
ජපානයේ ගොජු රියෝ කරාතේ දෝ කොෂිකායි සංගමයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් ඔසාකා නුවර පසුගියදා පැවැති එම සංගමයට අනුබද්ධිත සංගම් කාන්තා හා පිරිමි කරාතේ ශූරතාවලියේ පිරිමි විවෘත කාතා හා කුමිතේ තරග ඉසව්වේ ද්විත්වයේ රන් පදක්කම් දිනා ගැනීමට කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයේ ඩී.එච්. තුෂාන් භවන්ත සමත් විය.
පන්නිපිටිය, පොල්වත්ත කොෂිකායි කරාතේ සංගමය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8ක් තරග වැදුණු මේ ශූරතාවලියේදී තුෂාන් භවන්ත එම සංගම් කණ්ඩායම වෙනුවෙන් රන් පදක්කම් දිනූ එකම ක්‍රීඩකයා ද විය. 16 හැවිරිදි තුෂාන් විසින් මේ ශූරතාවලියේ කාතා හා කුමිතේ තරග ඉසව් 2දීම අවසන් තරගයේදී පරාජයට පත්කරනු ලැබුවේ ඔහුට වඩා වසර 15ක් පමණ වැඩිමල් ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.
පසුගිය වසරේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි තුෂාන් භවන්ත කරාතේ ක්‍රීඩාවට පිවිසියේ මීට වසර දෙකකට පෙරය. ඔහු පොල්වත්ත කොෂිකායි කරාතේ සංගමයේ ප්‍රධාන උපදේශක, බස්නාහිර පළාත් කරාතේ සංගමයේ සාමාජික ක්ලින්ට් විලියම්ස් මහතා යටතේ පුහුණුව ලබයි. තුෂාන් භවන්ත මීට පෙර පසුගිය වසරේ ජාතික කරාතේ ශූරතාවලියේ කුමිතේ තරග ඉසව්වේ දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්වූ අතර 5 වැනි ගොජු රියෝ කරාතේ ජාතික ශූරතාවලියේ කුමිතේ තරග ඉසව්වේ තුන්වැනි ස්ථානය ලබාගත්තේය.
මීට අමතරව පසුගිය වසරේ පැවැති 5 වැනි විල්ස් කුසලාන කරාතේ ශුරතාවලියේ කාතා හා කුමිතේ තරග ඉසව් 2දීම රන් පදක්කම් දිනාගත්තේය. ඉදිරියේදී හමුදා සේවයට එක්වී සිය ක්‍රීඩා කුසලතා තව දුරටත් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන තුෂාන් සිය ජයග්‍රහණ පිළිබඳ ක්ලින්ට් විලියම්ස් මහතාට සහ පවුලේ සාමාජිකයන්ට ස්තූතිය පුද කරයි.