ආගමික සහජීවනය හා මිතුරුදම එක්තැන් කළ ලේක්හවුස් තෛපොංගල් උත්සවය | සිළුමිණ

ආගමික සහජීවනය හා මිතුරුදම එක්තැන් කළ ලේක්හවුස් තෛපොංගල් උත්සවය

 තෛපොංගල් දිනය කියන්නේ හින්දු ආගම අදහන එහෙමත් නැත්නම් ද්‍රවිඩ ජාතිකයන්ගේ වැදගත්ම උත්සවයක්. ඒ දිනවල තමන්ගේ නිවෙස්වල තෛපොංගල් උත්සව පැවැත්වීම සෑම දෙමළ ජාතික නිවෙසකම සිදු කරනවා. විශේෂයෙන්ම හින්දු කෝවිල් මඟින් පවත්වනු ලබන තෛපොංගල් උත්සවයන්ට සහභාගි වීමටත් මේ අය කටයුතු කරන්නේ එය තමන්ගේ ආගම වගේම ජාතිය අතර වෙන් නොකළ උත්සවයක් නිසයි. ආගමික වගේම සංස්කෘතික යන අංශ දෙකින්ම මේ උත්සවය සමන්විත වනවා. ජනවාරි මාසයේ 14 වැනිදාට යෙදෙන මේ දිනයෙන් පසුව තමයි දෙමළ ජාතිකයන් සුබ දිනයන් තිබෙන බව පිළිගන්නේ. ජනවාරි 01 වැනිදා ඉදල තෛපොංගල් දිනය දක්වාම කාලය සුබ දවස් ලෙස පිළිගන්නෙ නෑ වගේම කිසිම සුබ වැඩක් කරන්නෙ නැහැ.

ඒ තෛපොංගල් උත්සවය නිමිත්තෙන් සියලු ජාතින් සියලු ආගමිකයන් හා එක්ව උත්සවයක් සමරන්නට පසුගියදා ලේක්හවුස් ආයතනයේ දෙමළ පුවත්පත වන තිනකරන් කර්තෘ මණ්ඩලය විසින් කටයුතු කළා. වෙනදා මේ තෛපොංගල් උත්සවයේ ආගමික වතාවත් වගේම අනෙකුත් කටයුතු කරන්නේ ලේක්හවුස් හින්දු සංගමය විසින්. ඒ පහළ රැස්වීම් ශාලාවේ සාමාන්‍ය උත්සවයක් ලෙසින්. එහෙත් මෙවර විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය සිදු කරන්නට තිනකරන් පුවත්පත කටයුතු කළා. එය සැබැවින්ම ආයතනික උත්සවයක් ලෙසින්ම සංවිධානය කර තිබුණා.

තිනකරන් පුවත්පතේ හින්දු ආගම අදහන අය වගේ ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතික අයත් ඉන්නවා. මේ සියලු දෙනාම එක් කරනෙගයි මේ තෛපොංගල් උත්සවය පැවැත්වූයේ. මෙහි විශේෂත්වය එයයි. ජාතික ආගමික සහජීවනය උදෙසා මේ සියලු දෙනා එක්ව කටයුතු කළ බවයි තිනකරන් කර්තෘ කේ. කුණරාසා මහතා පවසන්නේ. කුණරාසා මහතාගේ උපදෙස් මත සියලු කර්තෘ මාණ්ඩලිකයන් විසින් මේ උත්සවය සංවිධානය කළා.

ඒ අනුව ආයතනය පුරාම අලංකාර ලෙසින් සරසා තිබීමත් හින්දු චාරිත්‍රානුකූලව සියලු කටයුතු සිදු කරමින් පොංගල් උත්සවය සමරන්නත් මේ අය කටයුතු කළා. ඒ අනුව ආයතනික සහායට අමතරව හින්දු කටයුතු දෙපාර්තමේන්තුවේ සහායද ලැබුණා.

මේ උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙසින් පැමිණියේ ජාතික ඒකාබද්ධතා ජාතික සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතායි. එමෙන්ම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධා ක්‍රිෂ්ණන් මහතාත් සහභාගි වුණා.

මෙහිදී විශේෂම සිදු වීම වුණේ සිංහල දෙමළ මෙන්ම මුස්ලිම් දූ දරුවන්ට තිළිණ ප්‍රදානය කිරීමයි. ඒ සඳහා හින්දු කටයුතු දෙපාර්තමේන්තුවේ සහාය ලැබී තිබුණා.

ආගමික සහජීවනය උදෙසා සංවිධානය කර තිබූ මේ උත්සවයේදී පළමුවෙන්ම තිළිණ ප්‍රදානය කෙළේ බෞද්ධ දහම් පාසල් සිසු සිසුවියන් වෙතයි. ඒ තිළිණ ප්‍රදානය කෙළේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධා ක්‍රිෂ්ණන් මහතා විසින්. එමෙන්ම දෙවනුව මුස්ලිම් දූ දරුවන් වෙනුවෙන් හා පසුව දෙමළ දූ දරුවන් වෙනුවෙන්ද පාසල් පොත් තිළිණ ප්‍රදානය කළා. මේ උත්සවය අලංකාර කරන්න චමත්කාරජනක දෙමළ නර්තනයන් රැසක් ඉදිරිපත් කරන්න පාසල් දැරියන් රැසක්ම සහභාගි වුණා. මේ කාර්යය සඳහා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම සාමාන්‍යාධිකාරිවරයාත් සියලු පුවත්පත්වල කර්තෘවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අංශ ප්‍රධානීන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද සහභාගි වුණා.

තෛපොංගල් උත්සවයට පැමිණි ආරාධිත අමුත්ත්නට මෙන්ම ආයතනයේ 1200ක් පමණ වන සේවක සේවිකාවන් සියලු දෙනාටම පොංගල් සහිත රසකැවිලිවලින් සංග්‍රහ කරන්නත් මෙහිදී කටයුතු කළා. සියලු දෙනාගේම සහායෙන් පවත්වන ලද මේ ආගමික හා සංස්කෘතික උත්සවය ඉදිරියේදී මීටත් වඩා පුළුල් කර පැවැත්විමට කටයුතු කරනු ලබන බව කුණරාසා මහතා පවසනවා. විශේෂයෙන්ම පාසල් දරු දැරියන් වෙනුවෙන් පොත් ලබා දීම සඳහා මේ වන විට බොහෝ දෙනෙක් ඉදිරිපත්ව ඇති නිසා ඉදිරියේදී මීටත් වඩා මේ උත්සවය දියුණු කර ගැනීමට හැකි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ආයතනයේ සිංහල බෞද්ධ, කතෝලික හින්දු ඉස්ලාම් ඇතුළු සියලු දෙනා ජාති ආගම් භේදයකින් ‍තොරව දක්වන ලද සහයෝගය ගෞරවයෙන් මෙහිදී සිහිපත් කරන්න තිනකරන් කර්තෘ මණ්ඩලයේ සියලු දෙනා කටයුතු කළා. ඉදිරියටත් ඒ සහයෝගය ඊටත් වඩා ඔවුන් බලාපොරොත්තු වන්නේ සාමය සහජීවනය සංහිඳියාව රටකට අවශ්‍යම නිසයි.

තාරක වික්‍රමසේකර
සේයාරූ - කැලුම් ලියනගේ, වාසිත පටබැඳිගේ

Comments