර අද්විතීය වූ ශාසනික, ආගමික, අධ්‍යාපනික හා සමාජ මෙහෙවර අපරිමිතය. දශක හතරකට ආසන්න කාලයක් යුරෝපයේ මෙන් ම ආසියාතික රටවල ධර්මදූත මෙහෙවරෙහි යෙදෙමින් ලබා ගත් දැනුම් සම්භාරයත් විදේශීය මහජන සබඳතාත් උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන මෙහෙවර අතිශය ප්‍රශංසනීයහ. මෙරට ශාසනවංශ කථාවෙහි අනුස්මරණීය යුග මෙහෙවරක නිරත වන පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ එම මෙහෙවර ආදර්ශවත් ය.
අත්තනගල්ල රජ මහා විහාරස්ථ දහම් පාසල් දරුවන්ගේ සුව පහසුව සඳහා රුපියල් කෝටි හතරක පමණ වියදමෙන් සියලු පහසුකම් සහිත තෙමහල් දහම් පාසල් ගොඩනැඟිල්ලක් ඇතුළු විහාරාංග රැසක් ඉදිකරවූහ. අත්තනගල්ල ශ්‍රී පතිරාජ භික්ෂු පුහුණු මධ්‍යස්ථානය සඳහා සාමණේර භික්ෂූන් වහන්සේට ත්‍රිපිටක දහම සහ ජාත්‍යන්තර භාෂා ඉගැන්වීමට රුපියල් කෝටි තුනක පමණ වියදමෙන් තෙමහල් ගොඩනැඟිල්ලක් ද රුපියල් කෝටි පහක වියදමෙන් දෙවන ගොඩනැඟිල්ලක් ද ඉදිකර වූහ.
අත්තනගල්ල රජ මහා විහාරස්ථානයේ පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂ හතළිහක පමණ වියදමෙන් දෙමහල් ධර්ම ශාලාවක් ඉදිකර වූහ. ප්‍රදේශවාසී දරුවන්ගේ නැණ පහන් දල්වන අරමුණින් රුපියල් කෝටි තුනක වියදමෙන් මහජන පුස්තකාලයක් ද ඉදිකරවූහ. වෛද්‍ය සිසු දරුවන් ඇතුළු අධ්‍යාපනයට ලැදි දරුවන් රැසකට මසකට රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් වැය කර ශිෂ්‍යාධාර පිරිනැමීම දිගු කලක සිට පවත්වාගෙන එනු ලැබේ. උන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් හග්ගල්ල ශ්‍රී නාගවනාරාමය වල්ගම්මුල්ල බෝධිනන්දාරාමය, මාඉඹුල්කන්ද පුරාණ ගල්ලෙන් විහාරය, යටියන ශ්‍රී ජයවර්ධනාරාමය, කඹුරාගල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාමය ආදී විහාරස්ථාන රැසක අභිනව විහාරාංග ඉදිකරවූහ.
සුනාමි උවදුර පැමිණි අවස්ථාවේදී නිවාස 336 ක් හික්කඩුවේ තෙල්වත්ත, පැරෑලිය, දළුවතුමුල්ල, හම්බන්තොට රිදියගම ආදී ප්‍රදේශවල ඉදිකරවූහ.
රෝහල්, සංවර්ධන පදනමේ සභාපති ලෙස වතුපිටිවල ජේ.පී. ඔබේසේකර ආර්යා මූලික රෝහලේ ළදරු වාට්ටුව ඉදිකරවීම ද භික්ෂූන් වහන්සේලා උදෙසා සියලු පහසුකම්වලින් යුක්තව භික්ෂු වාට්ටුවක් ඉදිකරවීමත්, දසසිල් මාතාවන් වෙනුවෙන් වාට්ටුවක් ඉදිකරවීමත් උන්වහන්සේ සිදු කළහ.
දැයේ දරුවන්ගේ නැණ පහන් දැල්වීමේ අරමුණින් පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් මෙයට වසර කීපයකට පෙර පාසල් ගොඩනැඟිලි ඉදිකරවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේ ස්වකීය ධන පරිත්‍යාගයෙනි. මේ වන විට එම සද්ක්‍රියාව සඳහා රුපියල් කෝටි තිහක පමණ මුදලක් යොදවා පාසල් ගොඩනැඟිලි රැසක් ඉදිකරවා ඇත.
ඒ අනුව අත්තනගල්ල වල්පොල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැඟිල්ලක්, ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැඟිල්ලත්, නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරිවෙනෙහි දාන ශාලාව, පුස්තකාලය සහිත දෙමහල් ගොඩනැඟිල්ලත්, කඹුරාගල පන්නිල ශ්‍රී ආනන්ද මහා විද්‍යාලයේ තෙමල් පාසල් ගොඩනැඟිල්ලත්, දඹාන ආදි වාසී දරුවන් සඳහා ද දහම් පාසල් ගොඩනැඟිල්ලත්, කිරිඳිවැල ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ කලා සෞන්දර්ය දෙමහල් පාසල් ගොඩනැඟිල්ලත්, වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ විද්‍යාගාර තෙමල් ගොඩනැඟිල්ලත් තිහාරිය අල් අස්හාර් මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැඟිල්ලත් අලවල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැඟිල්ලත් කන්දේගම විද්‍යාලයේ පාසල් ගොඩනැඟිල්ලත් මේ වන විට පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගෙයන් ඉදිකරවා සිසු අයිතියට පත් කර ඇත.
නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේ පාසල් ගොඩනැඟිල්ල ද ඉකුත් (26) සිසු අයිතියට පත් කිරීමට නියමිතව තිබිණි.
නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැඟිල්ලද, පත්තල ගෙදර විද්‍යාලෝක මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැඟිල්ල ද, එල්ලක්කල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැඟිල්ල ද දැනට ඉදිකරවාගෙන යනු ලබන අතර වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ අභිනව පාසල් ගොඩනැඟිල්ල සඳහා ඉකුත් දා (22) මුල්ගල් තැබූහ. මෙසේ පාසල් ගොඩනැඟිලි 12 ක් පමණ අයිතියට පත් කර ඇති අතර තවත් පාසල් ගොඩනැඟිලි හතක් ඉදිකරවාගෙන යනු ලැබේ. ගොඩනැඟිලි අදාළ පාසල් සිසු දරුවන් හත්දහසකට ආසන්න පිරිසකට සෙවණ සැලසීමට හැකිවීම ගැන නිරන්තරයෙන් සතුටු වන පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙවර ආදර්ශවත් වේ.
උන්වහන්සේගේ මෙහෙවර සමාජය ගුණ යහපත්, අර්ථවත් සමාජයක් අපේක්ෂාවෙන් සිදු කරන අතර කිසිදු ලාභාපේක්ෂාවක් ඒ අතර නොවේ. මෙම මෙහෙවරට විවිධ පැසසුම් බහුලව ගලාගෙන එන අතර දොස් නගන අයද ඉඳහිට හෝ ඇති බවත් ඒ සියල්ල උපේක්ෂාවෙන් බලා ශක්ති පමණින් උදාර මෙහෙවර ඉටුකිරීම අපේක්ෂාව බවද ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමියෝ පවසති.
අනුස්මරණීය උදාර මෙහෙවරක නිරතව වැඩ සිටින ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් දිගු කලක් පුරා උදාර සමාජ මෙහෙවර ඉටු කරන්නට තෙරුවන් බලයෙන් ශක්තිය ලැබේවා.
සේයාරූ - සිරිමල් එදිරිසිංහ
බෞද්ධ පත්‍ර කලා විශාරද සීසර් සුදුසිංහ